අප දන්නා දවසේ සිට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාව වශයෙනි. නමුත් කෙමෙන් කෙමෙන් එය මහත්වරුන්ගෙන් ගිළිහී මුදලාලිලා අතට පත්වී දැන් එය රැඳී තිබෙන්නේ ජෝකර්ලා කොටසක් අතේ බව නම් පෙනේ. මේ කොටසට අයි.සී.සී, ක්‍රිකට් පරිපාලනය මෙන්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයන්ද අයත්ය.
මෙයට ලස්සනම උදාහරණය පෙන්වන්නේ පසුගිය ආසියානු කුසලානය සහ තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන ලෝක කුසලාන තරගාවලියයි. වැඩි වශයෙන් දැන් අපි දකින්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා ක්‍රීඩකයන් මහත්මා ගති පෙන්වනවාට වඩා මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ බලු ගති, අමන ගති පෙන්වීමකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරදින විදිහ සෑහෙන කාලයක සිට බලාගෙන සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ ඉවසීම පුදුම සහගත යැයි වැඩිපුරම ලෝකයට කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ය.
එයට කදිම උදාහරණ ඔවුන්ම ගෙනහැර පාන්නේ ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් එක තරගයක් පරදින විට එරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දේපලවලට සහ පවුල්වලට දෙන අමතක නොවන පාඩම් ගෙනහැර දක්වමිනි.
දැන් දැන් මෙරට ප්‍රේක්ෂකයන්ද කියා සිටින්නෙ එහෙම පාඩමක් ඉගැන්වූවානම් මෙලහකටත් ශ්‍රී ලංකා ක්‍රිකට් හැදෙන්නට පටන් අරගෙන බවය. නමුත් එසේ සැලකීම වැඩි ඈතක නොවන බව ක්‍රිකට් ක්‍රීඩකයන් දැන්වත් තේරුම්ගත යුතුව ඇත.
එම නිසා වීමට පෙර වළක්වාගැනීම හොඳ බව අපි මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට යෝජනා කරන්නටද මැලිවන්නේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇත්තේ පරිපාලනමය ප්‍රශ්නයක්ද? පුහුණුව මදිකමේ පිළිබඳ ප්‍රශ්නයක්ද? හරිම ක්‍රීඩකයන් ජාතික කාණ්ඩායමට තෝරාගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ද? ක්‍රීඩකයන් තෝරාගන්නා ක්‍රීඩා සමාජවල ප්‍රශ්නයක්ද? මේ සියල්ලම නොවන්නේ නම් ක්‍රීඩකයන්ගේ විනය සහ හික්මීම පිළිබඳ ප්‍රශ්නයක්ද?
මේ සියල්ලෙන් කෝක වුණත් අවසානයේ සිදුව ඇත්තේ රටක් වශයෙන් අප ක්‍රිකට් පරාජය වීමය. විනය පිරිහුණු තැනක ක්‍රිඩාවක් ජයග්‍රාහී අන්දමින් තිබිය හැකිද? එම නිසා මේ සියල්ල තේරුම් ගනිමින් ක්‍රිකට් පරිපාලකයිනුත්, ක්‍රීඩකයනුත් ඔවුන්ව දිරිමත් කරන ප්‍රේක්ෂකයනුත් සාමූහික මතයකට පැමිණ මෙරට ක්‍රිකට් දිනවීමට වහා මනස වෙනස් කරගත යුතුය.
බොහෝවිට ලෝක ජනයා ශ්‍රී ලංකාව ගැන දැන ගත්තේ සනත් ජයසූරියගේ වේගවත් පිති හරඹය නිසාය. එසේ නොමැතිනම් මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවේ දඟ කැවීම නිසාය. අර්ජුන රණතුංග කැප්ටන් කූල් බව නිසාය.
සංගක්කාරගේ මහත්මා ක්‍රීඩා විලාශය නිසාය. එවැනි තැනකට ඉන්දියන් සාගරයේ මුතු ඇටය ඔසවා තබන්නට පරිණත ක්‍රීඩකයන් තමන්ගේ දහඩිය මහන්සිය කැප කළ ආකාරය ඉතිහාසයේ ක්‍රිකට් තරග දිනූ හැටි බැලූ විට තේරුම්ගත හැකිවනු ඇත.
එලෙස ඔසවා දුන් රට මෑත කාලීන ක්‍රිඩකයන් සංචාර තුළදී සිගරට් බොමින්, ක්ලබ් යමින්, ගැහැනුන් පසුපස යමින්, ටික්ටොක් කරමින්, ෆේස්බුක් ලයිව් එමින්, ඔන්ලයින් ගේම් ගසමින් විනාශ කරන්නේ රටක කීර්තිනාමය ඔවුන්ගේ අම්මාගේ අප්පාගේ බූදලය යැයි සිතානම් ඉන් එහාට කවර කතාද?
එම නිසා ජනාධිපතිවරයාත්, ක්‍රීඩා ඇමතිවරයාත් මධ්‍යස්ථ මතයකට පැමිණ පැරණි ක්‍රීඩකයන්ගේ ඇත්දැකීම්ද උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලාලි මාවතෙන් ක්‍රීඩා මාවතට අවතීරණය නොකර ගන්නේ නම් ඉන්දීය ප්‍රේක්ෂක සැලකීම නුදුරේදීම මේ රටේ ක්‍රීඩකයන්ටද සජීවිව විඳගත හැකි වනු ඇත.