සාමාන්‍යයෙන් රෝගීන්ට ඖෂධ ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ රෝගවලට ප්‍රතිකාර කිරීමකි. අපේ රටේ පවතින නීති රීතිවලට අනුව ඖෂධ වර්ග බොහොමයක් නිර්දේශ කරනු ලබන්නේ පිළිගත් වෛද්‍යවරයකු විසිනි. වෛද්‍ය නිර්දේශය නොමැතිව ඖෂධ ලබාගැනීමට මේ රටේ ජනතාවට අයිතියක් තිබෙන්නේ සීමිත ඖෂධ ප්‍රමාණයක් සඳහා පමණි.
එහෙත් දැන් ඖෂධ නිකුත්වීම මෙන්ම ඖෂධ ළග තබාගැනීම ද බොහෝ අකටයුතුකම්වලට හේතුවක් බව ලැබෙන ආරංචිවලින් පෙනෙන්නට තිබේ.විශේෂයෙන්ම මේ වන විටත් මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන යුක්තියේ මෙහෙයුම නිසා සමාජය තුළ මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවී ඇති අතර ඒවාට පිළියම් වශයෙන් මත් ලෝලීන් බොහෝ විකල්පයන් අත්හදා බලමින් සිටින බවද නොරහසකි.
එහිදී ඔවුන් බොහෝවිට පාවිච්චි කිරීමට සූදානම් වන්නේ මත් ගතියක් ඇතිවන ඖෂධ වර්ගය. මෙහි ඛේදනීය කාරණය වන්නේ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට සිටින ජීවකයන්ද ඒ ගමනට උදව් කරන ඖෂධවේදීන්ද ඖෂධ මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා පෙරමුණ ගැනීමය.
පේරාදෙණිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් තම සුපිරි ජීප් රියෙන් ලක්ෂ ගණනක බෙහෙත්, මත්ද්‍රව්‍ය ලෙස පාවිච්චියට විකිණීමත්, රත්මලාන ගාලු පාරේ ඖෂධ හලක හිමිකාරිණියක් මත්ගතියක් ඇති ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස විකුණා ඇති සිද්ධියත් පසුගිය සතිය පුරාවටම මුද්‍රිත මාධ්‍යයේ වාර්තා විය.
මොවුන් දෙදෙනාම මත්ගතියක් ලබාගත හැකි ඖෂධ විකුණා ඇත්තේ මත්ද්‍රව්‍ය හිඟය නිසා වියරු වැටී සිටින මත්ලෝලීන්ට සහ පාසල් දරුවන්ටය. ඒ සුපිරි මිල ගණන්වලටය.
මෙම සිද්ධි සම්බන්ධයෙන් මීට වඩා වැඩි විස්තරයක් කිව යුතු නැත. ඖෂධ විකුණන මුවාවෙන් මත්ද්‍රව්‍ය ලෙස රෝගීන්ගේ ලෙඩ සුවපත් කිරීමට තිබෙනා ඖෂධ මෙලෙස අයතා ලෙස විකිණීම කවුරු කළත් බරපතළ වරදකි. මේ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය. නැතිනම් සිදුවන්නේ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් මෙරටට ගෙන්වීමේදී වාරණයක් ඇති වීමය. එසේත් නොමැති නම් ඖෂධහල්වලින් රෝගීන් ඖෂධ මිලදී ගැනීමේදී වාරණ හෝ නීති ඇති වීමකි.
ඒ වෙනුවට කළ යුත්තේ වෛද්‍යවරුන් ළඟ හෝ ඖෂධ තබාගැනීම පිළිබඳව පිළිගත හැකි නීතියක් සැකසීම සහ ඖෂධහලකින් ඖෂධ විධිමත්ව නිකුත් කිරීමේ ක්‍රමයක් ඇති කිරීමය.
කෙසේ වෙතත් ඇතිවී තිබෙන මත්ද්‍රව්‍ය හිඟය නිසා එයට මුවා වී අසරණ රෝගීන්ගේ වේදනාව පාලනයට සහ රෝග සුවපත් කිරීමට ලබාදෙන ඖෂධ මීට වඩා වගකීමෙන් පාවිච්චි කළ යුතු බව අවධාරණය කරන අතර එසේ ඖෂධ අවභාවිත කරන සියලුදෙනාට දඬුවම් ලබාදෙන තෙක් ද බලා සිටිමු.