මාධ්‍ය ජීවිතයේ අවුරුදු විසි එකක කාලයෙන් අවුරුදු දහ අටක්ම දෙරණ වෙනුවෙන් කැප කළ ඩිල්කා සමන්මලී හිටි හැටියේම දෙරණ හැර යන්නට තීරණය කර තිබෙනවා. ඩිල්කා එක්වරම ගත් මේ තීරණය පිළිබඳව ඩිල්කගෙන්ම අහලා දැන ගන්නට අපට උවමනා වුණා…
ඩිල්කා අපිට ආපු ආරංචිය ඇත්තක්ද?
ඔව්… ඒ අරංචිය ඇත්තක්.
කළිනුත් රට ඉඳලා නේද ආවේ?
ඔව්. කළිනුත් රට ගියා. ඒ 2008 – 2009 වගේ කාලේ. ඒ ගිහිල්ලා අවුරුද්දකට ආසන්න කාලයක් හිටියා. එහෙම ඉඳල තමයි ආයෙමත් ආවෙ.
එදත් ඔයා පීක් එකේ ඉඳලා තමයි රට ගියේ. දැන් ආයේ පීක් එකට ඇවිල්ලා ඉන්නකොට දෙවැනි පාරටත් එහෙම කරන්න දුකක් නැද්ද?
හදාගත්ත පැළ දාල යනවා වගේ හැඟීමක් නැතුවම නෙවෙයි. ගිය වතාවෙ නිවාඩු දාලා ගියේ ඇත්තටම එන්නෙ කොයි වෙලාවෙද කියල බලාගෙන තමයි. ආයේ නිවාඩු ඉවර වෙන දවසට හරියටම මම වැඩට ආවා. මම නොහිටිය කාලෙ සෑහෙන්න කට කතාත් පැතිරුණා. ඒ කොහොම වුණත් ආයේ ආපු ගමන් මම නැවත වැඩ පටන්ගත්තා. ඇත්තටම මේ දෙවෙනි පාරට යන අවස්ථාවත් ටිකක් අමාරු තීරණයක්. ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක් අමාරු තීරණයක්.
මේක ඒ වගේ සමුගැනීමකට සුදුසු කාලය කියල හිතුණා මට. මගේ සර්විස් එකට දැන් අවුරුදු 18 ක්. දැන් ඇති නේද? තව අය ඉන්නවා නේද අවස්ථාව ලැබෙනකං කියලත් හිතුණා. එයාලටත් අවස්ථාවක් දීලා යනව කියල හිතන නිසා දුක අඩුයි. අනිත් එක මට හිතෙනවා එපාවෙන්න කලිං විශ්‍රාම යන එක හොඳයි කියලා. එතකොට ඉතිරිවෙන මතකය ගෞරවණීයයි. අනික මම කොහොමත් ටිකක් අමාරු තීරණ ගන්න පුළුවන් විදියෙ මනසක් තියෙන කෙනෙක්. මේක තමයි ඒකට හොඳම වෙලාව ඒ තීරණයට.
දරුවෝ තුන්දෙනාටත් දැන් යමක් තේරෙනවනේ. එයාලත් ලංකාවට හුරු පුරුදු වෙලානෙ ඉන්නේ. එයාලගේ ජීවිත වෙනස් කරනකොට අම්මා කෙනෙක් විදියට කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ?
ඇත්තටම දරුවො තුන් දෙනාටත් මං වගේම ඕනම තත්ත්වයකට හැඩගැහෙන්න පුළුවන්. මේ වගේ රැකියාවක් කරන අම්මා කෙනෙක් ඉන්නකොට එයාල පුංචිම කාලෙ ඉඳලා ඒකට හුරු වුණා. එයාල තාම පොඩි ළමයි. දැන් තමයි අම්මා කෙනෙක් විදියට මම එයාලත් එක්කම ඉන්න ඕන හොඳම කාලේ. කොච්චර කාර්යබහුල වුණත් මම කාලය හදාගත්තා එයාලගෙ වැඩ මගේ අතින්ම කරන්න. ඒකට හොඳම සාක්ෂිය එයාලගෙ ගුරුවරු. ඒ නිසා මම මගේ දරුවො තුන්දෙනාව කාටවත් කරදරයක් නැති දරුවො තුන්දෙනෙක් විදියට හදාගෙන තියනවා.
