විටෙක ව්‍යාජ අවලෝකිතේෂ්වරය. තවත් විටෙක විශ්ව බුද්ධිමුණිය. මේ වනවිට කතාකරන්නේ කහටාන මල්වතුහිරිපිටියේ වෙඩි තබා ඝාතනය කළ හිමිනම ගැනය. අනේ අනිච්චං, ථෙරවාදී පිරිසිදු බුදුදහම මෙතෙක් ආරක්ෂා වුණු එකම ධර්මද්වීපයට කාගේ හෝ ඇස්වහක් කටවහක් වැදී ඇති හැඩය.
බෞද්ධ දර්ශනය විකෘති කිරීමට දේශනා පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයකට වැරදිකරු වූ බෝධිසත්ව යැයි කියාගන්නා අවලෝකිතේෂ්වර අත්අඩංගුවට ගෙන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුවේ ඔහුගේ මානසික තත්ත්වය අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කර බලා වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසට ඉල්ලීමක්ද කළ පසුබිමකය. ඔහු මේ වන විටත් චැනල් 180 යූටියුබ් නාලිකාව ඔස්සේ බුදු දහම විකෘති කරන ප්රකාශනයන් හා දේශනාවන් ඇති තරම් සමාජගත කර තිබේ.
එපමණක්ද නොව මතු බුදුවන බව කියන මේ මානවකයා පසුගියදා කැලණි ගොස් තිබුණේද, මල්වතු අස්ගිරිය බලා ගොස් තිබුණේද රුපියල් ගෙවා කුලී පදනම මත ලබාගත් ලිමෝසින් මෝටර් රථයක බව ඔහුම කියා සිටියි.එපමණක්ද නොව බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිට ඇප මත මුදා හැරීමෙන් පසුව නැවතත් චීවරධාරී විශ්ව බුද්ධිමුණි අධිකරණය ලබාදුන් තීන්දුවද නොතකා නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ බුදුදහම විකෘති කරන ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ. ඔහුද නැවත අත්ඩංගුවට පත්වන්නේ නැවත ප්‍රශ්න කිරීම සඳහායි.
මෙම සිද්ධි දෙකෙන්ම අපට හොඳින්ම පෙනී යන්නේ කිසියම් බලවේගයක් නිර්මල බුදු දහම විනාශ කිරීමේ අරමුණින් යටින් ක්‍රියාත්මක වන බවයි. මේ වනවිටත් රට තුළ මහායන සහ ථෙරවාද බුදුදහම අතර ඝට්ටනයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ බව තවදුරටත් තහවුරු වන්නේ බෝධිසත්වයන් කියනා මොවුන් බුදුදහම විකෘති කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට ඕනෑ තරම් මුදල් ඇති බැවිනි.
මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ පෙර කළ පින් බලයකට අනුව බව බුදු දහමෙහි සඳහන්ය. එවැනි ආත්මයක් ලද බොහෝ ගිහියන් මේ වන විටත් ක්‍රියා කරන්නේ නිර්මල බුදු දහම විකෘති කරමින් එයට තම දැන පමණින් අර්ථකථන සහ බලපෑම් එල්ල කිරීම සඳහාය. මේ රට තුළ නිර්මල බුදු දහම ආරක්ෂා කිරීමේ ශක්තිමත් බලවේගයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය බුදුදහම ආරක්ෂා කිරීමට බැඳී සිටින අතර ඒ සඳහා වහා ක්‍රියාත්මක නොවන්නේ නම් ළඟදීම පසුතැවීමට සිදුවනු ඇත.