1964 අවුරුද්දෙ ජපානයේ පැවති ඔලිම්පික් උළෙල ශ්‍රී ලාංකේය අපිට කිසිදාක අමතක කළ නොහැකි ඔලිම්පික් උළෙලක් වුණේ එදා තරග වැදුණු අපරාජිත පරාජිතයෙක් නිසා. එදා මීටර් 10,000 ඉසව්වෙන් අපේ රට නියෝජනය කළේ රණතුංග කරුණානන්ද. තරගය ආරම්භ වෙද්දිම කරුණානන්ද හිටියේ තරමක අසනීප තත්ත්වයකින් වුවත් ඔහු එය තරගයට බාධාවක් කරගත්තෙ නෑ. තරගයේ අවසාන වටය වෙද්දිත් ඔහු තරගාවලියේ අන්තිමයා. පළමු, දෙවන, තෙවන ස්ථාන තෝරා අවසන් වෙද්දිත් කරුණානන්ද ඔහුගේ වට සම්පූර්ණ කරන්න දිව්වා.
කරූට තරගය ඉවර කරන්න තවත් වට 4 ක් තිබුණා. තරගයට සම්බන්ධ වුණ අනෙක් සියලු තරගකරුවන් තරගය අත්හැරල තියෙද්දි කරූ විතරක් හැකි උපරිම ජවයෙන් අවසන් වටය තෙක්ම දිවිල්ල ආරම්භ කළා.ප්‍රේක්ෂකාගාරයෙන් හූමිටි, උසුළු විසුළු නැගුණා. නමුත් කරූ ඒ කිසිවක් ගණන් නොගෙන අන්තිම වටයත් ආරම්භ කළා. ඒ වෙද්දි ප්‍රේක්ෂකාගාරයෙන් ඇහුණේ හූ සද්ද වෙනුවට අත්පොලසන් නාදයක්. ‘කමෝන් සිලෝන් කමෝන් සිලෝන්’ හැටදහසට අධික ප්‍රේක්ෂකයන්ගේ මුවින් අවසානයේ නික්මුණා. කෙසේ හෝ කරුණානන්ද තරගාවලියේ පරාජිතයා වුවත් තමන්ගෙ වට සියල්ලම දුවලා අවසන් කළා.
ජපන් පෙළ පොතට පවා ඇතුළත් වුණ කරුණානන්දගේ මේ ඉතිහාස කතාව අද ලිපියේ පූර්විකාව විදිහට මම ගත්තෙ එදා හිටපු ඒ ධෛර්යවන්ත ‘සිලෝන්ස්ලා’ අදටත් මේ ගෙන්දගම් පොළවෙ ඉන්න නිසා. එහෙම චරිත කිහිපයක් ගැනම පසුගියදා අහන්න ලැබුණේ මෙවර පිලිපීනයේ පැවති ජ්‍යෙෂ්ඨයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහ 19 වැනි ඕස්ට්‍රේලියානු මාස්ටර් මලල ක්‍රීඩා උළෙලේදී වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියන කතාව හරියටම ඔප්පු කරලා අපේ රට නියෝජනය කරමින් අත්තම්මලා සීයලා ටිකක් දිවීමේ තරගවලින් රන් පදක්කම් දිනාගත්තු නිසා.
ඕස්ට්‍රේලියානු මාස්ටර් මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගන්න 87 හැවිරිදි වංශපාල නරසිංහත් පිලිපීනයේ පැවති ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට අකිලා තිරුනායකීත් සමත් වුණා.
ඒ අතරින් 71 හැවිරිදි අකිලා තිරුනායකී විශේෂයි. ඒ මොකද දන්නවද? අනිත් හැමෝම ක්‍රීඩිකාවෝ තරගයට ගැළපෙන සපත්තු දාගෙන දුවද්දි මේ අකිලා අම්මා දිව්වේ දෙපා නිරුවතින්. සමහරවිට යාපනයේ පුපුරු ගහන කර්කෂ පොළව එක්ක අවුරුදු හැත්තෑ ගාණක් ඔට්ටු වෙච්චි අකිලාට පිලිපීනයේ ධාවන පථයේ දුවන එක මහ කජ්ජක් නොවෙන්න ඇති.
මුලතිව් ප්‍රදේශයේ මුල්ලිවලෙයි හි පදිංචි අකිලා මේ තරගාවලියෙදි මීටර් 1500 සහ 5000 යන ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා වගේම මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමකුත් ජයග්‍රහණය කළා. ඒ වගේම ඇය මීටර් 400 ඉසව්වද නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමටත් සමත් වුණා වගේම ඇය එම ඉසව්ව අවසන් කළේ සිව්වැන්නා විදිහට.
අකිලා තිරුණායකි කියන්නෙ විශ්‍රාමික බන්ධනාගාරවරියක්. සහෝදරයින් සිව්දෙනෙකුගෙන් සහ සහෝදරියන් නවදෙනෙකුගෙන් යුතු පවුලේ ඇය හයවැනියා. පුංචි කාලෙ ඉඳන් අක්කලා, නංගිලා, අයියලා, මල්ලිලා රංචුව එක්ක වෙල් ඉපනැල්ලේ දුව පැනලා සෙල්ලම් කරපු අකිලා කියන්නෙ හිතින් වගේම ගතිනුත් පුදුමාකාර හයියක් තියෙන ගැහැණියක්. නමුත් ඇය මලල ක්‍රීඩාව හරියටම පටන්ගන්නෙ බන්ධනාගාර නිලධාරියක් විදියට රැකියාවට සම්බන්ධ වුණාට පස්සෙ.
“වව්නියාව දිස්ත්‍රික්කයේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණා. මාව බන්ධනාගාර නිලධාරිණියක් ලෙස තෝරාගත්තා. ඒ අනුව මම මුලින්ම රාජකාරිය කළේ මුලතිව් බන්ධනාගාරයේ. ඒ කාලය තුළ මම ක්‍රීඩාවට සම්බන්ධ වෙලා සාර්ථක වුණා. මම තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වගේ රටවලට ගිහින් තරග කරලා රන් පදක්කම් දිනාගෙන තියෙනවා.
මේ ලබාගත්ත ජයග්‍රහණය මට ලොකු සතුටක්. එදා මම බොහොම අමාරුවෙන් දිව්වෙ. මොකද තරග තුනක් තිබුණා එකම දවසෙ. ඒත් රටට පදක්කමක් ලබාගැනීමේ අරමුණින් තරග තුනටම සහභාගි වුණේ. මම මගේ උපරිමයෙන් උත්සාහ කරලා සාර්ථක වෙලා උපන් රටට කීර්තියක් ගෙනාවා.”
අවුරුදු හැටක් හැත්තෑවක් වෙච්ච ගමන් කොඳු අමාරු, කකුල් අමාරු හැදෙන කාන්තාවන් අතරේ 71 හැවිරිදි අකිලා තිරුණායකි තවමත් තරුණ මලල ක්‍රීඩිකාවන්ටද හොඳ ආදර්ශයක් සපයමින් ධාවන පථය දික්විජය කරමින් දිලෙනවා. නිහඬවම රන් පදක්කම් දිනනවා. පාවහන් යුගලක් පවා නොමැතිව තම මාතෘ භූමිය රනින් සැරසූ අකිලා අම්මාට ශ්‍රී ලාංකේය අප සැමගේම උත්තමාචාරය හිමිවිය යුතුමයි.
එරංදි කෞශල්‍යා