සචින් ලියනගේ
“කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ ප්‍රධානම චරිතය රගපෑ “නිර්වාන්” එහි රංගනය නිසාම ජනප්‍රියම නළුවා කියන සම්මානයට පවා නිර්දේශවීමට තරම් වාසනාවන්ත වූණා. සචින් ලියනගේ එක්වරම කතාවෙන් එලෙස ඉවත්වී තිබීම සචින්ගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මේ දිනවල පැන නැගී ඇති ප්‍රශ්නයක්. ඒ වගේම සචින්ගේ චරිතයට හානියක් වන විදියේ විවිධ කටකතා සමාජ මාධ්‍ය හරහා පැතිර යනවා ඔබත් දකින්න ඇති. සචින් කතාවෙන් ඉවත්වීමට එක්වරම ගත් තීරණයට හේතුව කුමක්ද කියලා ඇත්ත ඇති සැටියෙන්ම දැනගන්නට අපි සචින් ලියනගේට කතා කළා...
සචින් මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල “ජානු” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට යනවා. ඒත් එක්කම අලුත් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා 28 වැනිද පටන්ගන්න. ඒකත් කරගෙන යන ගමන් “විසල් ආදරේ” ෆිල්ම් එකේ අන්තිම ෂෙඩූල් එකේ ෂූටින් යනවා.
එතකොට ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
ජීවිතේ නම් හැමදාම ගෙවීගෙන ගියා වගේ හරිම සැහැල්ලුවෙන්, හොඳින් ගෙවීගෙන යනවා. මේ දවස්වල සුමති සම්මානත් තියෙනවා. ඒකේ ප්‍රවර්ධන හා ප්‍රචාරණ කටයුතුවලට ගොඩක් තැන්වලට එන්න කියලා තිබුණා. ඒ කටයුතුත් එක්ක තමයි මේ දවස්වල මගේ ජීවිතේ ගෙවෙන්නේ.
සචින්ගේ පවුලේ විස්තර ගැනත් කියමු…
මගේ නම ලියනගේ දොන් සචින් සමීර. මගේ උපන් ගම වත්තල. පාසල් ගියේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලට. පවුලේ ඉන්නේ අම්මයි, අක්කලා තුන්දෙනයි, මමයි.
සචින් “කියාදෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයෙන් ඉවත්වෙන්න තීරණය කළේ ඇයි?
මිනිස්සු දකින්නෙ නැති කාරණාවක් එතැන තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් නිර්මාණයක් බාරගනිද්දී ඇග්රිමන්ට් එකක් අත්සන් කරලා එන එක එහෙම කරන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. මම සාමාන්‍යයෙන් එහෙම ඇග්රිමන්ට් එකක් අත්සන් කරන්නේ නැති කෙනෙක්. ඒකත් එක්ක නළුවාට අයිතියක් තියෙනවා තමන් කරන චරිතෙන් තමන්ගේ නමට හානියක් වෙනවා නම් එතනින් ඉවත් වෙන්න. ඒවගේ එයාලට මම අවුරුදු එකහමාරක විතර තිස්සේ ඉඳලා කිව්වා මම අයින් වෙනවා කියලා.
මොකද ගොඩක් ප්‍රේක්ෂකයෝ දකින්න ඇති නිර්වාන් කියන චරිතය පුටුවෙන් ඇඳටයි, ඇදෙන් පුටුවටයි මාරු වෙවී ඉන්නවා. මම හිතන්නේ ප්‍රධාන චරිතයක් කියලා කියන්නේ ප්‍රධාන දේවල් කරන එක. මට හිතුණා මෙතැනදී නිර්වාන් කියන චරිතය ප්‍රධාන දේවල් කරන්නේ නැතුව අනෙක් හැමදේම කරනවා කියලා. ඒක නිසා මම හිතුවා ඒ නිර්මාණයට මගෙන් වැඩක් නැති නිසා ඉවත් වෙන්න. ඒ අයට මාස තුනක් ෂූට් කරගන්න සහ හොඳ ලස්සනට නිර්වාන්ගේ චරිතයේ අවසානෙකුත් ෂූට් කරගන්න ඉඩ දීලා තමයි මම ඉවත් වුණේ. නමුත් ඒ අය අවසාන කොටස් පෙන්නුවේ නැහැ. මට කියන්නෙත් නැතුව තමයි ඒ චරිතයට වෙනත් කෙනෙක් අරගෙන තිබුණේ.
