දැන් අපේ රට එදා වේල කන්න නොමැතිව ජනතාව මැරී වැටෙන රටක් බවට පත්වී තිබෙනවාද? අපට නම් එයට තවමත් නිවැරදි පිළිතුරක් සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත. මන්ද එය තහවුරු කිරීමට පරීක්ෂණ, නිරීක්ෂණ හෝ ඒ අනුව එළැඹෙන නිගමන අප සතුව තවමත් නොමැති නිසාය.
නමුත් ලෝකයේ බොහෝ සෞඛ්‍යමය කාරණා පිළිබඳව වගකියන යුනිසෙෆ් ( UNICEF) වැනි ආයතනයක් මෑතකදී ඉදිරිපත් කළ 2023 වර්ෂයට අදාළ ශ්‍රී ලංකාවේ තත්ත්වයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව කන්න නොමැතිව ජනතාව මැරෙන රාජ්‍යයක් ලෙසටය.
මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වනවිට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුවත් ලෝකයම දන්නා පරිදි ශ්‍රී ලංකාව යනු ඉහළ සාක්ෂරතාවයක් ඇති, කාන්තා අධ්‍යාපනය ඉහළින්ම පවතින, ළදරු මරණ සංඛ්‍යාව නව උපත් 1000 කට 08 ක් වැනි අවම ප්‍රමාණයක් තිබෙන, දරුවන්ට සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වන සහ සාර්ථක ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් ඇති රාජ්‍යයක් ලෙසටය
පැවැති කොවිඩ් වසංගත තත්ත්වයේදීත් රටේ ආර්ථික අවපාතය හමුවේදීත් මේ රටේ ජනතාව ඇටසැකිළි බවට පත්වී පාරේ ගමන් කරන ආකාරයක්වත් තැන තැන බඩගින්නේ මැරී වැටෙන ආකාරයක්වත් අපි දැක තිබුණේවත් අසා තිබුණේවත් නැත. එසේ නම් මේ වාර්තාවල අරමුණ කුමක්ද? ගැඹුරින් සිතා බැලිය යුතු නොවන්නේද? පරිභෝජනය කරන අපේ ආහාර රටාවට අනුව දකුණු ආසියාවේ වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ බෝ නොවන රෝගවල ව්‍යාප්තිය වැඩිය. විශේෂයෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් වැඩිහිටි ජනතාව අතර මෙන්ම දැන් දරුවන් අතරත් වැඩිය.
එපමණක්ද නොව පාසැල් දරුවන් අතර ස්ථුලතාවයද දැකිය හැකිය. එහෙත් වතුකර ජනතාව, නාගරික සහ ගම්බද අඩු ආදායම්ලාභී ජනතාව අතර පෝෂණ ඌණතා සහ මන්දපෝෂණ තත්ත්වයන් ඇත. නමුත් මේ කිසිවකින් මේ රට කන්න නොමැතිව ජනතාව මැරෙන රටක් යැයි පිටින් සිට බලන්නෙකුට කිව හැක්කේ එහි යටි අරමුණක් ඇතිව එක් එක් සංවිධානවලින් ආධාර ලෙස මුදල් ලබාගෙන මේ රටට උදව් කරන්න යැයි කියන චිත්‍රය පෙන්වීමට වියනොහැකියි. නැතිනම් පවතින නිදහස් සෞඛ්‍යට බලපෑමක් ඇති කරන්නටද? එම නිසා රටේ පෝෂණය පිළිබඳව වගකියන ආයතන සහ පුද්ගලයෙනි, මේ කරුණ ගැන ගැඹුරින් සිතා බලා වරද නිවැරදි කිරීමට කාලය දැන් එළඹ තිබේ.