මේ රටේ හොරකම නොමැත්තේ කොහිද? පොඩි එකාගේ සිට ලොකු එකා දක්වාම දැන් මාන බලන්නෙ හැකි හෑමවිටකම හොර පාරෙන් අතමිට සරු කරගැනීමටය. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පටන්ගෙන මේ රටේ සමස්ත රාජ්‍ය සේවයම ලංකාවේ පමණක් නොව ලෝකය ඉදිරියේද බලු වී ඇත. එයින් නොනැවතෙන මේ හොරකම ඇතැම් පෞද්ගලික ආයතනවලටත් උඩු දුවා ඇත. මේ සියල්ලෙන්ම බොඳව යන්නේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා යෑමේ ගමනය.
හොරකමට පුරුදු වූ මිනිසුන් වැඩි රටක හොරකම ප්‍රතික්ෂේප කරමින් හරියට වැඩ කරන මිනිසෙකුට නිදහසේ හුස්ම ගැනීමටවත් අයිතියක් නැතිවෙමින් පවතී. බොහෝවිට එවැනි නිලධාරින්ට සිදුවන්නෙ පාරක් මැද, නිවසක් මැද සාහසිකයන්ගේ වෙඩි පහරකට ලක්වන්නට හෝ පැහැර ගැනීමකට ලක්වීමටය.
කොවිඩ් වසංගතය හේතුවෙන් අපට සෞඛ්‍ය සේවයේ සෑම තරාතිරමකම මිනිසුන් සමග සමීපව ගනුදෙනු කිරීමට සිදුවිය. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සේවය කොතෙක්දැයි මුළු මහත් සමාජයටම වටහාගත හැකි විය. එම නිලය දරන අවංක මිනිසුන් නිසා මෙරට සාමාන්‍ය ජනතාවට අහිතකර ලෙස විකුණන බොහෝ ආහාර ද්‍රව්‍ය, ආලේපන සහ ඖෂධ, වෙළෙඳසල්වලට නොගොස් මගදී නැවතුණ අවස්ථා අනන්තය.
පසුගියදා සාහාසිකයකුගේ වෙඩි පහරකට ලක්වී ජීවිතයෙන් සමුගත් කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා මිය යෑමට පැය කිහිපයකට පෙරත් ජාතික පත්තරවල කිහිප දෙනෙකුට තොරතුරු ලබාදෙමින් කියා ඇත්තේ ඉන්දියාවේදි තහනමකට ලක්වූ බොම්බයිමොටයි, රසකැවිලි ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සහ අනවශ්‍ය ලෙස ආහාරපානවලට රසකාරක එකතුකරන ආපනශාලා සම්බන්ධයෙන් මීට වඩා දැඩි පියවරක් අනුගමනය කළ යුතු බවය. ඔහුගේ ඊළඟ අරමුණ වී ඇත්තේ වෙළෙඳපොළේ අලෙවි කරන රූපලාවණ්‍ය ආලේපනවල පිළිකාකාරක අඩංගුවීම පිළිබඳව විමර්ශනය කිරීමය.
මේ සියල්ල ඔහුගේ හදිසි ඝාතනයත් සමග යටපත් කිරීම ඝාතකයින්ගේ එක් අරමුණක් විය හැකිය. නමුත් ඔහු වැනි නිලධාරීන් තවත් ඇත. ඔවුන් පෙරට පැමිණ රොෂාන් කුමාර ගිය මග එක් වී යා යුතුය. ශ්‍රී ලාංකීක දරු පරපුර මෙන්ම සමස්ත සමාජයම පිළිකාවෙන් සහ විසෙන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට ලොකු කාර්යභාරයක් පැවරී ඇත.
එම නිසා මෙම නිලධාරියාගේ ඝාතකයා සොයා නීතිය ඉදිරියට ගෙන ඒමට අමතරව ආහාර, සෞඛ්‍ය, ආලේපන ආදි ද්‍රව්‍යවල සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම සියලු සෞඛ්‍ය අංශ පෙරට පැමිණිය යුතුය.