නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කකුලක් නැති නිශාන්ත මාමගෙ අපූරු සපත්තු දන්සල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කකුලක් නැති නිශාන්ත මාමගෙ අපූරු සපත්තු දන්සල

Published January 1, 2024

මනුස්සයෙක්ට තමන්ගෙ ශරීරයේ වටිනාම අංග වලින් කිහිපයක් තමයි ඇස් දෙකයි, අතපයයි. ඔය තුනෙන් එකක් හරි නැති වුණොත් අපේ ගොඩක් දෙනා කරන්නෙ ඊළඟ දවසේ උදේ ඉඳන් තමන්ගේ නැති බැරිකම දුක කිය කියා බස්වල පාරවල්වල මිනිස්සුන්ට අත පාන එක. හැබැයි එහෙම හැමදේම අත ළඟට ලෙහෙසියෙන් ලැබෙනකල් ඉන්න අය අතරේ කකුලක් නැති වුණත් තමන්ගේ උත්සාහයෙන් නැගිටින්න හදන මිනිසුන් නැතුවාම නොවේ. එහෙම සුන්දර මිනිසෙක් අපේ ඇස ගැටුනෙ මුහුණු පොතේ පෝස්ටුවකින්. ඔහු නමින් නිශාන්ත. එක් පාදයක් අහිමි නිශාන්ත හරි අපූරු වැඩක් පහුගිය දවසක කරල තිබුණා. ඒ සපත්තු ඉරුණු පාසල් දරුවන්ගේ සපත්තු නැවත මහල දෙන සපත්තු දන්සල. සපත්තු කැඩුණු දරුවො වෙනුවෙන් ඔහු කළ මේ සත්ක්‍රියාව බෙහෙවින් අගය කළ යුතු නිසයි අපි ඔහු සමග කතා කළේ…

ඔබ ගැන කියලා මේ කතාව පටන් ගනිමු…

මගේ සම්පූර්ණ නම නිශාන්ත පුෂ්පකුමර. මම පදිංචි වෙලා ඉන්නෙ රාජාංගනයේ යාය හතරේ. මට ඉන්නවා දුවලා දෙන්නෙක්. ලොකු දුව හත වසරෙ ඉගෙන ගන්නෙ. පොඩි දුවට අවුරුදු එකහමාරයි. මේ ආබාධය ඇති වෙන්න කලින් මම කළේ පොල් කඩන එකයි ගොවිතැන් වැඩයි. මේ කකුල කැපුවට පස්සෙ මට කරන්න රස්සාවක් නැති වුණා. කාටවත් අතාපන්නෙ නැතුව මට මගේ නෝනයි ළමයි දෙන්නයි බලාගන්න උවමනා වුණා. ඊටපස්සෙ රස්සාව විදිහට කරන්න මම තෝරගත්තෙ පොල් කටු හැඳි හදන එක. ඊට අමතරව තමයි සපත්තු මැහුවේ.

ඔබේ කකුලට මේ ඉරණම අත් වුණේ කොහොමද?

මගේ කකුල මට නැති වුණේ මෝටර්සයිකල් අනතුරකින්. ඒ 2016 දී. ඊටපස්සෙ මට කකුලක් බද්ධ කරගන්න ඕනෙ කියලා දොස්තර මහත්තුරු තීරණය කළා. ඒ 2017 දී. මට තමයි ලංකාවේ පළවෙනියට සහ ලෝකයෙන්ම පස්වෙනියට කකුලක් බද්ධ කළේ.

ඒ සැත්කමෙන් පස්සෙ බද්ධ කරපු කකුල අවුරුදු දෙකයි මාස තුනක් වගේ තිබුණා. ඊටපස්සෙ බද්ධ කරපු කකුල ඉදිමෙන්න ගත්තා. ඒ ඉදිමීම මගේ වකුගඩුවලට බලපාන්න පටන් ගත්තට පස්සෙ බද්ධ කරපු කකුල ඉවත් කරන්න සිද්ධ වුණා.

ඔබේ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ හැමදේටම මගේ නෝනයි ලොකු දුවයි ගොඩක් උදව් කරනවා. ඒගොල්ලො නැත්නම් මට මේ කිසිම දෙයක් කරගන්න බැහැ.

