රටක් බැබලවූ තරුෂිගේ අම්මා නිලූෂිකා
‘තරුෂි කරුණාරත්න’ අද මුළු ලංකාවම කතාවෙන නමක්.මේ පුංචි කෙල්ල පහුගියදාක මුළු ලංකාවම අමන්දානන්දයට පත් කළේ අවුරුදු 21 කට පස්සෙ ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 ධාවන තරගයෙන් රන් පදක්කමක් දිනාගත් නිසා. මෙවර තරගාවලිය අවසන් වුණේ ශ්‍රී ලංකාව දිනාගත් ඉහළම පදක්කම් සංඛ්‍යාව ලෙස පදක්කම් 8 ක් වාර්තා කරමින්. පුංචි පැළයක් අවධියේ තරුෂි එක්ක හිටියා වගේම ඇය රූස්ස ගහක් වෙනකල්ම ඇය එක්ක ඉන්න නවලියේ අපිට පුළුවන් වුණා වගේම මේ රත්තරන් කෙල්ලගේ අතපය හයියට හදල මේ රටේ මළල ක්‍රීඩාවට දායාද කරපු ඇගේ ආදරණීය අම්මා එක්ක මොහොතක් කතා කරන්නත් අපට පුළුවන් වුණා. ඇය නමින් නිලූෂිකා දිල්රුක්ෂි….
“උදේ ඉඳන්ම තරගෙ බලන්න තමයි අපි සූදානම් වුණේ. සැරින් සැරේ ගෙදර පහන තිබ්බා. පන්සල් ගිහින් බෝධි පූජා කළා. 4.55 වෙනකල් පුදුම ගින්දරකින් මම හිටියෙ. දුව පළවෙනියා වුණාම මගේ පපුව හිරවෙලා ගැහෙන්න ගත්තා. තරගෙ ඉවරවෙලා විනාඩි පහක් දහයක් යනකල්ම ඒ පපුව හිරවුණු ගතිය මට තිබුණා. කතා කරගන්න බැරිවුණා. මීට කලින් මට ජීවිතේ ඒ වගේ සතුටක් දැනිල නෑ.
දුක දරාගන්න ලේසියි ඒත් සතුට දරාගන්න හරි අමාරුයි කියල හොඳටම තේරුණේ එදා. අන්තිමේ පපුව හිරවෙලා මම මැරුණොත් මගේ ළමයට කොහොමටවත්ම දුවාගන්න බැරිවෙනවා කියල හිතල මම මාව පාලනය කරගත්තා.” මේ අම්මා තමන්ගෙ අසීමිත සතුට වචන කරල කතාව පටන්ගත්තෙ මෙහෙමයි. එතැන් පටන් මේ සංවාදය අවසන් වනතුරුම ඇයගේ හඬේ තැවරිලා තිබුණේ සතුටම විතරයි.
කොහොමටත් තරගෙ පටන්ගන්න කලින් මම වතුර එකක් ළඟ තියාගත්තා. වතුර එක හෙමීට බීලා තමයි යථා තත්ත්වෙට පත්වුණේ. උදේ ඉඳන් ගෙදර කවුරුත් කාලත් නෙවෙයි හිටියෙ. හැමෝම හිටියෙ හිතේ ගින්දරෙන් තරගෙ ඉවර වෙනකල්. එදා තරග දෙකක් තිබ්බා. දෙවෙනි තරගෙත් ඉවර වෙලා ඩෝපින් චෙක් කරන්න යද්දි දුව මට කතා කළා.
කෝල් එක ගත්තු ගමන් ඇහුවෙ ”අම්මේ ඔයාට සතුටුයිද?” කියල. සර් ගොඩක් සතුටින් ඉන්නේ සර්ගෙ සතුට තමයි මගේ සතුට කියලත් කිව්වා. කොහොමත් ගෙදර හැමෝම හිටියෙ ගෝල්ඩ් මෙඩ්ල් එක බලාපොරොත්තුවෙන්. වෙන මෙඩ්ල් එකක් ගැන හිතුවෙම නෑ. ඒ තරම් විශ්වාසයක් දුව ගැන අපිට තිබුණා.
