සම්ප්‍රදායෙන් පිට හිතපු කෙල්ලොම තුනක්
අපි බොහෝ වේලාවට ආහාර ගන්නේ රසට සහ පෙනුමට මිස අපේ ජීවිතයේ නිරෝගී පැවැත්මට නොවේ. ඒ වගේම අපේ දිව නිතරම ඉල්ලන්නෙත් රසය විතරයි. ගුණයක් තිබුණත් රසයක් නැත්නම් එවැනි ආහාර ප්‍රතික්ෂේප කිරීමට කවුරුත් පුරුදු වී සිටිනවා. ඒත් රස නැති ඒ වුණාට ගුණ සහිත ආහාර වෙනුවෙන් අගයක් එකතු වී අලුත් විදිහකට අපට ලැබුණොත් බොහොම සතුටින් බාරගන්නත් අපි සූදානම්…
යශෝධා ලක්ෂානි ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. අධ්‍යයන පොදු සහතික උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් හැදෑරූ ඇය එතැනින් පසුව මහනුවර අරුප්පල තාක්ෂණ විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී ඇයට අලුත් මිතුරියන් හඳුනාගන්න ලැබුණා. ඇයට මිතුරියන් අතරින් දුශානි ප්‍රේමතිලක, උරේෂා වීරසිංහ සමීප වුණා. ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසුව ඇය රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාව පටන් ගත්තා. ඇගේ මිතුරියන් දෙදෙනාත් රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ උපාධි පාඨමාලාවට සම්බන්ධ වුණා.
රසක් නැති දන්දිල
දන්දිල චීස් නිෂ්පාදනයේ හේතුපාඨය ගැන යශෝධා මේ විදිහට පැහැදිළි කළා. අපේ ගෙදර අවට දන්දිල අල වැවෙනවා. අම්මා ගෙදරදී අපට දන්දිල අල තම්බලා දුන්නත් මේ අල කිසිම රසක් නැහැ. වතුර වගේ. ඒ වුණත් දන්දිල ඉතාම ගුණදායකයි. සිරුර නිවෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙනුත් ඉතා ඉහළයි. මොනතරම් ගුණ තිබුණත් කවුරුත් දන්දිල ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා මට දන්දිල වෙනුවෙන් අගයක් එකතු කරන්න කාටත් ප්‍රියජනක විදිහේ ආහාරයක් ලෙස හදන්න අදහසක් ආවා.
අදහස ක්‍රියාත්මක වීම
අපේ හිතට විවිධ අදහස් ආවත් ඒවා ක්‍රියාත්මක කරන්නත් ඊට ගැළපෙන පරිසරයක් අවශ්‍යයි. රත්මලාන වෘත්තීය තාක්ෂණ විද්‍යාලයේ කෘෂිකර්ම හා ආහාර සැකසුම් තාක්ෂණය පිළිබඳ පාඨමාලාවේදී නව නිෂ්පාදන සංවර්ධනය සඳහා අවස්ථාවක් අපට ලැබුණා. අපේ විද්‍යාලයේ කෘෂි හා ආහාර තාක්ෂණ දෙපාර්තමේන්තුව මගින් Food Ex නමින් වාර්ෂිකව ප්‍රදර්ශනයක් පවත්වනවා.
එහිදී අපට අලුත් නිෂ්පාදන වගේම නිර්මාණ හඳුන්වාදෙන්න අවස්ථාවක් ලැබෙනවා. මෙහිදී මගේ හිතේ තිබුණ අදහස වැඩිදියුණු කරගන්න අවස්ථාවක් ඉබේටම ඇතිවුණා. සිසුන් කණ්ඩායම් බෙදලා නව නිෂ්පාදන හඳුන්වාදීම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදිහට කළා. මේ නිසාම අලුතින් යමක් හිතන්න සහ අලුත් නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබුණා.
අපි තුන්දෙනාගේ එකතුව
දන්දිලවලින් කරගෙන විවිධ නිෂ්පාදන හඳුන්වාදීමේ ව්‍යාපෘතියක් අපි තුන්දෙනා පටන් ගත්තා. මම මුලින් සඳහන් කළ මගේ මිතුරියන් දෙදෙනාත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වුණා.
ඒ තුන්දෙනා
මම යශෝධා. මගේ මිතුරියන් ගැන කියන්නම්. දුශානි ප්‍රේමතිලක ගිනිගත්හේන පදිංචි මහනුවර උසස් බාලිකාවේ ආදි ශිෂ්‍යාවක්. ජීවවිද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා එතැනින් පසුව මහනුවර අරුප්පල තාක්ෂණ විද්‍යාලයෙන් ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසුව ඇය දැන් රත්මලාන වෘත්තීය තාක්ෂණ විද්‍යාලයේ කෘෂිකර්ම හා ආහාර සැකසුම් තාක්ෂණය හදාරනවා.
යුරේෂා ඉඳුනිල් වීරසිංහ කුරුණෑගල අවුලේගම සංඝබෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් හැදෑරූ ඇය එතැනින් පසුව මහනුවර අරුප්පල තාක්ෂණ විද්‍යාලයෙන් ඩිප්ලෝමා පාඨමාලාවෙන් හැදැරුවා. ඇයත් දැනට රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ආහාර සැකසුම් තාක්ෂණය හදාරනවා.