එතනදී කතාවේ නිර්වාන්ට අසාධාරණයක් වුණාද?
ඇත්තටම එතැනදී නිර්වාන්ගේ චරිතය අලුතෙන් බාරගන්නපු මල්ලී මගෙන් අහලා තිබුණා ඒ චරිතය මම කරාට කමක් නැද්ද කියලා. මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ. මොකද එයා මට මගේ මල්ලි කෙනෙක් වගේ නිසා.
සචින් කියන නලුවට ඒ නිසා හානියක් සිදුවූණා නේද?
ඔව්, ඇත්තටම හානියක් වෙනවා. මොකද මගේ පැත්තෙන් නම් මම හරියටම සදාචාරාත්මක විදිහට එයාලට කලින්ම කිව්වා මම කතාවෙන් ඉවත් වෙනවා කියලා.
සචින්ගේ කරන අනෙක් නිර්මාණවල අයත් හිතන්න පුළුවන් එකපාරටම ඔබ ඒ නිර්මාණවලින් වුණත් ඉවත් වෙන්න පුළුවන් කියලා. එහෙම හිතන අයට මොකද කියන්නෙ?
ඔව්, අනිවාර්යයෙන්ම එහෙම හිතන්න පුළුවන්. හැබැයි මෙහෙම කාරණාවක් තියෙනවා මාත් එක්ක වැඩ කරන අයට සහ ඉස්සරහට මට වැඩ මොනවා හරි බාර දෙන්න ඉන්න අයටත් මම කියන්නේ සාමාන්‍යයෙන් චරිතයක් මනුස්සයෙක් බාරගත්තට පස්සේ චරිතය එපා වෙනවා වගේ තේරෙනවා නම් මම ඒ අයත් එක්ක කතා කරලා ඒක විසඳගන්න පුළුවන් තැනකට එනවා.
මොකද මම ආස නැහැ පෙනි පෙනී චරිතයක් වට්ටනවට. මම දැන් “ජානු” එකේ වැඩ කරගෙන යනවා අවුරුදු එකහමාරක විතර ඉඳලම. අද වෙනකන් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. අනිත් නාට්‍යවලත් එහෙම වෙලා නැහැ. ඉතින් ඉස්සරහට මට වැඩ දෙන්න ඉන්න අයත් බය නැතුව මට වැඩ දෙනවා. මොකද එයාලා දන්නවා මම වැඩ කරද්දි සියයට දෙසීයක් විතරම ඒ වැඩේට ෆෝකස් කරනවා කියලා. මම සාමාන්‍යයෙන් කෙලින් වැඩ කරන කෙනෙක්. ඉතින් මට ප්‍රශ්නයක් ආවොත් ඒ අය අමාරුවේ දාන්නෙ නැතුව එයාලට ඉඩ දීලා තමයි ඒ චරිතයෙන් ඉවත්වෙන්නේ.
සචින් එළියට ගියාම ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩක් හොඳයි. මොකද මම අලුතෙන් ආපු කෙනෙක්. මම ක්ෂේත්රයට ඇවිල්ලා තාම අවුරුදු 07 ක් වගේ. ඒත් ගොඩක් අය මාව හරිම ආදරෙන් වැළඳ ගන්නවා.ගොඩක් අය කියනවා මම “හදවතේ නළුවා” කියලා. ඒකට මම ගොඩක් සතුටුයි.
මගේ ෆෑන් බේස් එකේ මට තියෙන එකම සතුට තමයි පොඩි ළමයගේ ඉඳලා වයසම කෙනා දක්වා මට එක විදිහට ආදරේ කරන එක. ඒක ඒ විදිහටම ලබන්න මම ගොඩක් වාසනාවන්තවෙලා තියෙනවා. කොහොමත් මම අංක එක දෙන්නෙ ප්‍රේක්ෂකයාට. මොකද ප්‍රේක්ෂකයන් නැත්නම් මම මොන නිර්මාණය කරත් හිට් වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයා තමයි මගේ ගමනේ ඉන්න විශේෂම කෙනා.
