ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි විසි ලක්ෂයකට ආසන්න වෙමින් තිබේ. මෙම දෙකෝටි විසි ලක්ෂයෙන් ළදරුවන් කොටස හැරුණු විට අනෙක් සියලු දෙනා සජීවි පාරිභෝගිකයන් වේ. මෙවන් විශාල පාරිභෝගිකයන් පිරිසක් අද වනවිට විවිධ තරාතිරමේ ගැටලුවලට මුහුණදෙමින් සිටියි. ඇතැම් විට ඒ ගැටලු බොහෝමයක් සරල අවදියේදීම විසඳිය හැකි ඒවා වූ නමුත් ඒවා නොවිසඳුණ කල්හි මහා පරිමාණ පාරිභෝගික ගැටලු බවට පත් වී ඇත.
අත ළඟට පැමිණෙමින් තිබෙන්නේ මෙකී පරිභෝගිකයින් රැකගත යුතුම සමයයි. පෙට්ටි කඩේ මුදලාලිගේ සිට සුපිරි වෙළෙඳසැලේ කැෂියර් නෝනා දක්වාම අද කරන්නේ ශ්‍රී ලාංකික පාර්භෝගිකයා සූරා කෑමේ ජාවාරමයි.
උත්සව සමය මුවාවෙන් සේල්, වට්ටම්, ඉන්ස්ටෝල්මන්ට් පෙයින්, බයි වන් ගෙට් වන් වැනි දේ හරහා මිනිස් සිත තුළ වාව් හැඟීම ඇති කරමින් කඩකාරයන් සහ බැංකුකාරයන් සැරසෙන්නේ අතරැදි සොච්චම උවමනා දේටත් වඩා නොඋවමනා දේට වියදම් කිරීමට ඔවුන්ව පෙළඹවීමයි.
බොහෝවිට කොත්තු රොටියට දමන්නේ පෙරදා රාත්‍රියේ ඉතිරිවන කරි ටිකයි. රයිස් එකට දමන්නේ කුණු වී ඉවත් කිරීමට සූදානම් වන එළවළු කොටසයි. ප්ලේන්ටිය, ටී එක හැදෙන්නේ කලින් දවසේ තැම්බූ තේ කොළ ටිකෙන්මයි. බොහෝවිට සීනිවලට යොදන්නේ ආදේශක ද්‍රව්‍යයි. මේ අනුව මිලට ගන්නා බත් පතේ සිට හැම්බේකන් දක්වාම වෙළෙඳ ප්‍රජාව කරන්නේ පාරිභෝගිකයා සූරා කෑමයි.
මෙවැනි තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය වී ඇත්තේ කඩකාරයන් නියාමනය සඳහා නිසි ආයතනයක් මෙරට තුළ රජය විසින් ස්ථාපනය නොකිරීමයි. මීට ටික කලකට ඉහතදී නින්දෙන් ඇහැරුණා මෙන් විටින් විට නැගිට වැඩ කළ පාරිභෝගික සේවා අධිකාරියත් අද ඉන්නේ මර නින්දෙයි. පාරිභෝගිකයන් වෙනුවෙන් කට ඇරි මහජන සෞඛ්‍යය පරීක්ෂකයන්ද තුවක්කු පෙන්වා කට වසා තිබේ.
පොලිීසියද පාරිභෝගිකයන් යොමු කරන කිසිදු පැමිණිල්ලක් ගණන් නොගෙන සිටියි. මේ නිසා භාණ්ඩයේ ගසා ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් හාල් පතේ සිට පාරිභෝගිකයාගෙන් මුදල් ගන්නා මොවුන්ට විරුද්ධව දැන් අපි කළ යුත්තේ එක එක ආයතනවලට පැමිණිලි කරනවාට වඩා පාරිභෝගික ප්‍රජාවම එකතු වී තමන්ව සූරාකන වෙළෙඳ ප්‍රජාවට එරෙහිව නැගී සිටීමකි.
ඒ නිසා බේකරි කෑම මිල වැඩි කළ මොහොතේ ඒවා වර්ජනය කළ අපි, බිස්කට් මිල වැඩි කළ මොහොතේ ඒවා නොගෙන සිටි අපි, කිරි පිටි වැඩි කළ මොහොතේ දියර කිරිවලට හුරුවූ අපි මුන්ට බම්බු ගහගන්න යැයි කියා පාරිභෝගික ප්‍රජාවක් ලෙස එකමුතු වී පවුරක් මෙන් නැගී නොසිටියහොත් සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ දරුවන්ට හෝ යමක් අරන් දී සමරන්න නොහැකි තත්ත්වයකට පත්වනු ඇත. ඒ නිසා දැන්ම මේ ඊනියා හොර වෙළෙඳ ප්‍රජාවට එරෙහිව පෙළගැසීම කළ යුතුමය.