සිඟාලෝවාද සූත්‍රයට අනුව පැවිදි උතුමන් විසින් ගිහි පාර්ශ්වය කෙරෙහි අනුගමනය කළයුතු පියවර තුනක් සඳහන් වේ. එනම් ගිහියා පවින් වැළැක්වීම සුචරිතයෙහි හෙවත් කුසලයෙහි යෙදවීම සහ ඔවුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් කටයුතු කිරීමය. එලෙස තමන් අකුසලයෙන් මුදාගෙන කුසලයෙහි යොදවමින් අනුකම්පා සහගත සිතින් කටයුතු කරන භික්ෂූන් කෙරෙහිද ගිහියන් විසින් අනුගමනය කළයුතු බොහෝ කරුණු කාරණා ඇති අතර දෙපාර්ශ්වය විසින්ම අන්‍යෙන්‍ය අවබෝධයෙන් යුතුව ඒවා ඉටුකර ගැනීම තුළ නිරතුරුවම ගිහි-පැවිදි සම්බන්ධතාවය තහවුරු වනු ඇත. පැවිදි උතුමන්ගෙන් ගිහියා සෑම අවස්ථාවකදීම බලාපොරොත්තු වන්නේ නිවැරදි මාර්ගෝපදේශයයි.
එකී මාර්ගෝපදේශය ලබාදෙන අතරතුර ඉන් ඔබ්බට ගිහියාගේ යම් යම් දුක්ඛ දෝමනස්සයන් නසාලමින් ඔවුනගේ ජීවිත සුරක්ෂිත සාර්ථක ප්‍රීතිදායක බවින් පුරවන්නට සමත් භික්ෂූන් වහන්සේ නමක් අපට හමුවන්නේ අහම්බෙන්.වැඩසිටින විහාරස්ථානයේ දියුණුවත් තමන්වහන්සේගේ සේවණේ ඇතිදැඩි වන ගෝල හිමිවරුන්ට නිරතුරුවම ආදර්ශයක් වෙමින් අවට ගම්වාසීන්ගේ ආගමික අවශ්‍යතාවන් නොපිරිහෙළා ඉටු කරමින් ඉතාමත් සරල චාම් දිවිපෙවෙතක් අනුගමනය කරමින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආදර්ශවත් බුද්ධ පුත්‍රයෙකු ලෙස ශාසනයට කැපවූ උන්වහන්සේ ඒ ගැන විස්තර කියනවා වෙනුවට අපව මගහැර යන්නට ගත් උත්සාහයට ඉඩ නොදුන් අපි රත්නපුර දිස්ත්‍රික්කයේ සූරියකන්ද කඩමුදුන සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයේ පාලක. අනුශාසක දෙමුවාවත චන්දානන්ද හිමියන් තමන් වහන්සේ වෙත එන සුවහසක් ජනතාවගේ දුක් වේදනා නිවාලන්නේ කෙසේදැයි විමසා සිටියා…
ඇත්තටම කිව්වොත් මහත්තයො මම මේ සමාජයෙන් වහන් වෙලා ඉන්න වෙර දරන බුද්ධ පුත්‍රයෙක් නෙමෙයි. හැබැයි එහෙමයි කියල පත්තරවල ගුවන්විදුලියේ රූපවාහිනියේ යූටියුබ් නාලිකා හරහා සක්විති කෙනෙක් වෙන්නත් උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. එදා ඉඳලම මම අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි වම් අතින් දෙන දේ දකුණු අතවත් දැනගැනීම අනවශ්‍යයි කියන ක්‍රමවේදය.
ඒ අනුව මම කෙනෙකුගේ දුකක් නිවල කරදරයකින් බේරගන්න කරන කියන දේවල් අනවශ්‍ය ලෙස ප්‍රචාරය වෙනවට මගේ වැඩි සතුටක් නෑ. තමන්ගෙ දුක නිවාගෙන සතුටට පත්වෙලා තවත් කෙනෙකුගේ දුක නිවන්නට කාරුණික හිතක් පහලවෙලා ඒ අයව අපේ ආරණ්‍ය සේනාසනයට යොමු කළොත් ඒ එන අයගෙ යහපත වෙනුවෙන් මම පෙනී සිටිනවා.
