ලෝචනා ඉමාශි
ලාංකීය කලා ක්ෂේත්රයේ සිටින පුංචි තිරය තුළිනුත්, රිදී තිරය තුළිනුත් විවිධ චරිතයන්ට පණ පොවමින් ඔබ හමුවට එන, එදා මෙදා තුර ආදරණීය ප්‍රේක්ෂක ඔබේ ආදරය නොවඩුව ලබන, කටකාර,දඟකාර, රුවැති රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාශි කියන්නෙ.ලෝචනාගේ නෙදර්ලන්තයේ ජීවත්වෙන පුංචි පුතු පිළිබඳව වගේම ඇයගේ වැඩ කටයුතු පිළිබඳවත් මෙවර “නවලියට”පැවසුවේ මෙලෙසිනි.
මේ දවස්වල මොනවද අලුත් වැඩ කටයුතු?
මේ දවස්වල මම ආයෙම නිවේදන වැඩ කටයුතු පටන් ගත්තා. පුතා ඇවිත් ගිය නිසා ටික ටික ආයෙම වැඩ ටික පටන් ගන්න හිතුවා.
පුතා කොච්චර කාලෙකටද ආවේ?
හරියටම සති දෙකකට අඩු කාලෙකට.
දැන් පුතාව බලන්න ලෝචනා යන්නේ කවදද?
ඔව්, ඉක්මනට යන්න ඕනේ. දැන් පුතාගේ නිවාඩු කාලෙත් එනවා. එයාගේ උපන් දිනෙත් එනවා. ඒක නිසා කොහොම හරි යන්න ඕනේ.
පුතාගේ උපන්දිනය කවදද?
අගෝස්තු 30. දැන් එයාට අවුරුදු අටක් වෙනවා.
තුන්දෙනාම එකට ඉන්න ඕන කියලා හිතෙන්නෙ නැද්ද?
එකටනේ ඉතින් අපි වැඩි හරියක්ම ඉන්නේ. එහෙත් ඉන්නවා, මෙහෙත් ඉන්නවා. එකට ඉන්නවටත් වඩා හොඳට ඉන්නවා.
පුංචි පුතා කියන්නේ ලෝචනාගේ ජීවිතේ පුංචි වීරයානේ.අපි පුතා ගැනත් මතක් කරමු
අම්මෝ… ඔව්. කොල්ලා කියන්නේ මට ඊට වඩා දෙයක් නෑ. එයාට දැන් ටික ටික හැමදේම තේරෙනවා. එයා මෙහේ ඉන්න කැමති නැහැ. එයාගේ ජීවිතයේ අම්මා නෑ, තාත්තා නෑ, කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොමත් රටක ජීවත් වෙනකොට තනියම ජිවත්වෙන්න පුළුවන් විදියට ශක්තිමත්ව හැදෙනවා. මමත් පුතාට හැම වෙලාවෙම කියලා දෙන්න උත්සාහ කළෙත්, ඔයා ඔයාගේ දේවල් තනියම කරගන්න පුරුදු වෙන්න කියලා.
අපේ අම්මලා අදටත් අපිව සමහර වෙලාවට හුරතල් කරනවනේ. එහෙම හොඳ නැහැ. අපි ළමයින්ට ආදරේ කරනවා කියන්නේ එයාලට ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඉඩදෙන එක. එතකොට තමයි දරුවො දේවල් ඉගෙන ගන්නෙ.
ඒකට තමයි ළමයින්ට ආදරේ කරනවා කියන්නෙ. දැන් මගේ පුතා මට මාර හයියක්. මම රටවල්වලට යනකොට ගොඩක් වෙලාවට හස්බන්ඩ් වැඩ හින්දා පුතා එක්ක තමයි ට්‍රැවල් කරන්නේ. ඉතින් මට මාර ආරක්ෂාවක් එයා. එයා මාව හරියට බලාගන්නවා. පුතා ඒ තරම්ම මට ශක්තියක්. ඒක හස්බන්ගෙන්වත් කවදාවත් ලැබිලා නෑ.
ජීවිතේ ලැබුණු වටිනම තෑග්ග?
මගේ පුතා. පුතා තමයි මට ලැබුණු වටිනම හොඳම තෑග්ග.
