පසුගිය අට වැනි බ්‍රහස්පතින්දා මෙරට පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගය අවසන් විය. නව යොවුන් වියේ පසුවන මෙම දරුවන්ට විභාගයට සූදානම් වන කාලයේ සිට විභාගය අවසන් කළ දා තෙක්ම ජීවිතය පිළිබඳ සිහින, ඉලක්ක සහ බලාපොරොත්තු තිබෙන්නටද ඇත. එපමණක්ද නොව නව යොවුන් වියේ පසු වන මෙවැනි දරුවන්ට කුතුහලයත්, දඟකාර බවත් උපරිමයෙන් ඇති බවද අපි දනිමු.
නමුත් මොවුන්ට ලබා දෙන අධ්‍යාපනයෙන් විය යුත්තේ කුමක්ද? රටටත් සමාජයටත් වැඩදායී දරුවකු බිහිවීම වෙනුවට අනාගතයට තක්කඩියකු, මැරයකු, මංකොල්ලකරුවෙකු කොටින්ම කියතොත් සමාජ වගකීම් විරහිත පුද්ගලයෙකු බිහි වන්නේ නම් ඉන් එහාට ඒ අධ්‍යාපනය පිළිබඳ අපටද කතාවක් නැත.
සාමාන්‍ය පෙළ විභාගය නිමා වූ පාසල් කිහිපයක පන්ති කාමරවල පින්තූර සමාජ මාධ්‍යයේ මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුළ ද ප්‍රවෘත්තිමය ඉඩක් වෙන් කර ගත් ආකාරයක් අපට දැකගත හැකිවිය. එම පන්ති කාමර තුළ ඩෙස් පුටු සිවිලිමේ එල්ලී, විදුලි පංකාවේ පෙති ඇඹරී පහළට නැවී, බිත්තිවල බලිකුරුටු පිරී ඇති අයුරු නෙත ගැටෙන ඕනෑම කෙනෙකුට රටේ දරුවන් පාසල්වලට යවන්නේ මන්ද?
වසර දහයක් දරුවන් පාසලේදී කර ඇත්තේ කුමක්ද? මෙවන් දරුවන් සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ කළ පසු මුළු පාසලම සමතලා කරයිද? මොවුන් සමාජගත වූ විට මොනවයින් මොනව සිදු වේද යන උභතෝකෝටික ප්‍රශ්න වැලක් මතුවීම පුදුමයක් නොවේ.
සාමාන්‍ය පෙළ ලියු දරුවන් තමා ද හැදී ලෝකයද හදාවි යැයි සිහිනෙන්වත් අපට සිතිය හැකිද? මහ පාර, බස් නැවතුම, දුම්රිය නැවතුම, රෝහල, පන්සල, පල්ලිය, පාර්ලිමේන්තුව වැනි තැන්වලදී අනාගතයේ දවසක හමුවන්නේ මෙවැනි දරුවන් නම් මොවුන්ගෙන් වැඩක් කරගැනීමට සිතන්නට කලියෙන් අප සිතිය යුත්තේ ජීවිත ආරක්ෂාව පිළිබඳවය.
අපේ කාලවලදී වාර විභාග අවසානයේදීද, සාමාන්‍ය පෙළ,උසස් පෙළ අවසානයේදීද ශිෂ්‍යයන් ලෙස අප කළේ නිල් දියකර ගැසීමක් හෝ දිලිසෙන කුඩු ඉසීමක් වැනි ඇස් රතු නොවන විහිළුවකි. පන්ති කාමරයම හොඳින් අතුගා ඩෙස් පුටු එක පසකට සකස් කර පන්තියේ කොසු, ඉදල් සඟවා සින්දු කියා විසිර යෑමක්ය. එයින් අප අතර වර්ධනය වූයේ සුහදතාවය සහ සාමුහිකත්වයයි. නමුත් දැන් ළමයි ඊට වඩා හාත්පසින්ම වෙනස්ය.
නුදුරේදීම ශ්‍රී ලාංකේය අධ්‍යාපනයට වග කියන ආයතන සියල්ලටම සිදුවන්නේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඇතැම්විට ශිෂ්‍යත්වය වැනි කඩඉම් විභාග පවත්වන අතුරතුරේ පාසලේ පන්ති කාමරය, බඩමුට්ටු සහ ගොඩනැගිලි මෙවැනි ශිෂ්‍ය මැරයන්ගෙන් රැකගැනීම සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව කැඳවීම විනා අන් කවරක්ද?