ඇයි ඔබට සපත්තු දන්සලක් දෙන්න හිතුණේ..

අපි මේක කළේ යාය 4 රාජාංගනය ළමා මිතුරු පාසලේ. අපේ ගමේ සමරනායක මහත්තයා තමයි මුලින්ම මට මේ ගැන කිව්වේ. ඒ මහත්තයා මට කතා කරලා කිව්වා ඉස්කෝලෙ ඉන්න ළමයි ගොඩ දෙනෙක්ගේ සපත්තු කැඩිලා අපි ඒ සපත්තු මහලා දෙන වැඩසටහනක් කරමු කියල.

ඒ වෙනකොට මමත් අපේ ගමේ ඉස්කෝලේ දරුවන්ගේ සපත්තු දිහා බලලා මොනවද මේකට කරන්නෙ කියලා හිත හිතයි හිටියේ. අනික් කාරණාව තමයි මගේ ලොකු දුව පහ වසර වෙනකන් ඉගෙනගන්න ගියේ ඔය ඉස්කෝලෙට. කවදා හරි මගේ පොඩි දුවත් යන්නෙ ඔය ඉස්කෝලට. ඉතින් ඒ හේතු හින්දම මම ඒ අදහසට මගේ කැමැත්ත දුන්නා. ඊටපස්සෙ සමරනායක මහත්තයා අපේ ගමේ ඉස්කෝලේ මැඩම් එක්ක කතා කරලා මට කිව්වේ අපි මේක දන්සලක් විදිහට කරමු කියලා.

එදා දවස ගැන මතක් කළොත්…

ඉස්කොලේ මැඩම් එක්ක කතා කරලා අපි දෙසැම්බර් 11 වැනිදා ඒ වැඩේ දාගත්තා. ඒ දවස ගැන කියන්න මට වචන නෑ. හා හා පුරා කියලා මමත් දන්සල පටන් ගත්තට හිතාගන්න බැරි විදිහට කැඩිච්ච සපත්තු අරගෙන ළමයි ආවා. ඇත්තටම ඒක හිතාගන්න බැරි තරම් ප්‍රමාණයක්.

එදා කොහොමහරි සපත්තු සීයකට වඩා හදන්න තිබුණා. ඉස්කොලේ ඉන්නෙත් ළමයි දෙසීයක් වගේ. මට ඒ ඔක්කෝම එක දවසින් මහන්න බැරි නිසා දවස් තුනක් යනකන් මට සපත්තු මහන්න සිද්ධ වුණා.

ඒ දවස් තුනේම මම උදේ වැඩ පටන් ගත්තාම ඉවර වෙද්දි හවස තුන හතර වුණා.මටත් හරි මහන්සියි එක තැනක ගොඩක් වෙලා ඉද්දි. ඒත් මොනවා කරන්නද? මම සපත්තු සේරම මහලා දෙන්න පොරොන්දු වුණා. අත කොච්චර රිදුණත් මම මගේ හිත ශක්තිමත් කර ගත්තා.

ඇත්තම කියනවා නම් මේ දන්සල කරන අතරවාරයේ මගේ හිතට පුදුමාකාර දුකක් කලකිරීමක් ආවා. සමහර පුංචි දරුවෝ පාවිච්චියට ගන්න බැරි, මහන්න පවා බැරි සපත්තු කකුලට දාගෙන ආවේ. ඒවා ගෙනැල්ලා මට දුන්නා මහල දෙන්න පුළුවන් ද මාමේ කියලා. මට හරිම දුක හිතුණා. ඒත් දුප්පත් මම මොනවා කරන්නද? මට පුළුවන් දේ මේ සපත්තු මහලා දෙන එක විතරයිනේ.

මට ඒ වෙලාවේ මගේ දුප්පත් දරුවත් මතක් වුණා. මොකද එයාට ඉස්කොලේ දාන්න සපත්තු දෙකක් තිබුණට ඒක එයාට හිරයි. මගේ ලොකු දුවටත් සපත්තු දෙකක් ලැබුණොත් එයත් මේ සපත්තු කුට්ටම් සීයකට වඩා ආවා මට මහන්න. ඒ කියන්නෙ අපේ ගමේ ළමයි බාගෙට බාගයක්ම දාලා තියෙන්නෙ කැඩිච්ච සපත්තු. කොහොමහරි දවස් තුනක් යනකල් මමයි සමරනායක මහත්තයයි මේ දන්සල තියලා වැඩේ හරියටම ඉවර කළා.

