බටහිරෙන් එන බොහෝ දේ ඉවක් බවක් නොමැතිව හොඳ හෝ නරක වුවත් වැළඳගැනීම අපේ සාමාන්‍ය සිරිතය. විශේෂයෙන්ම තරුණ දරුවන් එවැනි දින හෝ සංකල්පවල තේරුම හෝ යටි අරමුණ ගැනවත් හරිහැටි නොදැන ඒවා වැළඳගෙන තිබීමෙන් වුණ සෙතක් දක්නට නොමැත.තවත් දින දෙකකින් එළඹෙන වැලන්ටයින් සැමරිල්ලද එවැනි එකක් යැයි යෝජනා කරමි. මේවා වැලන්ටයින් කඩකාරයන්ටත්, හෝටල්වලටත් සහ නාලිකාවලටත් රජ මඟුල් ගෙන දෙන කාරණාවන්ය.
රෝමයේ විසූ දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්‍යයා තම හමුදාව තරකර ගැනීමේ අරමුණින් එරට අවිවාහක පුරුෂයන් හමුදාවට බදවා ගැනීමේ තීරණය මත විවාහ වීම තහනම් කළ අතර ඒ නිසා රෝම පෙම්වතුන් කණස්සල්ලට පත්වී ඇත. ඒ නිසා ඔවුන්ව සොයා ගිය වැලන්ටයින් ස්වාමිවරයා හොර රහසේම පෙම්වතුන් විවාහ කරවීමට ඉදිරිපත් වී ඇත.
ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජ්‍යයා වැලන්ටයින් ස්වාමිවරයාට සිර දඬුවම් ලබාදී මරණ දඬුවම නියම කළ බව ජනප්රවාදයේ සඳහන්ය. එහිදී ඔහු සිරගෙදර ජේලර්වරයාගේ දියණිය සමඟ ආදරයෙන් බැඳුණු බවත් පෙබරවාරි 14 වෙනි දින ඔහු ඝාතනය කළ නිසා ඔහුව සැමරීම වෙනුවෙන් වැලන්ටයින් දිනය යොදාගත් බවත් පැවසේ.
මේ අනුව බලන කල පෙබරවාරි 14 සැබෑ ආදරය සැමරීමේ දිනයක්ද යන්න ප්‍රශ්න කළ හැකිය. දැන් දැන් ආදරය මුවාවෙන් වන රාගික ඉස්මතු වීම් සඳහා නව තරුණ පරපුර තෝතැන්න කරගෙන ඇත්තේ පෙබරවාරි 14 වැනිදාය. එහෙත් සැබෑ ආදරය එසේ නොවනු ඇත. බෞද්ධ දර්ශනය තුළ ඇතුළත් ආදරය, විවාහය, ස්වාමි භක්තිය මහා සාගරයටත් වඩා ගැඹුරු වන බව ඔබට මතක් කළ යුතුය.
මල් දී, චොක්ලට් දී, පර්ෆියුම් දී, කාඩ් දී පටන් ගන්නා පෙබරවාරි 14 දැන් අවසන් වන්නේ ලැඟුම්හල්වලිනි. මේ නිසා අද වනවිට බොහෝ පාසල්වල පෙබරවාරි 14 වෙනිදා ගැහැනු දරුවන්ගේත් පිරිමි දරුවන්ගේත් බෑග්, පොත් වැඩියෙන් පරික්ෂා කරන දිනයක් බවට පත් කර ඇත. ආදරය කිරීම, ආදරය විඳීම දඬුවම් ලැබිය යුතු කාරණයක් නොවුණද එය නුසුදුසු කාලයේ කිරීමත් සුදුසු කාලයේ කරන්නට තිබෙන දෑ නොකිරීමත් දඬුවම් ලබාදිය යුතු වරදක් වනු ඇත.
එම නිසා තරුණ දුවේ පුතේ ආදරයට මුවා වී ඔබේ ජීවිතය වනසන්නට එන ආරූඪ ආදරකාරයන්ගෙන් වහාම ප්‍රවේශම් වන්න. ආදරය ලොව සුන්දර කරන අතර සැබෑ ආදරය ඔබේ ජීවිතය තවතවත් ලස්සන කරනු ඇත. පෙබරවාරි 14 වැලන්ටයින් සාමිවරයා බලාපොරොත්තු වූ දෙවියන්ගේ ආදරය සමරන්නේ නම් ඔබ නියම ආදරයේ හිමිකාරියක් හෝ හිමිකාරයකු වී අවසන්ය.