පසුගිය බදාදා එළිවන්නට වෙළෙඳපොළට ආ බොහෝ මුද්‍රිත ප්රකාශනයන්ගේ මුල් පිටුවේ පොල් ගෙඩි අකුරෙන් මුද්‍රණය වී තිබුණේ “සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් අසරණ රෝගීහු සුසුම් හෙලති.” වැනි හෙඩ්ලයින්ය. ඒවා තව දුරටත් සනාථ කරමින් ට්‍රොලිවලට ඉබි යතුරු දා තිබූ පින්තූරත් මේ රටේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අසරණ වූ රෝගීන්ව රෝද පුටුවලින් ගෙනයන පින්තූරත් OPDවල මහළු රෝගීන් වරු ගණන් තපිනා පින්තූරත් පළකර තිබුණි.
මෙයට හේතු වී තිබුණේ වෛද්‍යවරුන්ට රජය විසින් මෑතකදී ලබාදුන් රුපියල් 35,000 ක දීමනාවයි. එම මුදල සෞඛ්‍ය සේවා පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම්වලටත් ලබාදෙන ලෙස රජයට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් මෙලෙස ලංකාවේ රෝහල්වල වැඩ වර්ජනයට එකතු වී තිබුණි.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ රජය සෞඛ්‍ය සේවයට කර තිබෙන අසාධාරණය සහ දෙකට බෙදා සැලකීම මෙම වර්ජනයට හේතු වූ බවයි. ඒ අතර හදිසියේ අවදි වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති මාධ්‍යට කියා සිටින්නේ රෝගී ජනතාව පීඩාවට පත්කරන්නට සිදුවීම පිළිබඳ ඔවුන් බලවත් කණගාටුවට පත්වන බවයි.
එසේ ඔවුන් රෝගීන් ගැන සිතමින් කණගාටුවට පත්වෙනවා නම් මෙවැනි අසාධාරණ වැඩවර්ජනයක් කරනවාදැයි අසන්නට මාධ්‍යයට හෝ කොන්දක් නොතිබීම කණගාටුවකි. මෙහිදී ගැඹුරෙන් සිතිය යුතු කාරණය වන්නේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳිනා ඕනෑම කෙනෙකුට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව මෙරට තුළ ඇති අතර ඒ අනුව උසස් පෙළ ප්‍රතිඵලවලින් වෛද්‍ය ශිෂ්‍යයකු වීමද කාටවත් වැළැක්විය නොහැකි බවයි.
එතැන් පටන් වෛද්‍ය ශිෂ්‍යයකු වෛද්‍යවරයකු දක්වා යන ගමනේදි කරනා කැපකිරීම් බොහෝවිට දන්නෙ ඔවුන් පමණි. එවන් වටපිටාවක වෛද්‍යවරුන් උදෙසා රජය ලබාදුන් මුදල ඊට පහළ ශ්‍රේණිවල සෞඛ්‍ය වෘත්තිකයන්ටත් ලබාදෙන ලෙස කරන ඉල්ලීම කොතරම් යුක්ති සහගතදැයි ජනතාව ප්‍රශ්න කළ යුතුය.
එවිට සෞඛ්‍ය දෙකඩ කරන ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ රජය දැයි වෘත්තීය සමිති දැයි හොඳින් පෙනෙනු ඇත. එම නිසා විශේෂයෙන්ම අප වැනි රටක සෞඛ්‍ය වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට යෑමේදී මීට වඩා සැලකිල්ලක් රෝගී ජනතාව වෙත ලබාදිය යුතු නොවන්නේද?. ඉල්ලීම් දිනාගන්නට කරන බලපෑම් නතර කරන්න යැයි කිසිවිටෙකත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට නොකියන අප සෑමවිටකම අවධාරණය කරන්නේ රෝගීන් බිල්ලට දෙන වර්ජන අවසන් තුරුම්පුව ලෙස තබා ඊට වඩා දියුණු, සාර්ථක ක්‍රම මගින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමේ ප්රවේශයකට දැන්වත් එළඹෙන්නේ නැතිනම් ඉවසීමේ සීමාව ඉක්මවා යන ජනතාව නීතිය වුණත් අතට ගැනීමට බැරි නැති බවයි.