නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: අභය දෙන්න දිව්‍ය ලෝකයේදීත් ගරු බුහුමන් ලැබේවි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

අභය දෙන්න දිව්‍ය ලෝකයේදීත් ගරු බුහුමන් ලැබේවි

Published October 23, 2023

බුදුදහම තුළ දානයට ලැබෙන්නේ වැදගත්  ස්ථානයක්. අංගුත්තර නිකායේ දානය ප්‍රභේද දෙකකින් දක්වා තිබෙනවා.

ආමිස දානය

ධර්ම දානය

මේ අතරින් ධර්ම දානය ශ්‍රේෂ්ඨ බැව් සඳහන් වෙනවා. (ද්වෙමානි භික්කවේ දානානි කතමානි දේවෙ, ආමිස දානංච ධම්ම දානංච ඉමානි ඛො භික්ඛවේ ඉමෙසං ද්විත්තං දානානං යදිදං ධම්මදානන්ති )  මේ අතර තවත් තැනකදී දානය කොටස් තුනකින් දක්වා තිබෙනවා.

ආමිස දාන
ධර්ම දාන
අභය දාන


පසුකාලීන හින්දු ආගමික සාහිත්‍යයේ පවා දානය සම්බන්ධයෙන් ආනිශංස දක්වා තිබෙනවා. යාග හෝම කර්ම වෙනුවෙන් ප්‍රාණඝාතයට මුල් තැනක් දුන් හින්දු සාහිත්‍යයේ පවා අභය දානයේ ආනිශංස ගැන මෙසේ කරුණු දක්වනවා.“ආහාර අඩු කාලයක ආහාර ලබා දෙන්නේ නම්, ආහාර සුලභ කාලයක රන්, රිදී ලබා දෙන්නේ නම්, බියක්, තැති ගැන්මක් ඇති වූ විට අභය ලබා දෙන්නේ නම් ඔවුහු දිව්‍ය ලෝකයේදී පවා බහුමානයට පාත්‍ර වෙති.”

 “අභය” යන්නෙහි  අර්ථ දැක්වීම

“අභය” යන්නෙහි අර්ථ දැක්වීම පුළුල් පරාසයක විහිදී තිබෙනවා. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය අර්ථ දක්වා ඇති අන්දමට අභය දීම මරණය හෝ දඬුවම වැළැක්වීම, ආරක්ෂාව, සමාව දීම, මරණයට නොපමුණුවා මුදා හැරීම යන විවිධ අර්ථ දක්වා තිබේ.

බුදුදහමට අනුව ජීවත් වීමේ අයිතිය තහවුරු වීම

බුදුදහමට අනුව සෑම බෞද්ධයෙකුගේ නිත්‍ය සීලය පංච ශීලයයි. එහි මුල්ම විරතිය “ප්‍රාණ ඝාතයෙන් වෙන් වීමයි.” එසේම අප කවුරුත් ජීවිතයට ආදරය කරන බැව් මුසාවක් නොවේ. තමන්ගේ ජීවිතය පිළිබඳව කලකිරීමට පත්ව සිය දිවි හානි කර ගැනීමට තැත් කරන පුද්ගලයා පවා අවසන් මොහොතේදී ජීවිතය බේරා ගන්න යැයි කරණ ආයාචනාවන් ගැන වාර්තා වෙනවා. එසේ නම් සෑම පුද්ගලයෙකුම තමන්ගෙ ජීවිතය ප්‍රිය කරති. ජීවත්වීමට කැමැත්තක් දක්වනවා.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය න ඝාතයෙ


“මම යම් සේ දණ්ඩනයට බිය වෙමිද, මම ජීවිතයට යම් සේ ප්‍රිය කරන්නේද, එපරිද්දෙන්ම සියලු සත්ත්වයෝ තමාගේ ජීවිතයට ප්‍රියය. එබැවින් තමා උපමා කොට කිසිදු සත්ත්වයෙකුට අතින්, පයින්, දඬු මුගුරු වලින් හෝ අවි ආයුධ වලින් හිංසා කොට කිසිදු සත්ත්වයෙක් නොමැරිය යුතුය. අනුන් ලවා හෝ නොමැරිය යුතුය.

සත්ත්ව ඝාතනයේ විපාක

ලෝවැඩ සගරාවේ දැක්වෙන මෙම උපදේශ කවිය මගින් සත්ත්ව ඝාතනයේ විපාක හදවතටම දැනෙන සේ දක්වා තිබේ.

පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
සියො ළඟ වැළඳි ගිනිදැල් නිරයෙ දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

මෙම කවියට අනුව එළුවෙක් ඝාතනය කළ කාන්තාවක් නිරයේ දුක් විඳ එයින් අනතුරුව ඇය උපත ලබන ආත්ම භාවයන්හි එම එළුවාගේ සිරුරේ පිහිටි ලෝම ගණනට සමානව ගෙල සිඳ මරණයට පත් වී තිබෙනවා.උදාන පාළියේ දණ්ඩ සුත්‍රයට අනුව දිනක් බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයට වැඩ කරන විට කුඩා දරුවන් පිරිසක් දණ්ඩකින් නයෙකුට පහර දෙනු දැක මෙසේ වදාළ සේක.