අද කාලේ බොහෝ දෙනෙක් බලන්නේ එක රැයෙන් ජනප්‍රිය වෙන්න. එහෙම බලද්දි සචින් කියන්නේ ලොකු කට්ටක් කාලා මේ තැනට ආපු කෙනෙක්. සචින්ගේ ජීවිතෙන් තවත් කෙනෙකුට දෙන්න පුළුවන් ආදර්ශය මොකක්ද ?
මම කියන්නේ හැම වෙලාවෙම මොකක් හරි දෙයක් ඉගෙන ගන්න කියලා. මම දැකලා තියෙනවා අලුතෙන් එන ගොඩක් අය එන්නත් කලින්ම නළුවා, නිළිය කියලා හිතාගෙන ඉන්නවා. සමහර දේවල් තියෙනවා අපි ඉන්න අනික් ආර්ටිස්ලට ගරු කරන්න ඕන. අපිත් එක්ක වැඩ කරන පොඩි කෙනාගේ ඉඳලා අනෙක් හැම කෙනා දක්වාම එකම විදිහට ගරු කරන්න ඕන.
ඒත් එක්කම හැම වෙලාවෙම මේක ඇතුලේ මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඕන කියලත් මම කියනවා. මොකද එහෙම නැති වුණොත් දිගු ගමනක් යන්න බැහැ. මාත් තාම ඉගෙන ගනිමින් ඉන්නවා. අනික ප්‍රවීණ ආර්ටිස්ලා එක්ක කතා කරලා ඒ අයගේ දේවල් අහලා ඉගෙන ගන්නත් අපට ගොඩක් දේවල් තියෙනවා.
ගෙදර ඉන්න වෙලාවට වැඩිපුරම මොකද කරන්නේ?
වැඩිපුරම කරන්නේ ෆිල්ම් බලන එක. ගෙදර හිටියොත් දවසට අනිවාර්යයෙන්ම ෆිල්ම් හතර, පහක්ම බලනවා.
විනෝදාංශයක් විදියට මොනවද කරන්නේ?
මම ස්ක්‍රිප් රයිටින් කරනවා. තව ක්‍රිකට් ගහනවා. ෆිල්ම් බලනවා. ඕවා තමයි මම කරන්නේ. හැබැයි ගොඩක්ම වෙලාවට ඉඩක් ලැබුණම කරන්නෙ මගේ පරණ යාළුවොත් එක්ක එකතු වෙලා ක්‍රිකට් ගහන එක තමයි.
වැඩිපුරම කැමති තනියෙන් ඉන්නද? ගෙදර අයත් එක්ක ඉන්නද? එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක ඉන්නද?
මෙහෙමයි, මට එක එක මූඩ් තියෙනවා. සමහර වෙලාවට මම තනියම ඉන්න ආසයි. හැබැයි ගොඩක් වෙලාවට මම කැමතියි මගේ පවුලේ අයත් එක්කම ඉන්න.
පවුලේ අයගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
ඇත්තටම මම හිතන්නේ ඕනම පවුලකින් ලැබෙන්න ඕන සහයෝගය තමයි ළමයා කැමති දේකට ඉඩදෙන එක. මමත් කවදහරි මගේ ළමයෙකුට කරන්නේ එහෙමයි. මොකද මගේ පවුලේ අයගෙන් කවදාවත් බලපෑමක් ඇවිල්ලා නෑ ඔයා අරම කරන්න, මෙහෙම කරන්න කියලා. එයාලා කියන්නේ ඔයා යන පාරේ යන්න හැබැයි හරි දේ කරල කියලා.
ගැහැණු ළමයි වගේම පිරිමි ළමයිනුත් ලස්සනට, පිළිවෙලට ඉන්න කැමතියිනේ. සචින් මෙහෙම කඩවසම් පෙනුම තියාගන්න මොනවද කරන්නේ?
ඇත්තටම මේ දවස්වල නම් මාස තුනකින්, හතරකින් මොනවත්ම කරලා නැහැ. ජිම් යන්නත් බැරි වුණා අවුරුදු දෙකකින් විතර. හැබැයි දැන් ෆිල්ම් එකේ වැඩ පටන් ගන්න නිසා මම ප්ලෑන් කරගෙන ඉන්නවා ඉක්මනට ඒ දේවල් පටන්ගන්න.
කෑම පාලනය කරනවද?
ඇත්තටම පහුගිය දවස් ටිකේ නම් කෑම පානය කරන්නත් බැරි වුණා. මොකද මම කැතලික් නිසා හොඳට ක්‍රිස්මස් සැමරුවා, පාර්ටි කරා.