ආදරණීය අම්මා කෙනෙක් විදියට පුතාගෙන් ඈත්වෙලා ඉඳන් කරන මේ කැප කිරීම ගැනත් අපි කතාකරමු
ඒක තමයි, දැන් ඉතින් සමහරු කියයි ඇයි එහෙට වෙලා ඉන්න පුළුවන්නෙ කියලා. එහෙම නෙවෙයි, අපි හැමෝගෙම ජීවිත කරගෙන යන්න පුළුවන් විදිහට අපි කතාකරගෙන, පුතා ගැන හිතලා, පුතාගෙම අනාගතයට හොඳ වෙන විදිහට අපි දෙන්නා කතා කරගෙන තමයි පුතාව එහේ තියමු කියලා මේ තීරණය ගත්තේ.
මොකද කරන්නේ ඉතින් ලංකාවේ තත්ත්වෙත් එක්ක, ලංකාව කවදාවත් ගොඩගන්න බැරි හින්දා, අපිට අපේ ළමයෙක්වත් ලංකාවට ගේන්න බැරිවෙලා තියෙන්නෙ. එච්චර හොඳට ළමයින්ට සලකන රටක් දාලා පුතාව මෙහෙට ගෙන්න ගන්න මට බැහැනේ. ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් අපි හැමෝටම කැපකිරීම් කරලා තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
ආදරණීය හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු
ඇත්තටම පුතාව බලාගෙන ඉන්න එකම මදැයි. ඒ නිසානේ මම මෙහෙට වෙලා මගේ වැඩ ටික බලාගෙන ඉන්නේ.
ලෝචනා මේ දවස්වල වැඩිය නිර්මාණවල පේන්න නැත්තේ ඇයි?
ඔව්, ඒ මොකද මම ලංකාවේ වැඩිකල් ඉඳෙන්නේ නෑනේ. ලංකාවේ නැති නිසා එක දිගට වැඩ කරන්න බැහැ. ඒක නිසා තමයි වැඩිපුර නිර්මාණවල දකින්න නැත්තේ.
අලුත් ටෙලි නිර්මාණවලට එහෙමත් ආරාධනා ලැබෙනවා ඇති?
ඔව්. මම එහේ ඉන්නකොටත් මට මෙහේ වැඩවලට ආරාධනා ලැබෙනවා. මම දන්නේ නැහැ, ඒ මගේ මොකක් හරි වාසනාවක් වෙන්න ඇති ඒක නම්. කොහේ හිටියත් මට ආරාධනා ලැබෙනවා. දැන් අදටත්, මම මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු ගානක් වෙනවා. ඒත් මට තවමත් ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා අඩුවක් නැතිවම ලැබෙනවා. ඒත් ඉතින් ඒවා බාරගන්න වෙන්නේ නැහැ. බලමු ඉතින් මේ සැරේ නම් කරන්න කියලා හිතාගෙන ඉන්නවා.
ලෝචනාගේ කටකාර, දඟකාරකමටම සහ ඔබේ දක්ෂතාවට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?
ෆිල්ම් එකක් එන්න තියෙනවා. ඒක එයිද නම් දන්නේ නැහැ, මොකද ඒක කරලා දැන් ගොඩක් කල් වෙනවා. ටෙලිනාට්‍ය නම් මුකුත් නැහැ දැනට ඉදිරියට එන්න තියෙන. ඒ අය වෙනුවෙන් ආයේ අලුතෙන් නිර්මාණයකට දායක වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
කලා ක්ෂේත්රයේ දැන් ප්‍රවීණයින්ට වැඩි ඉඩක් නැද්ද?
එහෙමමත් නැහැ නේද, එහෙම තියෙනවා නම් අපිට අදටත් ආරාධනා ලැබෙන්නේ නැහැනේ. අපි දැන් අවුරුදු ගානක් හිටියත් මොකක් හරි අවශ්‍ය වැඩ කටයුත්තකදී අපේ ප්‍රවීණයෝ ඔක්කොම එකතු වෙනවා. නවකයින් කියලා, එයාලට අවස්ථාව දෙන්න ගොඩක් අය හරි කැමතියි. හැබැයි එකපාරයි, දෙපාරයි. සමහරක් වෙලාවට ඒගොල්ලන්ටම තේරුම් ගියාම මෙයා සුදුසු නැහැ කියලා,
සමහර වෙලාවට අයින් කරනවා ඇති. ඉතින් පරණයි කියලා දෙයක් නෑ. ඒ හැමදේම තියෙන්නේ දක්ෂතාවයි, වාසනාවයි මත තමයි. කොච්චර ක්ෂේත්රයේ වැඩ කරපු අය වුණත්, දක්ෂ වුණත් සමහර වෙලාවට ප්‍රේක්ෂකයෝ අතරට යන්නේ නැහැ. ඔය ඔක්කොම කරන්න දක්ෂතාවයයි, වාසනාවයි දෙකම තියෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ.