ඒකට හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගයත් සෑහෙන්න වටිනවා. මට කාලෙක ඉඳලා තිබිච්ච ලොකුම ගැටලුව එයාලගේ හැම වැඩකටයුත්තක්ම මම හොයලා බලලා කරාට පොඩි අයත් එක්ක ගතකරන්න කාලය මට අඩු වෙච්ච එක. ඉතින් දැන් මට ඒකට කාලය හදාගන්න පුළුවන්. මොකද දැන් ඒගොල්ලන්ට ටික ටික දේවල් තේරෙන වයස. මේ වයසේ ඒගොල්ලන්ගේ ළඟින්ම අම්මා කෙනෙක් විදියට හිටියේ නැත්තං පස්සේ පසුතැවෙන්න හේතු හැදෙන්න පුළුවන්.

එදා ඔයා රට යද්දි ඔයාගේ අම්මා තාත්තා හිටපු වයසේ නෙවෙයි දැන් අම්මා තාත්තා ඉන්නේ. එතකොට අම්මට තාත්තට ඔයාව වැඩියෙන්ම ඕනෙම කාලෙදි කොහොමද රට යන්න ඔයා මනස හදා ගත්තේ?
මම අපේ පවුලෙ තනි ළමයා. මගේ අම්මා, තාත්තා ඇත්තටම සාපේක්ෂව ටිකක් තරුණයි. එයාලා තාම රස්සාවල් කරනවා. ඒත් ඉතිං දැන් ඉස්සරට වඩා වයසයි තමයි. ඒකත් එක හේතුවක් රටෙන් පිට වෙන්න. මොකද ඒ දෙන්නම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයාලා එහේ පුරවැසියෝ.ඉතින් එයාලා ළඟට තමයි මම යන්නේ. එයාලගේ එකම දරුවා විදියට ඒ යුතුකම්, වගකීම් ඉටුකරන්නත් මේක මට හොඳ අවස්ථාවක්. ඒ නිසා මට හිතෙන්නේ හොඳම තීරණය හොඳම වෙලාවේ මං ගත්තා කියලා.
දෙරණ කියන්නේ ප්‍රධාන තලයේ ඉන්න වෘත්තිය නිවේදක නිවේදිකාවන් හදපු තැනක්. එතකොට වෘත්තිය පැත්තෙනුත් ඔයා දෙරණට කරන්නෙ අසාධාරණයක් නේද?
ඇත්ත. දෙරණ කියන්නේ වෘත්තීය වශයෙන් ඉතාම හොඳ සන්නාම බිහි කරපු තැනක්. මම දෙරණ පටන් ගත්ත දවසේ ඉඳලම දෙරණ පවුලෙ සාමාජිකාවක්. මාධ්‍ය ජීවිතයේ අවුරුදු විසි එකක කාලයෙන් අවුරුදු 18 ක්ම මම කැප කළේ දෙරණ වෙනුවෙන්. මම මාව නිර්මාණය කරපු ආයතනයට ඉතාම සාධාරණයක් ඉෂ්ඨ කරපු සේවකයෙක්. ඒක ගැන කිසිම සැකයක් නැහැ. මොකද මම දන්නවා මම මගේ හිතට අවංකවම වැඩ කළා කියලා. මගේ අත්දැකීම් සහ දැනුම නැතිවෙන්නේ නැහැ.