දැන් සමහරෙකුට කියන්න පුළුවන් වගේම සමහරු කියනවා චීවරයක් පොරවගෙන ශාසනයට ඇතුළත් වෙන්නෙ ශාන්තිකර්ම කරන්න නෙමෙයි ශාසනයේ දියුණුව වෙනුවෙන් පෙනී සිටින්න කියලා. ඒත් බුද්ධ කාලයේ පටන්ම ගුප්ත විද්‍යාව භාවිත වී ඇති බව ත්‍රිපිටකයේ තියෙන තොරතුරුවලින් පවා අනාවරණය වෙනවා. ඒ වගේම තමයි පැවිද්දෙකුට හරි ගිහියෙකුට හරි අධ්‍යාත්මික ශක්තිය මුල්කරගෙන තවත් කෙනෙකුට සෙතක් සලසන්න පුළුවන්කම තියෙද්දි ඒ දේ නොකර ඉන්න එක අපරාධයක්.
මේ සාස්තරේ මට කියාදුන්නෙ ගොඩකුඹුරේ දම්මපිය ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ එවැනි කටයුතුවලට බොහොම දක්ෂ ශාස්ත්‍රය හොඳින් දන්නා හිමිනමක්.මේ කටයුතුවලදී චිත්ත සමාධිය බොහොම වැදගත් වෙනවා. ඒ අසුරින් සත්‍යක්‍රියාවක් කරන්නට හැකි සීලයක් තිබිය යුතුයි. ඒ සීලය මතුපිටින් නැගෙන සිතුවිලි වෙලා වැඩක් නෑ. අධ්‍යාත්මයෙන්ම එන්න ඕන. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර කියල විද්‍යාවන් තුනක් තියෙනවා. ඒ අතරින් තන්ත්ර සමග කටයුතු කරද්දි ඕන කෙනෙකු තුළ අධ්‍යාත්මික ශක්තිය ඉබේම දියුණු වෙනවා.
කෙනෙකුගෙ යහපත වෙනුවෙන් අමුතු විජ්ජාවක් මම කරන්නෙ නෑ. හැම දුකක්ම සතුටක් බවට පෙරළන්නෙ දහමට අනුව සත්‍ය අවබෝධ කරගෙන. වරු තුනෙන් මඟුල් කඩන්න වගේම දෙන්නෙක් එකතු කරන්න, හැරගිය අය ගෙන්වන්න, සිතූ පැතූ සම්පත් ලබාදෙන්න මම පොරොන්දු වෙන්නෙ නෑ. එකින් එක විස්තර නොකළට බොහෝ දේවල් කරන්න පුළුවන්.
මේ පාර හරිගියේ නැත්නම් ලබන පාර කියන කතා මා ළඟ නෑ. කෙනෙකුගේ ප්‍රශ්නයක් තේරුම් අරගෙන මම යොදන බලය හැමෝටම එක සමානව තමයි ලබා දෙන්නෙ. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර කියන විද්‍යාවන් භාවිත කරද්දි ඒ දේවල් නිවැරැදිව කියන්න මතුරන්න ජප කරන්න ඕන. පිරිතක් ගාථාවක් කියද්දි එහි නියම ගුණය ලබන්නට නම් එහි අරුත බලය දැනගෙන කිව යුතුයි. එහෙම නැතුව කියන්නන් වාලේ කිව්වට එතන වෙන දෙයක් නෑ.
මෙහෙම හිතමු. රතන සූත්‍රය වැවක් නම් ඒ වැවෙන් ඇල මර්ගයක් හරහා කුඹුරකට වතුර ගන්න පුළුවන්. කුඹුරෙන් ගෙදරටත් වතුර ගන්න පුළුවන්. මොන ඇළ මාර්ගය කැපුවත් එන්නෙ වතුර. හැබැයි අපි භාවිත කරන විදිය වෙනස්. කුඹුරට මඩත් එක්ක ගත්තට ගෙදරට බොන්න ගනිද්දී නොසෙල් වෙන්න තියෙන මඩ මිඳුනට පස්සේ උණු කරල තමයි බොන්නෙ. එකම තැනින් ගත්තු ජලයෙන් අපේ කාරණා දෙකක් දෙවිදියකට ඉටුවුණා. ඒ වගේ තමයි හැමදේම.