යමෙක් තමාගේ සුවය පිණිස සුව කැමති සතුන් දඬුවමින් තලා පෙලා හිංසා කරත්ද, ඔවුන් පරලොව දුගතියෙහි ඉපිද දුක් ලබන්නාහ. සුත්ත නිපාතයේ දැක්වෙන වසල සුත්‍රයේ පවා ඒකජ, ද්විජ හෝ ඕවෑම සතෙක් දිවියෙන් තොර කරයිද, යම් ප්‍රාණියෙකුට දයාවෙන් තොරව සලකයිද, එබඳු පුද්ගලයා වසලයෙකු බවට පත් වේ.

අභය නොදෙන්නාට ඇතිවන බිය

යම් සත්ත්වයෙකුගේ ජීවිතයට හානි පැමිණීමේ විපාක පිළිබඳව අංගුත්තර නිකායේ “භය” සුත්‍රයේ මෙසේ දැක්වේ.

මෙලොව වශයෙන්ද විපාක ලැබේ
පරලොව වශයෙන්ද විපාක ලැබේ
මානසික දුක්ඛ දෝමනස්සයන් ඇති වේ

බුදුරජාණන් වහන්සේට විපාක දුන් කර්ම

බුදුරජාණන් වහන්සේට විපාක දුන් කර්ම 12 ක් අතරද, සත්ත්ව හිසංනයේ ආදීනව ගැන සඳහන් වෙනවා. බුදුරජාණන්වහන්සේට සුව නොවන හිසේ අමාරුවකින් පීඩා විඳීමට හේතු වුණ නිදාන කතාවයි මේ.එක් ආත්මයක බුදුරජාණන්වහන්සේ මසුන් මරණ කුලයක ඉපිද සිටියා. එක් දිනක් බොහෝ මත්ස්‍යයන් මරා ගොඩ දමා තිබෙනු දුටු මේ දරුවා ඒ ගැන ප්‍රිතියට පත් වුණා.

සත්ත්ව හිසංනයක් නොකළද, සතුන් මරණ දෙස සතුටින් බලා සිටීමේ විපාකය නිසා බුද්ධත්වයට පත් ආත්මයේදී දරුණු හිසරදයකින් පෙළුණු සේක. ඒ ආත්මයේ මසුන් මරණ ලද ඥාතීන්ද, මේ ආත්ම භාවයේදී ඥාතීන් වී ඉපිද ප්‍රාණඝාත කර්ම විපාක දීම් ලෙසින් “විඩුඩහ” කුමරු අතින් මිය ගිය බැව් සඳහන් වෙනවා.

බාල පරම්පාරව සුමගට යොමු කිරීම

වර්තමාන සමාජය තුළ සත්ත්ව හිංසනය පිටු දැකීමේ ආකල්ප වර්ධනය කිරීමේ රටාවක් බිහි වෙමින් තිබෙනවා. නිවසක ඇති දැඩි කරන බල්ලා, බළලාට පවා ආදරය, කරුණාව දක්වන සමාජයක් අද දක්නට ලැබෙනවා. බොහෝ නිවෙස්වල පවා මෙම සතුන් ඉතා සුරක්ෂිතව, ආදරය, කරුණාව ලබා දෙමින් ඇති දැඩි කරනවා.

සත්ත්ව හිංසනය පිටු දකින සමාජය තුළ මරණයට වෙන් වුණ සතුන්ට අභය දානය ලබා දීම, නිර්මාංශ ආහාර රටාවක් අනුගමනය කරමින් සත්ත්ව ඝාතනය පිටුදැකීමට යම් දායකත්වයක් ලබා දීම වැනි සුබවාදී ආකල්ප නිර්මාණය වෙමින් තිබෙනවා. බොහෝ වැඩිහිටියන් තම දරුවන්ට සත්ත්ව හිංසනයට ඉඩක් නොදෙන තරම් කාරුණික වී තිබෙනවා.

මනෝවිද්‍යාවට අනුව පවා බාල කාලයේදී සතුන්ට හිංසා නොකරන දරුවන් අනාගතයේදී යහපත් ගුණ ධර්මයන්ගෙන් යුක්ත දරුවන් බවට පත් වෙන බැව් සඳහන්. ඒ වගේම මේ බව විවිධ අධ්‍යයනයන් මගින් ලබා ගත් දත්ත අනුවත් සනාථ වී තිබෙනවා.

එසේ නම් අපි තවත් පුද්ගලයෙකුට වගේම සත්ත්වයෙකුට ජීවත් වීමට තිබෙන අයිතිය ලබා දිය යුතුය. එවිට අනාගතයේදී මස් මාංශ අළෙවි සැල් පමණක් නොව, බන්ධනාගාරයන්හි මිනීමරු චෝදනාවන් ලබා සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව පවා ශුන්‍ය වීමේ දිනයක් උදා වෙනු ඇත.

ශාස්ත්‍රපති, මනෝ උපදේශක
ආචාර්ය පූජ්‍ය බදුල්ලේ විජයතිලක ස්වාමින්වහන්සේ
ගෞතම ආරණ්‍යසේනාසනාධිපති
ශ්‍රී පඤ්ඤානන්ද මහ පිරිවෙන
එගොඩවත්ත, බොරැස්සගමුව

පුන්‍යා චාන්දනී ද සිල්වා











 

TAGGED: buddhism, Dharma, Karma, Lord Buddha, Udana Pali
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?