පසුගිය සතියේ විශේෂාංගයට කරුණු සහ සාකච්ඡා කළේ දුරකථනයෙන්. නොවැළැක්විය හැකි හේතුවක් නිසා එහෙම කරන්න සිදුවුණා. ඒ වැඩේ එතරම් සාර්ථක නැහැ. හමුවෙලා සාකච්ඡා කරද්දී ඉතා හොඳ කරුණු මතුවනවා. ඉතින් මේ සතිය සඳහා හොරිවිල යන්න ‘උදය දේවිය’ ගේ තුරුළට වැදුණා. වෙනදා දුම්රිය කවුළුවෙන් හමා එන්නේ ගිනියම් වූ සුළඟක්. අද තත්ත්වය සපුරා වෙනස්. පාන්දර ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් පොළොව සිසිල් වෙලා. කළු වලාවන්ගෙන් පිරුණු ගැබ්බර අහස් කුස තවත් වර්ෂාවකට විළිලනවා. ආර්ත්‍රතාවයෙන් බරවුණු සිසිල් වාතය කවුළුව තුළින් හමා එනවා.
මධ්‍යහ්නයට ආසන්නයේදී හොරිවිලට ළඟා වුණා. සූර්ය තාපයෙන් මැඩී පරණලාපත් බවට පත්ව තිබූ පරිසරය නිල්ලෙන් වැසී යාමට ආසන්නයි. ‘උඩකඩවල වැව වාන් දාන්න ළඟයි. එතකොට ඒ වතුර එන්නෙ මේකට’ නියඟයට වුවද හින්දන්නට බැරි වුණ හොරිවිල වැව් කොමලිය දිහා බලාගෙන වෙද මහත්තයා කිව්වා. මාතෘකාව ‘හිරු කිරණ’ වුණාම නිර පෙනෙන්නවත් නැහැ.
රාවණා රජතුමාගේ කාලේ විභීෂනව බලකාමයෙන් මත් කරල රාම කරපු දේම තමයි 1815 පස්සේ ජෝන් ඩොයිලි ඇතුළු බටහිර පරපුර අද දක්වාම කරමින් ඉන්නේ. 1994/95 කාලේ රිටිගල කන්දටත් අත පොවන්න රාජ්‍ය නොවන සංවිධානයක් ආවා. ජාන මංකොල්ලයකට තමයි ආවේ. බිබිලේ දොඩම්වලට කළා වාගේ. ඒක නවත්තන්න අපි ක්‍රියා කළා. පීනස් රෝගය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වනමන්දාවේ අනුර කුමාර සෝමරත්න මැතිතුමාත් (දිවංගත) ඒකේදී විශාල වැඩ කොටසක් කළා. හැබැයි ඉපැරණි හෙළ වෙද පුස්කොළ පොත් රාශියක් කුණු කොල්ලෙට මිලදී ගැනීම ඒ කාලේ සිද්ධ වුණා.
මාතෘකාවෙන් පිට පැන්නා නේද? ඒත් මෙහෙම හරි දැනුවත් කළ යුතුයි. හරි කොතනින්ද අපි නතර කළේ?
මධ්‍යහනයේ එකහමාර දෙක වෙනකම් අමුඩයක් ඇඳගෙන, හිරු එළියට නිරාවරණය වෙලා ඒක සීරුවට වැඩ කිරීම ගැන?
හරි ඊළඟට කළේ ඇළට හරි වැවට හරි පැනලා ගිනියම නිවෙන්න හොඳට නෑවා. ගෙදර ඇවිත් දවල්ට කාලා විවේකීව ඉන්නවා. නැත්නම් උදලු මිටක් රහිනවා. බටපොතු කූඩයක් වියනව වගේ හෙවණේ ඉඳන් කරන වැඩක් මිස අව්වට ගියේ නැහැ.
රාස්සිගේ අව්වෙන් බේරෙන්නද?
හරියට හරි. ඉර අවරට ගිහින් දෙකෙන් විතර පස්සේ වැටෙන ඉර එළියේ පාරජම්බුල වගේ අහිතකර කිරණ තියෙන බව පුරාණ උදවිය දැනන් හිටියා. ඒ අහිතකර බවින් ගහකොළ පවා ආරක්‍ෂා කරගන්න ඉඩමේ බටහිර වැටිය උසට වැටෙන ගස් වර්ග හිටවලා ආවරණය කළා. හොර, පුවක්, කිතුල්, දවට, කොස් වගේ ශාක තමයි එතන හිටෙව්වේ.
එළවළු පාත්ති සකස් කළෙත් ඔය නියමයටම නේද?
අනිවාර්යයෙන්ම. නැගෙනහිර සිට බටහිර දිශාවට. මෙමඟින් ශාකවලට හොඳින් හිරුඑළිය පතිත වුණා. අර බඩවැටියේ ආවරණය නිසා අහිතකර කිරණ සහිත හිරු කිරණෙන් බව බෝග ආරක්‍ෂා වුණා.
ඒ කිරණ වැටුණොත් මොකද වෙන්නේ
ශාකයේ වර්ධනයට බාධා ඇති වෙනවා. පත්‍රවල පිළිස්සුණු ආකාරයේ ලප ඇති වෙනවා. හේන්වල වුණත් බිම් මට්ටමේ බෝගවල ආරක්‍ෂාවට හිරු එළියට ඔරොත්තු දෙන ඉරිඟු, කුරහන් වගේ බෝග වගා කළා. සොබාදහමට අනුගත වෙලා ජීවිතය පවත්වා ගන්නේ කොහොමද කියන කාරණාව අපේ මුතුන් මිත්තෝ හරියටම දැනගෙන හිටියා.
පිරිමි කොණ්ඩේ වැව්වේ මොස්තරේට නෙවෙයි නේද ඒ කාලේ?
ඒ අනිත් කතාව. හේනේ, කුඹුරේ නැවිලා වැඩ කරද්දී කොණ්ඩේ බැඳ ගත්තා. එයින් හිස් කබලේ පිටුපස රත්වුණේ නැහැ. අපි ඔය පුංචි මොළේ කියන ඉතාම වැදගත් කලාපයට ඒ සිසිලසෙන් ලොකු ආරක්‍ෂාවක් ලැබුණා. මේ දැනුම ලබාගත්තු විදිහ හරිම පුදුමාකාරයි අපේ මහත්තයා. දීර්ඝ කතාබහ නිමා වෙද්දී සොබා දහමේ විස්මිත නිර්මාණයක් වන රිටිගල කඳු අරණ දෙසින් හිරු බැස යමින් තිබුණා.
වෛද්‍යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ
දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙදගෙදර
අජන්ත ජයසේකර