ඕනෑම කෙනෙකුට ගෙදර වත්ත පිටියෙන් තමන්ට කැමති පරිදි කැමති වෙලාවක අඩුම කුඩුම සොයාගෙන පෙත්තක් හෝ එන්නතක් වුවත් සෑදිය හැකි රටක් වේ නම් ඒ සිරි ලංකාවයි. ඒ තරමට මේ රටේ ඖෂධ ගැන, එන්නත් ගැන මෙන්ම ඖෂධ හා එන්නත් නිෂ්පාදනය මෙන්ම සැපයීම පිළිබඳවත් මේ රටේ මහජනතාව තුළ තිබූ විශ්වාසය සෑදිය නොහැකි ආකාරයෙන් පළුදු වී තිබේ.
මේ වනවිට හොඳින්ම රඟ දැක්වෙන්නේ ව්‍යාජ ලේඛන සකස්කර එක එන්නතක් ඩොලර් 130 ක මුදලට එන්නත් 22500 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලට ගෙන ඇති බාල ඉමියුනොග්ලොබින් නාටකයයි. මෙම එන්නත මගින් මිනිසාගේ බිඳ වැටෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියට සවියක් සැපයේ.
මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයාත් සහකාර අධ්යක්ෂවරයාත් ගණකාධිකාරවරයාත් තොග පාලන නිලධාරියාත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි. එපමණක්ද නොව බාල බඩු සැපයූ Good Manufacture Process සහතිකයවත් නොමැති ඉමියුනොග්ලොබින් සැපයුම් සමාගමේ සභාපතිවරයාත් සිරගත කර තිබේ.
දැනටමත් අධිකරණය මොවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව බාල බඩු ඉහළ මිලකට ක්ෂණිකව ලබාගත්තේ කුමන පදනමක් යටතේද යන්නයි. ඒ තිබූ හදිස්සියට එම එන්නත් ඔවුන්ගෙන් කෙනෙකුට ලබා ගැනීමේ අරමුණක් තිබුණේද යන්නයි. මෙය එකක් පමණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙවැනි දඩිබිඩි ජඩ වැඩ ඕනෑ තරම් තිබේ.
මේ සියල්ලෙන්ම අවසානයේ බැට කන්නෙ මෙරට නිදහස් සෞඛ්‍ය සේවය භුක්තිවිඳින අසරණ රෝගී ජනතාව මිස ඉහත සඳහන් කළ දඩිබිඩි වැඩ කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් නොවේ. ඔවුන් බොහෝමයක් කැස්සකටවත් හෙම්බිරිස්සාවකටවත් බෙහෙත් ගන්නේ හොඳම පෞද්ගලික රෝහලෙන් හෝ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් වලින් විය හැකියි.
එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයට අභිනවයෙන් පත්වූ මෙරට පළමු වෛද්‍ය පරිපාලන සේවයේ විශේෂඥ වෛද්‍යතුමනි ඔබට ඇත්තේ එසේ මෙසේ රාජකාරියක් නොවේ. සෞඛ්‍ය ලේකම් ධුරයට අදාල වැඩකටයුතු සියල්ල හොඳින් සිදුකරන අතරේ පසුගිය කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ බැල්ම සහිතව වෛද්‍ය සැපයුම් අංශය (MSD) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරිය (NMR) සහ බොහෝ රජයේ රෝහල්වල හොර රහසේ සිදුවන මගඩි ඇල්ලීම සඳහා සූක්ෂම විපරමක් කිරීමයි. එසේ කිරීමෙන් මෙරට රෝගී ජනතාව තුළ සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ විශ්වාසයත් මෙරට රජයේ රෝහල් පද්ධතිය පිළිබඳ බලාපොරොත්තුවකුත් ඇති කළ හැකියි.