ඉන්දියන් සාගරයේ මුතුඇටය ලෙස අතිතයේ විරුදාවලි ලත් මේ රට පසුගිය කාලයේ ආසියාවේ ආශ්චර්ය ලෙසද හැඳින්වූ අතර දැන්නම් හරියටම හඳුන්වන්නේ ආසියාවේ ආශික්ලන්තය ලෙසටය. එහි කිසිදු වරදක් නොමැති බව වඩාත් හොඳින්ම දන්නේ එහි ජීවත් වන සාමාන්‍ය ජනතාව වන අපය.
මේ වනවිටත් ආශික්ලන්තයේ බොහෝ දෙනෙකු යන්තම් හෝ බඩකට පුරවාගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වෙතින් ලබාගත් ණය මුදලට පින්සිදු වන්නටය. එපමණක් නොව ඒ නිසා ගිලා බැස තිබෙන මෙරට ආර්ථිකයටද යම් ප්‍රමාණයක හෝ සවියක් ලැබී ඇත. දැන්ද දත කට නියවාගෙන බලා සිටින්නේ නුදුරේදීම IMF වෙතින් ලැබෙන ඉතිරි ඩොලර් කෝටි 30 ක ණය වාරිකය ලැබෙන තෙක්ය.
නමුත් මෙහි හොඳම හරිය මතුවන්නේ මුලින් ලැබුණු ණයවලින් ගෙන්වා ඇති බඩු ගැන පාර්ලිමේන්තුවේදීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු කරන ලද අනාවරණයත් සමගය. ඔහු පෙන්වා දී ඇත්තේ ලැබුණු ණයවලින් ඩොලර් විසිනව කෝට් පනස්ලක්ෂයක් වියදම් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුම කිරි අල, අර්තාපල්, සුදුලූනු, ගොරකා, කජු, ගස්ලබු, කොමඩු, අන්නාසි සහ ටින් මාළු මෙරටට ගෙන්වූ පුවතයි.
මේ කාරණයට කොතනින් සිනා විය යුතුදැයි තවමත් අපට නොතේරෙන අතර කිවයුතුම කාරණය වන්නේ මෙරට පොළව මතට ඇට ටිකක්, දඬු ටිකක් විසිකළ පමණින් වැවෙන ගස්ලබු, කොමඩු, කිරි අල, අර්තාපල් වැනි බෝග පිටරටින් ගෙන්වීමට තරම් කුඩා මොළයක් මොවුන්ගේ ඔළු කටු තුළ තිබීම පිළිබඳවය.
මේ වනවිටත් කර ඇති ආර්ථික දියුණුවේ තරම කොතෙක්ද කියතොත් කළු සීනි ඇටයක් තියා සුදු සීනි ඇටයක්වත් පාරිභෝගිකයාට සතොසකින් හෝ සුපිරි වෙළඳසැලකින්වත් රු 270 මිලකට සොයාගැනීමට බැරිය. තියෙන ටිකත් ඇත්තේ ගිණි ගණන්වලටය. මේවා කොහොම ඇතිවූ හිඟයන් දැයි දන්නේ ඒවාට උඩගෙඩි දෙන උන් පමණි. එහෙව් වටපිටාවක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2024 අයවැයේ කෘෂි ආර්ථිකය පිළිබඳවත් අමතක කර ඇත.
හොරාගේ අම්මාගෙන් පේන අසා වැඩක් නැතැයි දන්නා ජනතාව වහාම කළ යුත්තේ තියෙන බිම් අඟලක මොනවා හෝ වගා කරමින් තමන්ගේ කෑම වේලට අවශ්‍ය ද්‍රව්‍ය පුළුපුළුවන් විදිහට සපයාගැනීමක්ය. දියවන්නාවේ අය ජනතාවගේ බඩගින්න තේරුම්ගනීවි යැයි කිසිවිටෙකත් අපේක්ෂා කළ නොහැකිය. ඒ නිසා ළඟ එන උත්සව සමයේ ගිනි ගණන්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින රජයටම හරියන කළු කඩකාරයන්ගෙන් බේරීම සඳහා පාරිභෝගික ජනතාව වන අප උපක්‍රමශීලී විය යුතුමය.