“තරුෂිට තියෙන්නෙ කොලු ගති” එහෙම කිව්වෙත් මේ අම්මා. ඇත්ත. තරුෂි සැරයි. ටිකක් මුරණ්ඩුයි. හැබැයි ගෙදර මොන ප්‍රශ්නයක් වුණත් ඊට මැදිහත් වෙලා සාධාරණ විසඳුමක් දෙන තරමට මේ චූටි කෙල්ල මෝරලා.“අවුරුදු 18 ක් වෙලත් තවම කොල්ලෙක් මෙයා දිහා ඇහැක් ඇරල බලලා නෑ. ඒ තරම් සැරයි. ඒ වගේම හරි හයිය දරුවෙක්. තරුෂි පුංචි කාලෙ ඉඳන් හිටියෙ ‘අපිට පුළුවන්‘ කියන තැන. ඕක උස්සන්න බෑ පුතේ කිව්වොත් ඒක උස්සලම තමයි පස්ස බලන්නෙ. තරුෂිට අයියෙකුයි නංගියෙකුයි ඉන්නෙ. අපිට සල්ලි ප්‍රශ්න තිබුණා.
ඒත් මමයි මහත්තයයි දෙන්නා ණය වෙලා, පොලියට අරගෙන කොහොම හරි රෝල ගහන් ඇදගෙන ආවා. දරුවො තුන්දෙනාට ඕනෙ හැමදේම අපි දුන්නා. සල්ලි ප්‍රශ්න කොච්චර තිබුණත් අපි ඒවා දරුවන්ට පෙන්නුවෙ නෑ. මම කැමති නෑ සල්ලි ප්‍රශ්න දරුවන්ට අඟවන්න. සමහර දවස්වලට මහත්තයගෙ කටින් ප්‍රශ්න පනිනකොටම මම ඉක්මනට එයාගෙ කතාව වෙන පැත්තකට හරවනවා. මොකද දරුවන්ගෙ ඔළුවලට සල්ලි ප්‍රශ්න ගියොත් එයාලට එයාලගෙ වැඩේ හරියට කරගන්න බැරිවෙනවා.”
තරුෂිගෙ තාත්තා කරන්නෙ ත්‍රීවිල් රස්සාව. අම්මා පාසලක කාර්ය සහයිකාවක්. දරුවො තුන්දෙනෙක් ඉන්න ගෙදරක වියදම් හරි සැර වුණත් කිසි අඩුපාඩුවක් නැතුව දරුවො තුන්දෙනා ලොකු මහත් කරන්න, තරුෂිව වගේම අයියව තරගවලට යවන්න වියහියදම් හොයාගත්තෙ තමන්ගේ නමට තිබුණු උඩුදුම්බර ඉඩම්වල පිහිටෙන්ලු. මෙහෙම කතා කරගෙන යද්දි තරුෂි ෆිට්නස් තියාගන්න කන කෑම ගැනත් ඇය විශේෂ සඳහනක් කළා.
“අනිවාර්යයෙන් සතියට දෙපාරක්වත් කොස් පොළොස් උයනවා. දුවට ඒවා ඕනෙමයි. මස් මාළුත් හැමදාම වගේ දෙනවා. වේල් තුනම බත් කන්නෙ. දවසට ආනමාළු කෙහෙල් හතක් අටක් කනවා. එයා කවදාවත් පෝෂණය ගැන මිසක් රහ ගැන හිතන්නෙ නෑ.”
මේ කතාවෙදි මම කැමතිම වුණේ කොරෝනා නිසා පුහුණුවීම් කරන්න බැරිව හිටපු තරුෂිට පුහුණුවීම් කරන්න මේ අම්මයි තාත්තයි තමන්ගෙ ඉඩමේ පාරක් කපල දුන්නු කොටසට. ගේ ගාව ඉඳන් වත්ත පහළටත් පහළ ඉඳන් උඩටත් තරුෂි ඇතිතරම් ඒ කපපු පාරේ ප්‍රැක්ටිස් කළා. හැබැයි පුළුවන් තරම් ප්‍රැක්ටිස් කළාට පස්සෙයි කෝච්ගෙන් දැනගත්තෙ ගැටිති පොළවක එහෙම දුවන්න හොඳ නැති විත්තිය.
“2019 සමස්ත ලංකා තරගෙ රෙකෝඩ් එකක් එක්ක දුව දින්නා. 2020 කොරෝනා ආවම එයා හිටපු හොස්ටල් එක වහලා ළමයින්ව ගෙදර එව්වා. ඊටපස්සෙ අපි ටික කාලෙකට උඩුදුම්බරට ගියා. අර රෙකෝඩ් එකෙන් පස්සෙ තරුෂි හිතාගෙනම හිටියෙ ඊළඟ තරගෙත් හොඳට කරනව කියලා. ගමේ පිට්ටනි තිබුණත් ඇඳිරි නීතිය එක්ක යන්න බැරි නිසයි මමයි මහත්තයයි පාරක් කපල දුන්නේ. කොරෝනා අඩු වෙද්දි ආයෙත් අපි දිගනට ආවා.
