මැලේරියා රෝගය ගැන අපට නිතර දෙවේලේ අසන්නට නොලැබෙන බව සත්‍යයක්. එමෙන්ම 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලංකාවේ අවසාන වරට මැලේරියා රෝගියෙකු වාර්තා වන්නේ 2012 වසරේදීයි…
සෑම වසරකදීම නිතර මැලේරියා සහිත රටවල සංචාරය කිරීමෙන් පසුව ලංකාවට පැමිණි අය අතරින් මෙම රෝගීන් වාර්තා වීම සිදු වේ. 2023 වසරේදී මැල්රියා රෝගීන් 62ක් සහ 2024 වසරේදී මැලේරියා රෝගීන් 38 දෛනක් වශයෙන් වාර්තා වී ඇති අතර 2023 සහ 2024 වර්ෂයන්හිදීත් මරණ එක බැගින් වාර්තා වී තිබෙනවා. 2025 වසරේ මේ වෙන විට මැලේරියා රෝගීන් 14 ක් වාර්තා වී තිබෙනවා.
ලෝකයේ වසරකට මැලේරියා රෝගීන් මිලියන 263 ක් පමණ වාර්තා වෙනවා. ඒ අතරින් ලක්ෂ හයක් පමණ මරණ සිදුවනවා. ඒ මරණවලින් 95% ක්ම අප්‍රිකානු රටවලින් වාර්තා වෙනවා. මෙම රටවල පවතින දුර්වල සෞඛ්‍ය තත්ත්වය ඊට හේතුවක්. මැලේරියාව එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ ඇනෝෆිලිස් වර්ගයේ මදුරුවකු හරහා පමණයි.
මැලේරියා රෝගියකුට මදුරුවා දෂ්ට කරන විට රෝගියාගේ සිරුරේ ඇති ‘ප්ලැස්මෝඩියම්’ පරපෝෂිත මදුරුවාගේ ඛේට ග්රන්ථිවලට ඇතුළු වී නීරෝගී පුද්ගලයෙකුට දෂ්ට කරන විට මදුරුවාගේ කෙළ සමග ශරීරයට ඇතුළු වීම සිදු වේ.මැලේරියා රෝගයේ ප්‍රභේද පහක් තිබේ. ඒ Plasmodium falciparum, Plasmodium vivax, Plasmodium malariae, Plasmodium ovale, Plasmodium Knowlesi යන විශේෂයි.
දරුණුම තත්ත්වය ඇතිකරන්නේ මොළේ මැලේරියා ඇතිකරන ඡක්ිපදාසමප f්කජසච්රමපල මදුරු විශේෂයයි.1934, 1935 වැනි කාලයකදී සමාජයට බලවත් උවදුරක් ලෙස පැවැති මැලේරියා රෝගය නිසා මාස හතක් තුළ පුද්ගලයන් 80,000 ක් පමණ මියගොස් තිබෙනවා. ඒ නිසා තුරන් කළ මැලේරියාව නැවත ඇතිවීම වැළැක්වීම අපි කාගේත් යුතුකමක්.
මැලේරියාව තුරන් කළ බවට ප්‍රකාශිත රටකින් නැවත මැලේරියා රෝගීන් වාර්තා වෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා වාර්තා කර ඇත්නම් මෙසේ මැලේරියා රෝගීන් වාර්තා වෙන්නේ කොහොමද? ඔබ සාධාරණයි. නමුත් ලංකාවේ පුද්ගලයින් විවිධ කාර්යන් සඳහා මැලේරියාව සහිත රටවල නිතර සංචාරයේ යෙදෙනවා. ඉන්දියාව වැනි රටවල වන්දනා චාරිකාවල යෙදෙන කල ඇතැම් ප්‍රාන්තවල (මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට) මැලේරියා රෝගීන් වාර්තා වෙනවා.
දඹදිව වන්දනා කිරීමේදී මැලේරියාව පවතින ප්‍රදේශ හරහා ගමන් කරන විට රෝගය බෝ වීමේ අවදානමක් තිබෙනවා. අප්‍රේල් මුල වාර්තා වුණ මැලේරියා රෝගීන් තුන් දෙනෙක්ම දඹදිව වන්දනාවේ ගිය අය බවත් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් නවාතැන් ගත් සාංචි ප්‍රදේශයේදී මෙම රෝගයට නිරාවරණය වී තිබෙනවා.
වන්දනාවේ යනවා නම්, මැලේරියා රෝගයෙන් ආරක්ෂා වෙන්නේ කෙසේද?
විදේශගත වීමට සතියකට පෙරාතුව මැලේරියා ඖෂධ ලබාගැනීම අවශ්‍ය වෙනවා. එය සතියකට වරක් ගත යුතු ඖෂධයක්. එය අපහසු නොවේ. සංචාරයේ යෙදෙන කාලසීමාවේදී මෙම ඖෂධය සතියකට වරක් බැගින් ගත යුතුයි. සංචාරයෙන් පසු නැවත ලංකාවට පැමිණි පසු සති හතරක් යන තෙක් මෙම ඖෂධය ලබාගැනීම වැදගත්. මෙම ඖෂධයෙන් අතුරු ආබාධ ඇති වෙන්නෙත් නැහැ.