ලෝචනා ඉමාශි
රඟපාන්න ආපු එක ගැන අදටත් කිසිම දුකක් මට නැහැ
කොහොමද හැමදාම මේ විදිහට සැහැල්ලුවෙන් ඉන්නෙ?
ඒක ඉතින් අනේ මන්දා. මගේ කොහොමත් කැමැත්ත හැමදාම සතුටින් ඉන්න එකනේ. මගේ ළඟ ඉන්න අයටත් හොඳක් වෙනවා නම්, එයාලත් සතුටින් ඉන්නවනම් මම ආසයි. ඉතින් ඒ හින්දා වෙන්න ඇති මමත් මෙහෙම සැහැල්ලුවෙන්, සතුටින් ඉන්නේ.
කලා ක්ෂේත්රයේ මෙතෙක් ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව් සතුටු වෙනවා. මට මේ හැමදේම ලැබුණේ කලා ක්ෂේත්රය නිසා. හැමෝටම ලැබෙන්නේ නැති ප්‍රේක්ෂක ආදරය, මේ හැමදේම ලැබෙන්නේ ඒ නිසයි. ඉතින් බැනුනුත් ඒ හා සමානව ලැබෙනවා. ඒත් මම හිතෙන්නේ කලා ක්ෂේත්රය තෝරගත්තට මම අදටත් දුක් වෙන්නේ නැහැ කියලා.
බැනුම් සහ විවිධ කටකතා නිසා දුක්වෙලා තියෙනවද?
අපෝ ඔව්. අදටත් සමහර කමෙන්ට් දානවා මිනිස්සු, මම දන්නේ නැහැ මොකක් හින්දා මොන තරහකට දානවද කියලා. මම නම් ඉතින් දැන් ඒවා වැඩිය හිතන්න යන්නේ නැහැ. වැඩ නැති මිනිස්සු කරන දේවල්නෙ කියලා මගේ හිත හදාගෙන ඉන්නවා.
ඒ වෙලාවට අඬලා කරලා ඒවා පිට කරලා ඉන්නවා. මිනිස්සු හිතන්නේ මම පිරිමියෙක් වගේ හොඳ කටකාර එහෙම චරිතයක් කියලා. හැබැයි එහෙම නැහැ. පොඩි දේටත් අඬන, හරිම සංවේදී චරිතයක් තමයි මම.
හැමවෙලාම ලෝචනා ළඟින්ම ඉන්නේ ආදරණීය අම්මානේ අපි ඇයවත් මතක් කරමු
අනේ ඔව්. ඇත්තටම අම්මා, තාත්තා, ආච්චි මේ තුන්දෙනා නැත්නම් ඉතින් මමත් අද නැහැ. මමත් ඒගොල්ලන්ට පණ ඇරලා ආදරෙයි. මගේ ජීවිතේ හැම පැත්තකම එයාලා ඉන්නවා. ඒ තුන්දෙනත් ඉන්නවා කියන්නෙ මගෙ ජීවිතේ සර්ව සම්පූර්ණයි.
ෆැෂන්වලට එහෙමත් කැමතිද? තෝරා බේරගෙනද ඒ දේවල් කරන්නේ?
අම්මෝ මම ෆැෂන් කරන්න ගොඩක් කැමති කෙනෙක්. මට ගැළපෙනවා නම් මම ඒ ඕන ෆැෂන් එකක් කරනවා.
ඉදිරි විශේෂ බලාපොරොත්තු මොනවද?
එහෙම විශේෂ බලාපොරොත්තු නැහැ. හැමදාම මෙහෙම සතුටින්, කිසිම කරදරයක් නැතුව ජිවත්වෙන එක තමයි එකම බලාපොරොත්තුව.
පාරමී කෞෂිකා ✍️