ඕනම අවස්ථාවක ඒ දැනුම සහ අත්දැකීම් ඉල්ලා සිටින මොහොතක ඒක ලබා දෙන්න මට පුළුවන්. අවුරුදු 18 ක් වගේ කාලයක් එකම මාධ්‍ය ආයතනයක, එකම විදිහට තමන්ගේ තත්ත්වය රඳවා තියාගන්නවා කියන එක අභියෝගයක් කියලා අපි හැමෝම දන්නවා. දෙරණේ තියෙන්නේ වෙනම උප සංස්කෘතියක්. වෙනම ආකාරයක බැඳීමක්. ඒ බැඳීම තමයි අපිව මේ තරම් ආයතනයත් එක්ක සම්බන්ධ කරලා තියාගත්තේ.

ඩිල්කා දේශපාලන වැඩසටහනුත් මෙහෙයවන මාධ්‍යවේදිනියක් විදිහට දැන් මේ ඉස්සරහට එන්නේ දේශපාලන වෙනසක් ඇතිවන කාලේ. එතකොට මේ වගේ වෙලාවක මේ තීරණය ගනිපු එක ගැන මොකද හිතෙන්නේ
ඔව්. අනිවාර්යයෙන්ම ඩිල්කා නැති අඩුව දේශපාලන සංවාද ලෝකයට දැනෙයි. ඒක එහෙම වෙද්දි මං මේ තීරණය ගත්ත එක ගැනත් මම සතුටුයි. මම මේ දේවල්වලින් අයින් වෙන්නේ මාව ප්‍රතික්ෂේප වෙන මොහොතක නෙමෙයි. මාව ඉල්ලා සිටින මොහොතක. ඉතින් වෘත්තීය නිවේදිකාවකට ඒක හරි වටිනවා.
ඔයා රට යන එක ගැන සමාජ මාධ්‍ය ප්‍රතිචාර කොහොමද?
මම රට යනව කියල දැනගත්තම මගෙන් සමහරු ඇහුවා කලකිරිලද යන්නෙ, මේ රට ගොඩගන්න බැරි නිසාද ඔයාලත් යන්නේ කියල. ඇත්තටම සමාජ මාධ්‍යවල යන කතාවලට, ගොසිප්වලට මම කවදාවත් උත්තර දෙන්න යන්නෙ නෑ. නමුත් මෙතනදි කියන්න ඕන දෙයක් තියෙනවා. මේක මගේ රට. මට මේක දාල යන්න කිසිම අවශ්‍යතාවක් නෑ. එහෙම යනවා නම් මට යන්න ඕන තරම් හේතු තිබ්බා පහුගිය කාලේ. අවුරුදු 14 ක ඉදලා මම ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කෙනෙක් වුණත් එහේ ගියේ නෑ. මගේ අම්මා, තාත්තා අවුරුදු 20 කට වැඩි කාලයක ඉඳන් ජීවත්වෙන්නෙ එහේ. මම විවාහ වෙන්නත් කලිං එයාල රට යනකොට මම මේ රටේ තනියම නතර වුණා.
එහෙම වුණත් සමහරු දේශපාලනය ගාවගෙන කියපු කරපු සමහර දේවල්වලට කලකිරීම් ඇති නොවුණා නෙමෙයි. මම බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරල බාගයක් ලීස් කරල ඇල්ටො කාර් එකක් අරගත්ත දවසට පහුවදා ගොසිප්වල ගිහිං තිබ්බෙ මට අධිසුඛෝපභෝගී වාහනයක් ලැබිල කියලා. ඒ වගේ ගොසිප් දිහා බලමින් අපට සාප කරන බෞද්ධයන් කියල කියාගන්න මිනිස්සු ඉන්න රටක් මේක. නමුත් මම මගේ හිතට එකගව ජීවත් වෙන කෙනෙක්.
ඒ නිසා මට හොඳට නින්ද යනවා. මන්ද මානසික මිනිස්සුන්ගෙ ප්‍රකාශවලට කම්පාවෙන්න තරම් දුර්වල මනසක් මට නෑ. මම පොඩි කාලෙ ඉඳලම හොඳට කට්ට කාල හැදුණ කෙනෙක්. මාව දන්න, එක දවසක් හරි මා එක්ක කතා කරලා තියන මිනිස්සු දන්නවා මං කවුද කියලා. ඇත්තටම මට ගොඩාක් ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ අයගෙ ආදරය මට නොඅඩුව තියෙද්දි සෘණාත්මක ජීවිත ගතකරන මිනිස්සුන්ගේ කතාවලට අපි ඇහුම්කන් දෙන්නේ මොකටද?