රෝග ලක්ෂණ මොනවාද?
මෙය “කැලෑ උණ “ඒ වගේම “තුන්දා උණ“ යනුවෙනුත් හැඳින්වුණා. දවස් තුනකට වරක් උණ ගන්නා නිසා තුන් දා උණ යනුවෙන් හඳුන්වා තිබෙනවා. පරපෝෂිතයාගේ ජීවන චක්‍රය අනුව මෙම රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා. මැලේරියා රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වෙව්ලා නගින උණ වන අතර ඊට අමතරව ඇගපත වේදනාව, හිසරදය සහ සාමාන්‍ය වෛරස් උණකදී දකින රෝග ලක්ෂණ තිබෙනවා. මොළේ මැලලේරියා තත්ත්වයේදී වලිප්පුව, සිහි කල්පනාව වෙනස් වීම වගේම සමහර විට මරණය පවා සිදුවිය හැක.
මැලේරියා රෝග තත්ත්වය ගුවන් තොටුපොළේදීම පරීක්ෂා කිරීම කළ නොහැකිද?
යම් පුද්ගලයෙක් අපේ රටට පැමිණෙන විට ගුවන් තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයෙන් පරීක්ෂා කිරීම අපහසුයි. නමුත් ඔවුන්ට ප්‍රශ්නයක් තිබෙනවා නම් ගුවන්තොටුපොළ ඇතුළත පිහිටා තිබෙන ඒකකයෙන් පරීක්ෂා කරගන්න පුළුවන්. එසේ නොමැති නම් නාරාහේන්පිට කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලයෙන් සිදු කරගන්න පුළුවන්.ලංකාවේ මැලේරියා රෝගය නොමැති නිසා ඒ පුද්ගලයා විසින් සංචාරයේ ඉතිහාසය ගැන සඳහන් කිරීම වැදගත්. එසේ නොවුණොත් මැලේරියාව යැයි උපකල්පනය කිරීමට අපහසුයි.
රෝගීි බව කලින් හඳුනාගත්තොත් ජීවිතය බේරාගැනීම පහසුයි. ඒ නිසා ප්‍රාදේශීය මැලේරියා රෝග මර්දන ඒකකවල නිලධාරීන් රෝගියා සොයාගෙන යෑමත් සිදුවනවා. මැලේරියා ආසාදිත රෝගියකු වාර්තා වුණොත් රෝගියා අනිවාර්යෙන්ම රෝහල්ගතව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි.
එහිදී වෛද්‍යවරයා මැලේරියා මර්දන ව්‍යාපාරය සමග සම්බන්ධ වී රෝගියාට ප්‍රතිකාර ලබාදීම සිදු වේ. තවද රෝගියා අදාළ ප්‍රතිකාර ලබන විට මෙම රෝගියා ජීවත් වුණ ප්‍රදේශයේ මෙම රෝගියාට සම්බන්ධ තවත් ආසාදිතයන් සිටිනවා දැයි සොයා බැලීමත් වැදගත්. ඒ අනුව රෝගියාගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සංචරණය සිදුවුණ කිලෝමීටරයක් ඇතුළත ප්‍රජාව පරීක්ෂා කිරීම සිදුවනවා. ප්‍රදේශයේ මැලේරියා රෝගය සම්ප්‍රේෂණය කරන මදුරුවන් සිටී දැයි පරීක්ෂා කිරීම ද සිදු වේ.
මැලේරියා රෝගය සඟවාගෙන සිටීම සමහර විට රෝගියා සෞඛ්‍ය අංශයට යොමු වෙන්නේ අවසාන අවස්ථාවේදි. ඒ නිසා රෝගියාට සංකුලතාවන් ඇතිවීමත් සමග ප්‍රතිකාර කිරීමත් අපහසු වෙනවා.
මැලේරියා මර්දනය වෙනුවෙන් පුරවැසියකු සතු වගකීම
■ ඔබ මැලේරියා පවතින කලාපයක (ආසියාව, ඉන්දියාව, අප්‍රිකානු කලාපය)
සංචාරයකට හෝ රාජකාරි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මැලේරියා වළක්වන ඖෂධ සතියකට පෙර ලබාගන්න.
■ දිවයිනට පැමිණි පසු සතියක් ඇතුළත මැලේරියා පරීක්ෂාව කරගන්න.
■ අවුරුද්දක් තුළ ඔබට උණ හෝ වෙනත් රෝග ලක්ෂණයක් ඇතිවුණොත් මැලේරියා රෝගය සහිත රටකින් පැමිණි බැව් වෛද්‍යවරයාට පවසන්න. අවුරුද්දකට පසු මැලේරියාව නොමැති බව තහවුරු කරගැනීමට මැලේරියා රුධිර පරීක්ෂණ සිදු කරගන්න. අවුරුදු තුනක් පමණ යන තෙක් රුධිර පරිත්‍යාග කිරීම සිදුකළ යුතු නැහැ. ඊට හේතුව මැලේරියා පරපෝෂිතයා රෝගියාගේ අක්මාවේ සැගවී සිටින්න පුළුවන්. රුධිර පාරවිලයනය කරන විට මෙම පරපෝෂිතයා ශරීරගත වීමට පුළුවන්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️