ෆැෂන් කරද්දි කොහොමද ඇඟ ගැන, ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්නේ?
මම ඇඳුම්වලට සහ ඔරලෝසුවලට ගොඩාක් කැමතියි. ඔරලෝසු නම් මම එකතු කරනවා. මම බ්රැන්ඩඩ්නුත් අඳිනවා. හැබැයි මගේ ජීවිතේ ඇතුලේ බ්රැන්ඩඩ්ම කියලා දෙයක් නැහැ. මගේ ඇස් පිනවනවානම් මොනවා හරි දෙයක් මම ඒක ගන්නවා.
එතකොට කන්න කැමතිම කෑම?
කිරිබත්.
යන්න කැමතිම රට?
ඕස්ට්‍රේලියාව
කැමතිම වාහනය?
දැනටනම් ආසම GTR එකකට. හැබැයි ඒක නම් ලංකාවේ හීනයක් වෙයි. බලමු කවදාහරි දවසක අනිවාර්යයෙන්ම ගන්නවා.
ජීවිතේ වැඩිපුරම වටින්නේ මොනවද?
මගේ අම්මව
ආදරණීය පුතෙක් විදිහට අම්මට මොකද කියන්න තියෙන්නේ?
මම මැරෙනකම් මගෙත් එක්කම ඉන්න කියලා.
ක්‍රෂ් එකක් එහෙම ඇති නේද?
ඒ කාලේ ඉඳලම එමා වොට්සන් තමයි මගේ එකම ක්‍රෂ් එක.
සචින් දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?
මම හිතන්නේ මම අවුරුදු තිස්පහක් විතර වෙනකම්ම තනිකඩව ඉඳියි.
පුංචි කාලේ දැකපු හීනයක්ද අද මේ සැබෑ වෙලා තියෙන්නේ?
නැහැ. මම කැමති ක්‍රිකට් ගහන්න. හැබැයි දෛවයෙන් අපට ලබා දෙන දෙයක් තියෙනවා. ඒක නිසා වෙන්න ඇති මම අද රංගන ශිල්පියෙක් වෙලා තියෙන්නේ.
රංගන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
රංගන ජීවිතයේ සුන්දරම නැහැ. කටුක දේවල් එක්ක තමයි යන්නේ. හැබැයි හැමදේම හොඳ විදිහට තමයි මම බාර ගන්නේ. මොකද මම බිංදුවෙන් හැමදේම පටන් ගත්ත මිනිස්සු. ඒ නිසා බිංදුවට වැටෙන්න බය නැහැ. කෙලින් කතා කරලා, කෙලින් වැඩ කරලා මගේ දක්ෂතාවයෙන් ගමනක් යන්න තමයි මම හැම වෙලාවෙම බලන්නේ.
ජීවිතේ කලකිරීමක් ඇතිවුණ දවසක් ගැන කතා කළොත්?
අනිවාර්යයෙන්ම ඒක කියන්න දවසක් මට එනවා. ජීවිතේ විඳපු දුකක්, කටුකත්වයක් ගැන කියන්න මොකක් හරි ජයග්‍රහණයක් අතේ තියෙන්නම ඕන. ඒ ජයග්‍රහණය අතට ගත්ත දවසට මම ඒ ගැන පොඩ්ඩ පොඩ්ඩ කියයි.
ඒ වගේම සචින්ගේ ආදරණීය ෆෑන්ස්ලා කැමති ඇති සචින් ගේ ඔරිජිනල් එෆ්බී එකවුන්ට් එක ගැනත් දැනගන්න?
ඔරිජිනල් FB එකවුන්ට් එක තියෙන්නේ සචින් ලියනගේ කියලා. එකේ ෆ්ලොවර්ස්ලා පන්දාස් ගාණක් ඉන්නවා. අනෙක් ලක්ෂ තුනක් විතර ඉන්නෙ මගේ රියල් පේජ් එකේ තමයි.
සචින් පෞද්ගලික ජීවිතේ මොනවද තියෙන බලාපොරොත්තු?
පෞද්ගලික ජීවිතේත් බලාපොරොත්තු දෙක තුනක් තියෙනවා. හැබැයි ඒවත් හැබෑ කර ගනිපු දවසටම මම කියන්නම්.
පාරමී කෞෂිකා ✍️