දන්දිල ගැන පරීක්ෂණ
අපි දන්දිල යොදාගෙන කිරීමට හැකියාව ඇති ආහාර ගැන මූලික අධ්‍යනයක් කළා. එහිදී දන්දිල චීස්, දන්දිල යෝගට්, දන්දිල කුකීස්, දන්දිල මිල්ක් ෂේක්, දන්දිල අයිස්ක්රීිම් වැනි නිෂ්පාදන ගැන හිතුවා. අන්තිමේදී මූලික පියවර විදිහට දන්දිල චීස් නිෂ්පාදනය කරන්න හිතුවා.
දන්දිල චීස් වුණ හැටි
අපි දරුවන්ට කිරි ආහාර ලබා දෙන්න කිව්වත් පවතින ආර්ථික තත්ත්වය සමග එය මව්පියන්ට දරන්නත් අපහසුයි. සමහර දරුවන්ට කිරි අප්‍රියයි. ඒ දරුවෝ චීස්වලට ප්‍රියයි. ඊටත් උදේට පවතින කාර්යබහුලකම සමග කිරි බොන්නත් වෙලාවක් නැහැ කියන චෝදනාවත් බොහෝ මව්පියන් නගනවා. ඒ වුණත් චීස් කොටසක් පාසලට රැගෙන ගිහින් වුණත් ආහාරයට ගන්න පුළුවන්. එතැන ලොකු වාසියක් තිබෙනවා.
පෝෂණ ගුණය ගැන කිව්වොත්
දන්දිල චීස් පෝෂණ ගුණයෙන් ඉහළයි. දන්දිල චීස් වෙළෙඳපොළේ තිබෙන චීස් වෙනුවට ඉතාම හොඳ ආදේශකයක්. කැලරි ඉතා සුළු ප්‍රමාණයක් තියෙන්නේ. අසංතෘප්ත මේද රහිතයි. ඒ නිසා කිසිම කෙනෙකුට බියක් නැතුව ආහාරයට ගන්න පුළුවන්. විටමින් “C” බහුලව තිබෙනවා. ඇන්තොසයිනින් සහ ප්‍රතිඔක්සිකාරක සහිතයි. චීස් නිෂ්පාදනයේදී අපි කිරි යොදාගන්නවා.
දන්දිල අල පල්ප 75% ක් සහ කිරි 25% ක් විදිහට සංයෝග කරගන්නවා. දන්දිල අල තද දම්පාටයි. කිරි යොදාගත්තාම එය ලා දම් පැහැයක් ගන්නවා.බාහිරව කිසිම වර්ණකයක් හෝ කල් තබාගැනීමේ දෙයක් එකතු කරන්නේ නැහැ. ස්වභාවික දන්දිල වර්ණයම දන්දිල චීස්වල තිබෙනවා. එය ඇසටත් ප්‍රියයි. ලුණු අවශ්‍ය නම් පමණක් එකතු කරගන්න පුළුවන්.
රසායනාගාර පරීක්ෂණ දැන් අවසන්
දන්දිල චීස් වෙනුවෙන් රසායනාගාර පරීක්ෂණ දැන් අවසානයි. වාර්ෂිකව පැවැත්වෙන 2023 වසරේ “Profood pro pack agri BIZ’” ප්‍රදර්ශනය වෙනුවෙන් දන්දිල චීස් නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට අපේ කණ්ඩායමටත් අවස්ථාව ලැබුණා. එතැනින් පසුව අපි මේ නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වාදෙනවා. දන්දිල අල “Dioscorea alata ” උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. ඒ අදහස ඇතුව අපි මේ චීස් එකට ”අලාටා චීස්” කියා නම තිබ්බා.
දන්දිල සොයාගන්න හැටි
දන්දිල අල දකුණු පළාතේ සුලබයි. ලංකාවේ හැම ප්‍රදේශයකම වුණත් දකින්න තියෙනවා. මේවා වාරයකට අස්වැන්න ලැබෙන නිසා අපතේ යෑම් වැඩියි. අවාරයට කල් තබාගන්නත් අපහසුයි. ඒ නිසා මෙවැනි අල බෝග වෙනුවෙන් අගය එකතු වුණොත් අපතේ යන දෙයින් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. අපි හැමදාම දකින සහ ඒකාකාර විදිහට ආහාරයට ගන්නා දෙයට වඩා අලුත් දෙයක් ආහාරයට එකතු කිරීම නිසා විවිධත්වයක් ඇතිවනවා.
අනෙකුත් දන්දිල නිෂ්පාදන
ඒවායේත් මූලික අධ්‍යනයන් අවසානයි. ඉදරියේදී ඒ නිෂ්පාදනත් වැඩිදියුණු කිරීමට අපි සූදානම්. එහෙම නම් අපට ඉදිරියේදී “දන්දිල” ආශ්රයෙන් ලබාගත් විවිධ අගය එකතු කළ නිෂ්පාදන දකින්න ලැබේවි. වස විස ආහාර ගැන බොහෝ දෙනා හඬක් නැගුවත් විකල්ප විසඳුම් ඉදිරියේ ඔවුන් නිහඬයි. එවැනි වාතාවරණයක් තුළ සුරක්ෂිත ආහාර වෙනුවෙන් තමන්ගේ දැනුම සහ කාලය මිඩංගු කරනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා