අඳුරේ අතපත ගෑමට කැමති පිරිස් මේ රටේ තැන තැන සිටියත් බහුතරය අඳුරේ අතපත ගෑමට ප්‍රියතාවයක් දක්වන්නේ නැත. මන්ද අප ජාතියක් වශයෙන් අඳුරෙන් එළියට ඇවිත් අඳුර එළිය කරගෙන ජීවත්වන පිරිසක් බවට පත්වූයේ කලකට පෙරය. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය සොයාගැනීමට පිං සිදුවෙන්නටත්, බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් විදුලිය සොයාගැනීමට පිං සිදුවන්නටත් අපේ රටේ බහුතරය අඳුරු කාලයේදීත් එළියෙන් ජීවත්වෙන්නට පුරුදු වූ බව සත්‍යකි.
මේ නිසාම අඳුර පවතින රාත්‍රි කාලයත් ප්‍රයෝජනවත් විදිහට යොදාගැනීමට මේ රටේ බහුතර ව්‍යවසායකයින්ට, අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම සවස් යාමයේ නිවස තුළට එකතුවන පිරිසටද ඇතිවී තිබෙණු ඇත.
නමුත් දැන් දැන් මේ රටේ විදුලි බලය සම්බන්ධයෙන් සිදුවන්නට යන දෙයින් ඉදිරියේදී ඉටිපන්දමක් හෝ භූමිතෙල් ලාම්පුවක් හෝ දල්වාගෙන අඳුරෙන් එළියට ඒමට සාමාන්‍ය ජනතාවට සිදුවේ දැයි ඇත්තේ චකිතයකි. මන්ද මේ වෙනකොටත් අහස උසට නැග ඇති මේ රටේ සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල තවත් 32% කින් ඉහළ නංවන්න යැයි යෝජනාවක් ඉදිරිපත් කර තිබීමයි.
එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ ඉදිරි මාස 3 ක කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 54 ක මුදල උපයා ගැනීමට මෙලෙස විදුලි බිල නැංවීම කළ යුතු යැයි ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යෝජනා කර තිබීමයි.
මේ වනවිට අහස උසට නැග ඇති මේ රටේ සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල මෙලෙස මාස කිහිපයක් ගත වන්නට මත්තෙන් නැවතත් 32% කින් වැඩි කරන්නට ඉල්ලීමම ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඒවා උපරිමයෙන් විසඳීමට පාර්ලිමේන්තුවට යවන මහජන නියෝජිතයන් මෙන්ම බලශක්තිය ගැන පමණක් කතා කිරීමට විෂයභාර ආමාත්‍යවරයෙක් පවා පත් කරන්නේ මන්දැයි ජනතාව ඔළු කට්ට ඇතුළේ තියෙන මොළ ගෙඩියෙන් ගැඹුරින් සිතිය යුතු නොවන්නේද ?
දැනටමත් පිටරටින් පැමිණි ආයෝජකයන් වැඩි කළ විදුලි බිල හේතුවෙන් ආයෝජන අවස්ථා හකුලාගෙන වෙනත් රටවලට ගොස් ඇති අතර මෙරට කර්මාන්තද අධික විදුලි බිල හේතුවෙන් කබලෙන් ළිපට වැටී ඇත.
එපමණක්ද නොව පසුගිය කාලය පුරා සිදුවූ පැය ගණන් හදිසි විදුලි කප්පාදු නිසා සංචාරකයන් පවා මෙරට හෝටල්වල නැවතීම පිළිබඳව දෙවරක් සිතූ අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ පාඩම් වැඩ අඩාල වූ බවද නොරහසකි.
මෙකී සියලු කාරණා නිසා බලශක්තිය සමඟ බද්ධ වී ඇති අපේ ජීවිත බලශක්තියේ ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් සමඟ තවත් ගැටලුවෙන් ගැටලුවට මුහුණ දෙනවා මිස ඉන් මිදිමක් නැත.
එම නිසා දූෂණය, වංචාව, ආකාර්යක්ෂමතාවය රජ කරන රටක ඒවා සොයා බලා නවත්වනවා මිස ඉන් වන පාඩුව ජනතාව පිට පටවා විදුලි බිල, ජල බිල, දුරකථන බිල මෙන්ම අත්‍යවශ්‍ය ආහර ද්‍රව්‍යවල මිල සහ ඖෂධ මිල වැඩි කරමින් මිරිකී සිටින ජනතාව තවත් හොඳට මිරිකා අඹරන්නට රජය සහ වගකිවයුතු ආයතන සූදානම් වන්නේ නම් ඔවුන්ට ලැබිය යුත්තේ වැහි නැති හෙණ මිස අන් කවරක්ද ?