ළමයි වගේම එයාලගෙ අම්මල තාත්තලත් මට ස්තූති කළා. සමහරු නම් ගෙදර තිබුණ සපත්තු පවා අරගෙන ආවා. ඒත් මුකුත් කියන්න බැහැනේ අපි කළේ දන්සලක් නිසා. දන්සලෙන් පස්සෙ තමයි ගමේ ගොඩක් දෙනෙක් දැනගත්තෙ මම සපත්තු මහනවා කියලා.

දන්සල කළාට පස්සෙ ඔබේ හිතට මොනවගේ දෙයක්ද දැනුණේ …

සමරනායක මහත්තයා මේ වැඩේ දන්සලක් විදිහට කරමු කිව්වම මම කැමති වුණේ ආබාධිත මට යන තැනකට හරි මේකෙන් පිනක් ලැබෙන නිසයි. කවදා හරි අපිට ඉතිරිවෙන්නෙ අපි කරපු හොඳ විතරයි. ඒ දවස් කිහිපය මම හරි සතුටෙන් හිටියේ. මට නැතත් මගේ ළමයින්ට හරි ඒ පිනෙන් හොඳින් ජීවත් වෙන්න ලැබෙයි කියලා.

දන්සල කරගෙන යන අතරේ මොනවගේ අභියෝගද ඇතිවුණේ…

දවස් දෙකක් කිසිම ප්‍රශ්නයක් නැතුව අපි වැඩේ කරගෙන ගියා. ඒත් අන්තිම දවසේ සපත්තු මහන්න ඕනෙ කරන නුල් ඉවර වුණා. නූල් ඉවර වුණාම ඒවා ගන්න මුදල් මං ළඟ තිබුණේ නැහැ.ඉස්කෝලේ මැඩම් මට කිව්වා නූල් ගන්න සල්ලි දෙන්නම් කියලා. හැබැයි ඒ නෝනා ගාවත් තිබුණේ එයාගෙ උපාධි උත්සවයට යන්න සපත්තු දෙකක් ගන්න ඉතිරි කරගත්ත මුදල් ටිකක් විතරයි.

නමුත් ඒකට සමරනායක මහත්තයා කැමති වුණේ නැහැ. ඊටපස්සෙ සමරනායක මහත්තයා මට නූල් ගන්න සල්ලි දුන්නා.මම ලොකුම ප්‍රශ්නයට මුහුණ දුන්නෙ ගැහැනු දරුවන්ගේ සුදු සපත්තු මහන්න සුදු නූල් තිබුණත් කළු නූල් හොයාගන්න බැරි වුණා. ඒ නිසාම තවත් කළු සපත්තු හුඟක් ඉතිරි වී තිබුණා. ඒවා මහන්න කළු නූල් හොයන එක තමයි දැන් අපේ ප්‍රධාන රාජකාරිය . අන්තිමට අපි ඒ අභියෝගයත් ජයගත්තා.

මේ සපත්තු දන්සල ඉදිරියටත් කරනවද?

මම අපේ ගමේ දන්සල කරලා ඉවර කළා විතරයි දැන් හැමතැනින්ම ඉල්ලීම් එනවා ඇවිත් ඒ දරුවන්ගෙ කැඩුණු සපත්තු මහලා දෙන්න කියලා. මගේ ලොකු දුව දැන් ඉගෙනගන්න යාය පහ ජාතික පාසලේ. එහේ පන්ති කවය මේ ළඟදී තිබුණා. එනනදි තමයි මම දැක්කෙ ඒ පාසලේ ළමයින්ගෙ සපත්තුත් කැඩිලා පාවිච්චියට ගන්න බැරි තත්ත්වයට පත්වෙලා කියලා.