දැන් බලන්න අපි හිතට කරදරයක් ආවම ඉතිපිසෝ ගාථාව කියනවා. ඒත් ඉතියෝපියාවේ උදවියට ඒ ගාථාවෙන් පිහිටක් තියෙනවද? ඒ අය ඒක කියනව? අපේ රටේ දෙන්නෙක් විවාහ වෙනකොට පෝරුවට නග්ගල ජයමංගල ගාථා කියවනවා. ඒ ජපන් ජාතික යුවළකගෙ විවාහයකදි කවුද ජයමංගල ගාථා කියන්නේ. හැබැයි සමහරවිට ලාංකීය යුවළට වඩා ජපන් ජාතික යුවළ සාර්ථක යුග දිවියක් ගත කරන්න පුළුවන්.
මම එතනින් කියන්නෙ ඉතිපිසෝ ගාථාවෙ ජයමංගල ගාථාවල ගුණයක් බලයක් නෑ කියන එක නෙමෙයි. ඒවායේ තියෙන ගුණය බලය අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒවා සත්‍ය අවබෝධ කරගෙන භාවිත කිරීම තුළින් තමයි සෙත ලබාගත හැක්කේ.
හොඳට මතක තියාගන්න ඕන රතන සූත්‍රය හෝ වෙනත් පිරිතක් ජයමංගල ගාථා ඉතිපිසෝ ගාථාව ඇතුළු වටිනා සම්පත් තියෙන්නෙ අපේ එදිනෙදා ප්‍රශ්න විසඳන්නම නෙවෙයි. ඒත් ඒවා ආශ්රයෙන් අපට යම් යම් දුක් කරදර නිවාගන්නට හැකියාව තියෙනවා. මේ හැමදේම අතරේ නවලිය කාන්තා පුවත්පත මගෙන් අහනවා අද බොහෝ තරුණ යුවළවල් පසුතැවෙන දරුපල ප්‍රමාදය වෙනුවෙන් කළහැකි පිළියම් මොනවද කියලා. මම ඒ ගැන මෙහෙම කියන්නම්.
විවිධ වූ ගැටලු නිරාකරණය කරගැනීමට මා ළඟට එන ජනතාව අතුරින් මම වැඩිම සහනය ලබාදීලා තියෙන්නෙ කිරිසිනහ දකින්නට පෙරුම් පුරන දෙමව්පියන්ට. ඒක් ඉලක්කම් වශයෙන් ගත්තොත් ලොකු සංඛ්‍යාවක්. හැබැයි මම ඒ වරප්‍රසාදය හිමිකරල දීලා තියෙන්නෙ කුසට අත තියල නාඩි බලල නෙවෙයි. ඔය ගැටලුව නිරාකරණය කරගන්න මා ළඟට එනවනම් අදාළ යුවළ අපිට උතුම් වූ දරු සම්පතක් ඕන.
අපි ඒ සිහිනය සැබෑ කර ගන්නවාමයි කියන පිරිසුදු චේතනාවෙන් එන්නට ඕන.එහෙම නැතුව අපිට දැන් වයසයි හරියයිද නැද්ද දන්නෙ නෑ නිකමට උත්සාහ කරල බලමු වගේ අසුබවාදී සිතුවිලි දෙදෙනාගේ හිත්වල පවතිනවා නම් මේ බාධාවලට මූලික හේතුව එය විය හැකියි. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. හිතන්න බැරි බොහෝ වයස්ගත උදවිය මව්පිය පදවි ලබන අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
ඊළඟ වැදගත්ම කාරණය වන්නේ නෝනට දරුවෙක් අවශ්‍යයි ඒත් මහත්තයට එහෙම උවමනාවක් නෑ. සමහර තැන්වල ඒකෙ අනිත් පැත්ත. තවත් තැනක ජෝඩුවම කතාවෙනවා දැරුවො නැතුවට කමක් නෑ අපි ජොලියෙ ඉමු කියල. ඒත් දෙන්නගෙ අම්මල තාත්තලට මුනුපුරු මිනිබිරියෝ ඕන. එහෙම වෙන්න බෑ. ඒ උතුම් සිතුවිල්ල අදාළ දෙදෙනාගේම සිත්වල එකම විදියට තිබිය යුතුමයි. එනවනම් ජන්ම පත්‍ර අරගෙන දෙදෙනාම මා ළඟට පැමිණිය යුතුයි. මහත්තයට නිවාඩු නෑ එයා මේ වගේ කටයුතුවලට කැමති නෑ කියලා කියනවා නම් එහෙම නෝනලට දරු සම්පත් හිමිකරලා දෙන්න මට බෑ.
