ශ්‍රී ලාංකික අපට උණෙන් අඩුවක් නැත. සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු උණත් මී උණත් තිබියදී ඉතා නුදුරේදීම තවත් උණක් අපේ හිස මතට කඩාපාත් වන හැඩය. එය මෙනින්ජි පටල ප්‍රදාහය හෙවත් මෙනින්ජයිටීස් ලෙස හැඳින්විය හැකි අතර එය අවසානයේ මොළේ උණ තත්ත්වය දක්වා වර්ධනය වේ. ඇතැම්විට එලෙස ඇතිවන මොළේ උණ ඉන් නතර නොවී එය මොළයේ සැරව ගෙඩි දක්වාද වර්ධනය වෙමින් ජීවිතය පවා අහිමි විය හැකි තත්ත්වයට පත් වේ.
නමුත් ප්රශ්නය වී ඇත්තේ මෙනින්ජයිටීස් වළක්වාගැනීමට වැඩිහිටියන්ට ලබා දෙන Menningococcal Vaccineඅවුරුදු එකහමාරක පමණ කාලයක සිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ නොමැති වීමයි. එසේ නොමැති වීමෙන් මෙනින්ජයිටීස් ඇති කරන බැක්ටීරියාවට එරෙහිව මිනිස් ශරීරය තුළ කළින් ප්‍රතිදේහ නිර්මාණය කළ නොහැකි බැවින් එම බැක්ටීරියාවෙන් බේරීම සඳහා මිනිස් ශරීර තුළ ප්‍රතිශක්තියක් නොමැතිවේ. මේ මුවාවෙන් නියමිත උෂ්ණත්වයේ ගබඩා නොකළ, කල් ඉකුත් වූ මෙනින්ජයිටීස් එන්නත්ද ජාවාරම්කරුවන් විසින් අලෙවි කෙරේ.
මෙහි ඛේදනීය තත්ත්වය ඇති වන්නේ මේ වනවිටත් මැදපෙරදිග රටවල ව්‍යාප්ත වී තිබෙන මෙනින්ජයිටීස් වැනි රෝග අපේ රටට නුදුරේදීම ආ හැකි බැවිනි. එයට හේතු වන්නේ ළඟ එන හජ්ජි උත්සවය වෙනුවෙන් සෞදි අරාබිය වැනි ඉස්ලාම් රටවලට මෙරටින් පිටව යන බැතිමතුන් හරහා අපේ රටට මේ බැක්ටීරියාව ඇතුළු විය හැකි බැවිනි.
සාමාන්‍යයෙන් සෞදි අරාබිය වැනි රටවලට සංචාරයට පෙර වීසා ඉල්ලීමේදී එම තානාපති කාර්යාලය විසින් දින 21 කට පෙරදීවත් ලබාගත් මෙනින්ජයිටීස් වැක්සීන් කාඩ්පතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කරයි. නමුත් මෙරට සෞඛ්‍ය පද්ධතියේ එම එන්නත නොමැති වීම නිසා මේ වනවිටත් බොහෝ බැතිමතුන් සහ සංචාරකයන් ව්‍යාජ ලිපි ලේඛන සකසා තමා එන්නත ලබාගත් බවට තහවුරු කරමින් වීසා ලබාගන්නා බව වාර්තා වේ.
මෙවැනි තත්ත්වයක් තුළ හජ්ජි උත්සවය සමයේ සෞදි අරාබියටත් වෙනත් මැදපෙරදිග රටවලටත් සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් මෙනින්ජයිටීස් බැක්ටීරියා වාහකයන් ලෙස ක්‍රියා නොකරනු ඇතැයි සහතික කිරීමට මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයටවත් මෙරට සෞදි තානාපති කාර්යාලවලටවත් උඩ ඉන්න දෙවියන්ටවත් නොහැකි බව තේරුම්ගත යුතුව තිබේ.
එම නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීනි, ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නිලධාරීනි කෙසේ හෝ රටේ සමස්ත ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් වගකීමට බැඳී අඩුමතරමින් සෞදි අරාබියටත් මැදපෙරදිග රටවලටවත් යන ශ්‍රී ලාංකික පිරිස වෙනුවෙන්වත් මෙනින්ජයිටීස් වළක්වා ගැනීමේ එන්නත වහ වහා ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යංශයම මැදිහත් වී එය ලබාදීමට කටයුතු නොකරන්නේනම් මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතියම ඉදිරියේදී අවධානමකට ලක්වේ. විශේෂයෙන් බෝ නොවන රෝග වලින් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩාත් අඳුරට ඇද දැමේ.