ඒ රටට ගියාම ඩිල්කා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?
මම තවම ඒ ගැන ලොකුවට හිතල නෑ. ඉස්සර ඉඳලම මම මේ මොහොතේ ජීවත් වුණ කෙනෙක්. ලොකුවට සැලසුම් හදාගෙන වැඩ කළේ නෑ. මේ මොහොතේ කරන වැඩේ හරියට කළා. ඒවයේ ප්‍රතිඵලය මට ලැබුණා. ඕනෑම තත්ත්වයක් යටතේ එන දේට මූණදෙන්න ශක්තියක් මට තියනවා. ඒ නිසා ලොකු සැලසුම් නෑ. මම යන්නෙ නුපුරුදු තැනකටත් නෙමෙයි. මට ඕන දරුවො වෙනුවෙන් පවුල වෙනුවෙන් කැප වෙන්න. මොකද තව ටික කාලෙකින් දරුවන්ට අපිව ලොකුවට ඕන වෙන්නෙ නෑ. එයාලා එයාලගෙ ජීවිත ගෙනියන පාර හොයාගන්නවා.
එයාලට ඕන වෙලාවෙ දෙමව්පියන් විදියට අපි ළඟ ඉන්න ඕන. විශේෂයෙන් අම්මා විදියට මට ලොකු වගකීමක් තියනවා මේ ලෝකෙට වැඩක් ඇති දරුවො තුන්දෙනෙක් විදියට එයාලව හදාගන්න. දැන් මම හිතන්නෙ ඒක විතරයි. තව ඉගෙනගන්නත් සැලැස්මක් තියනවා. මොකද ඉගෙන ගත්ත කිසිම දෙයක් අපතේ යන්නෙ නෑ. මම ජීව විද්‍යාව ඉගෙනගෙන, මනෝවිද්‍යා උපදේශකවරියක් වෙන්න ඉගෙන ගත්තා. ඒත් මගේ වෘත්තීය වුණේ මාධ්‍යය. හැබැයි මම ඉගනගත්ත හැමදේම මට ප්‍රයෝජනවත් වුණා.
හස්බනුත් ඔයාලත් එක්ක යනවද? එයා මොකද කියන්නේ?
ඔව්. අනිවාර්යයෙන්ම එයත් අපිත් එක්ක යනවා. අපි නිතරම විශ්වාස කළේ අපි එකට ඉන්න ඕන කියන එක. විශේෂයෙන් ළමයින්ගෙ වැඩවලදි. ඇත්තටම එයාට ගොඩක් දුර පළාත්වල වැඩට යන්න ආපු අවස්ථා ගොඩක් මගහැරියා. ඒ ලංකාවෙ ඇතුළෙම වුණත් දරුවො එක්ක ඉන්න ඕන කියන හැඟීම නිසා.
එයාගෙ වෘත්තීය පරිසරයනෙ. ඉතිං මම හිතන්නෙ එයාට ලෝකෙ කොහේ වුණත් එකයි. හස්බන්ඩ්ට වුණත් තවත් ඉගෙනගන්න සැලැස්මක් තියෙනවා. පරිසරය සංරක්ෂණය කරගෙන, සංවර්ධනය කිරීම කියන විෂය එක්ක එයාට හොඳ අත්දැකීම් ගොඩක් ඕස්ට්‍රේලියාව වගේ රටකින් ගන්න පුළුවන්. ඒ දැනුම එයාට ඉස්සරහට වැදගත් වේවි.
දරුවන්ගේ වයස වගේම එයාලා පාසල් ගියේ කොහෙද කියලත් අපි කියමු?