කියන වත්පිළිවෙත් නිසිලෙස සපුරන්නට ඕන. සිංහල බෞද්ධ උදවිය බෝධි පූජාවක් තියන්න කිව්වම කරන්නන් වාලේ තමයි ඒක කරන්නෙ. හැබැයි ක්‍රිස්තියානි, දමිළ, මුස්ලිම් යුවළකට කිව්වොත් ඒ අය අපි කියන දේ ඕනෑවට වඩා භක්තියකින් කරනවා. එක කිරි ආහාර පූජාවක් කරන්න කිව්වොත් හතක් තියලයි ආයෙ මෙතෙන්ට එන්නෙ. ගමේ පන්සලේ බෝධියට පූජාවක් තියන්න කිව්වම ඒ වෙනුවට අනුරාධපුරේ ශ්‍රී මහා බෝධියට පූජාවක් තියල එනවා. එහෙම අයට සෙත වැඩියි. ඒ අනුරාධපුරය ගිය නිසා නෙමෙයි හිතේ ඇති කරගත්තු භක්තිය නිසයි.
සමහරුන්ගේ වෛද්‍ය වාර්තාවල කිසිම ගැටලුවක් නෑ. හඳහනේ දරුපල බොහොමයි. ඒත් දරුවො නැතුව ලතවෙනවා. අපි නැවුම් කලයක් අරගෙන වතුර පුරවනවා. පේන්න කිසිම සිදුරක් නැහැ. එහෙත් එහි වතුර හිඳෙනවා. එහෙමනම් අපිට හිතන්න වෙනවා නොපෙනුණාට කලයේ කොතැනක හරි සිදුරක් තියෙනවා කියල. ඊළඟට ඒ ගැන විමසිල්ලෙන් හොයල බලල කලය වටේට යම් ශක්තිමත් ආස්තරයක් යෙදිය යුතුයි. එතෙන්දි අර ජල කාන්දුව නැති වෙනවා. දරුපල නොමැති ප්‍රශ්නෙදිත් ඒ විදිහට සූක්ෂම වෙන්න ඕනෙ.
අපත්‍ය ආහාරපාන වලින් වළකින්න ඕන. මෙවැනි කටයුතුවලදී හරක් මස්, ඌරු මස් නොකා ඉන්න අපි කියනවා. එහෙම කියන්නෙ එවැනි ආහාරවල අදාළ ශාන්තිකර්ම වලට හානි පමුණුවන විස සහිත බැක්ටීරියා පවතින නිසා. වැදුම් කිල්ල, මරණ කිල්ල, කොටහලු කිල්ල වගේම මාසික සුද්දිය නිසාත් ඇති වෙන්නේ එවැනි තත්ත්වයක්. ඊළඟට මම අම්මා කෙනෙකුට කියන්න පුළුවන් මේ පිළිවෙත් කරන කාලයේ ජම්බු කන්න එපා කියලා.
ඒ අණ පිළිපැදලා අදාළ මව ගැබිනියක් වුණාට පස්සේ එයාට ජම්බු කන්න ආසාවක් වෙන්න පුළුවන්. අන්න එදාට මම කියනවා දැන් ජම්බු විතරක් නෙමෙයි ගහේ පස්පංගුව කෑවත් මට කමක් නැහැ කියල. මොකද පරිස්සම් වීම තුළ අපේ මූලික අරමුණ ඒ වෙද්දී ඉටු කරගෙන ඉවරයි. ඒ තුළ කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. අන්න ඒ විදිහට පින් සිත් ඇතිව තමන්ගේ කිරි සිහිනය සැබෑ කරගන්න පිළිවෙතින් පෙළගැසෙන යහපත් දෙපළකට මව්පිය පදවිය කිසිසේත් අහිමි වෙන්නෙ නෑ.
ධම්මික හේවාවසම්