ඊටපස්සෙ මම විදුහල්පති එක්ක මේ ගැන කතා කරලා ඉස්කෝලේ නිවාඩුවෙන් පස්සෙ එහෙත් සපත්තු දන්සලක් තියන්න තීරණය කළා. ඒ වගේම තව ආරාධනයක් ලැබිලා තියෙනවා රඹෑව පාසලකත් මේ විදිහෙ දන්සලක් තියන්න. අපේ ගමේ ඉස්කොලේ මෙහෙම හරි කරගෙන යනවා. මීට වඩා දුප්පත් ඉස්කෝල ලංකාවේ ගොඩක් තියෙනවා.

මේ ගම්වල තියෙන ඉස්කෝල ගැන හොයලා බලන්න කවුරුත් නැහැ. කොළඹ තියෙන සමහර ලොකු ඉස්කෝලවලට ඕනවාටත් වඩා උදව් ලැබෙනවා. ඒ ඉස්කොල්වලට නොමිලේ සපත්තු වවුචර්, නිල ඇදුම් හම්බෙනවාලු. මට දැන් 39 ක්.

මගේ ජීවිත කාලයටම අපේ ගමේ ඉස්කොලෙට එහෙම දෙයක් ලැබෙනවා මම දැකලා නැහැ. අපේ වගේ දුෂ්කර ඉස්කෝලවල මොනවාද වෙන්නෙ කියලවත් දන්නෙ නෑ.මං කියන්නෙ කවුරු හරි ඉස්කෝලවලට උදව් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව නම් අපේ ඉස්කොලෙ වගේ දුෂ්කර පාසලක් තෝරගෙන උදව් කරන්න කියලා.

මේ සපත්තු දන්සල් අදහසේ අයිතිකරුවන ජී. ඩී. කේ සමරනායකවත් අපේ කතාවට එකතුකරගත්තා…

ඇයි මෙහෙම අදහසක්…

අපේ ගමේ ඉස්කෝලෙ තිබ්බ වැඩසටහනකට ගියාම මම දැක්කා ළමයින්ට සපත්තු නැති ප්‍රශ්නය. ඊටපස්සෙ මම සපත්තු අරන් දෙන්න උත්සහ කළත් මට ඒක කරගන්න

බැරිවුණා. ඒ හින්දා මම කල්පනා කරා සපත්තු ටික මහලා හරි දෙන වැඩසටහනක් කරන්න ඕනේ කියලා.

ඔය අතරෙදී තමයි මට නිශාන්ත මල්ලිව හම්බෙන්නෙ.මම මගේ අදහස කිව්වට පස්සෙ නිශාන්ත මල්ලිත් කැමති වුණා. ඊටපස්සෙ මම සැලසුමක් හැදුවා එයාටත් හොඳක් වෙලා පාසලේ ළමයින්ගෙ සපත්තු ප්‍රශ්නයත් විසඳෙන විදිහට. මූලික අදියරේදී සපත්තු 140 ක් විතර තිබ්බා. ඉස්කොලේ ළමයි ඉන්නෙත් 226 යි.

කොහොම හරි අන්තිමට අපේ ඉස්කොලේ විතරක් නෙමෙයි ළඟ තියෙන වෙන ඉස්කෝලවල ළමයි පවා අවා අපේ දන්සලට. දවස් තුනක් සපත්තු මහලා අපේ වැඩේ සාර්ථකව අපි නිම කළේ.නිශාන්ත මල්ලිව දැන් ගොඩක් අය දන්නවා. ඒ හරහා අපේ පාසලත් ඒ අවට තියෙන පාසල් ගැනත් රටම දැනගත්තා.

මේ පළාතේ ළමයි බොහෝම අමාරුවෙන් තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නෙ. රාජාංගනය යාය පහ පාසලේ මේ වෙනකොට මම පටන් අරගෙන තියෙනවා ඉලෙක්ට්‍රොනික ගම්මානයක් හදන්න. අපේ ගමේ ළමයින්ට හරි පාරක් පෙන්නුවොත් එයාලා අපිට හිතන්නවත් බැරි තරම් දුර යනවා.

අර්චිත ඉඳුවර ✍️









 

TAGGED: Motorcycle accident, Nishantha Pushpakumara, sapattu dansala, නිශාන්ත මාම
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?