ලොකු දුව විනුකි වයස 8 යි. එයා කොළඹ විසාකා විද්‍යාලයේ ඉගෙන ගත්තෙ. ඊළඟට පුතා තමෝද් එයාට දැන් වයස 7 යි. එයා ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්තෙ. මොකද එයාව රජයේ පාසලකට දාන්න උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ. බාලයා දුව තරුකි එයාට තාම වයස 3 යි. එයා තමයි ගෙදර දඟකාරයා.
ජීවිතේ කියන්නේ ඇත්තටම ඕනෑම වේලාවකදි ඇජස්ට් වෙන එකද?
මෙහෙමයි, ජීවිතේ විඳින විදිය මම හිතන්නෙ සාපේක්ෂයි. මම හිතන විදියටම නෙමෙයි ඔබ හිතන්නේ. තැනින් තැනට ඇජස්ට් වෙනවා කියන එක ගැන ටිකක් හිතුවොත් වෘත්තීය පැත්තෙන් එහෙම එකක් නැහැ. මොකද කලින් කිව්වා වගේ එකම ආයතනයක වසර 18 ක් ඉන්නවා කියන්නෙ ලොකු කාලයක්. වෘත්තීය ජීවිතය ගත්තම තැනින් තැන ඇජස්ට් වෙනව කියන එකක් මගේ නෑ. ඒවගේම පුද්ගලික ජීවිතයත් එහෙමයි. පවුල එකට ඉන්නවා නම් ඇජස්ට්වීමක් ගැන වදවෙන්න දෙයක් නැහැ.

පරණ ප්රවෘත්ති නිවේදිකාවෝ චැනල්ස්වල දැන් ආයෙමත් ප්රවෘත්ති කියනවා. ඒක ඩිල්කා දකින්නෙ කොහොමද?
දක්ෂයින් ලාබ වෙන්න හොඳ නෑ කියලයි මම හිතන්නෙ. මම ඒකෙන් කියන්නෙ නෑ කලාකරුවෝ සල්ලි නිසා ප්රවෘත්ති නිවේදක නිවේදිකාවන් වෙලා කියලා. නමුත් කිසියම් ආයතනයක පැවැත්මට කලා ශිල්පීන්ගේ ජනප්‍රියත්වය අවභාවිත කරනවා කියන එකයි මගේ හැඟීම. ඒකට ඔවුන් ඉඩ නොදී හිටියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද රඟපෑම කියන එකත් හැමෝටම කරන්න බැරි නිසා.
නමුත් රංගනය කරන, ප්රවෘත්ති නිවැරදි විදියට ඉදිරිපත් කරන්න හැකියාව තියන අයත් ඉන්නවා. නිවේදන කලාවෙන් පටන් අරන් රංගනයට ගියපු අයත් ඕන තරම් ඉන්නවා. රැල්ලට නොගිහිං තමන්ගෙ අනන්‍යතාව ආරක්ෂා කරගන්න පුළුවන් නම් හරිම වටිනවා. ප්රවෘත්ති කියන්නෙ නිකන් වැඩසටහන් ඉදිරිපත් කරනවා වගේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේම ලියලා දෙන දෙයක් කියවන එකත් නෙවෙයි. මං හිතන්නෙ ඒක ගැන දැන් නම් වෙනදට වඩා හොඳට තේරෙනවා ඇති.
ඩිල්කා ඇත්තටම රටින් යන්නෙ PR එක නැතිවෙන නිසාද?
ඇත්තටම ඒකත් ප්‍රධාන හේතුවක්. එහෙ ගිහිං ඉන්න කොච්චර අවස්ථාව තිබුණත් ලංකාවෙම හිටියෙ මෙහෙ ඉන්නවා වගේ නැති නිසා. මම කලින් ඉඳලා ආපු නිසා දන්නවා ඒ හැඟීම කොහොමද කියලා. බලමු. ඒ ගැන ගොඩක් හිතන්නෙ නෑ. මේ වෙලාවෙ මගේ එකම අරමුණ දරුවො එක්ක වැඩි කාලයක් ඉන්න එක.
පාරමී කෞෂිකා ✍️