පාන්දර හතරට ප්‍රැක්ටිස් යනවා. හවස ගෙදර එනවා. උඩුදුම්බර ඉඳන් හැමදාම දිගන එන්න කරදර නිසා දුවගෙ කෝච් සුසන්ත සර් එයාගෙ ගෝලයෙක් වුණ ඉනෝකා මිස්ගෙ ගෙදර අපිව නැවැත්තුවා. එහේ ඉන්න ගමන් තමයි දැන් ඉන්න ගෙදර හොයාගත්තෙ.
ආසියානු තරගාවලියට කලින් තරගෙකට යන්න සල්ලි නැතුව මගේ කරාබු දෙක උගස් කරලයි සල්ලි හොයාගත්තේ. ඊටපස්සෙ මම ඒ වගේම ඉමිටේෂන් දෙකක් දාගත්තා. අද වෙනකල් දුව දන්නෙත් නෑ කරාබු දෙක උගස් කරපු බවක්.”
අම්මලා එහෙමයි. තමන්ට නොලැබුණු දේ කෙසේ හෝ දරුවන්ට දෙන්න වෙහෙසෙන්නේ.
”දවසක් පැළ නැති හේනේ – අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා – ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර – හිටියා ඔබ අම්මේ”
අම්මලාට මේ වගේ සින්දු ලියවෙන්නෙත් ඒ ගුණකඳ නිම කරන්න බැරි නිසානෙ.
පුංචි කාලෙ තරුෂිව දැකපු ගමන් වර්තමානයේ ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු කිව්වෙ “මෙයා නම් අනිවාර්යයෙන් ගේමක් ගහනවා” කියලලු. එතන ඉඳන් ඇගේ අම්මත් තාත්තත් ඒ මොරාල් එකටම සර් කියන කියන හැමදේම කළා.
“සුසන්ත සර් ක්‍රිස්තියානි ආගමේ. ඔහු යාඤ්ඤා කළෙත් දුව වෙනුවෙන්. මගේ ළමයි දෙන්නා මේ තැනට ගේන්න කැපකිරීමක් කරපු ඒ වගේ මනුස්සයෙක් වෙන නෑ.” නිලූෂිකා එහෙම කිව්වෙ දුවගේ කෝච් ගැන හදවතේ ගැඹුරුම තැන තියෙන වචනවලින්.
“දුව මුලින්ම ලෝක ශූරතා තරගාවලියට ගියාම මෙයාට කතාකළා ඇමෙරිකාවෙන් ශිෂ්‍යත්වයක් දෙන්න. නමුත් A/Lරිසාල්ට් ෂීට් එකත් එක්ක තමයි ශිෂ්‍යත්වෙට ඇප්ලයි කරන්න ඕනෙ. දුව මේ අවුරුද්දෙ A/L කරන්නේ. ශිෂ්‍යත්වයක් ලැබුණොත් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නත් පුළුවන්. ඉගෙනගන්නත් පුළුවන්. ඉතින් දුව ඇමෙරිකාවට යනවට අපේ කිසිම අකමැත්තක් නෑ.
දුව කොහොමත් ක්‍රීඩාවට වගේම ඉගෙනගන්නත් දක්ෂයි. සාමාන්‍ය පෙළ කරනකොටත් එයා A 9 ම ගන්න හිතන් වැඩ කළේ. ඒත් කොරෝනා එක්ක පොඩ්ඩක් වැඩ අවුල් වුණා. A 5 යි B 4 යි ගන්න පුළුවන් වුණේ. උසස් පෙළ වාණිජ අංශයෙන් කරන්නේ. C 3 ක් වත් ගන්න තමයි එයාගෙ බලාපොරොත්තුව.”
මට අහන්න හිතුණා මේ දඟ කෙල්ල නිසා අමතක නොවන සිද්ධියක් එහෙම වෙලා නැද්ද කියල.
“තරුෂි පොඩි කාලෙ ඉස්කෝලෙ ගිහින් ඇවිත් කාලා බීලා ගමේ ඉන්න ළමයි එක්ක ගම වටේම දුවනවා. දවසක් එහෙම ගිය දරුවා ගෙදර ආවෙ නෑ. අපේ ගමේ මහියංගණයට යන්න කැලෑ පාරක් තියෙනවා. මෙයා ඒ පාර කෙලවරටම දුවලා. හවස් වෙනකල් බලන් හිටියට දරුවා නෑ. අනිත් ළමයි හැමෝම ගෙවල්වලට ඇවිත්. පස්සෙ තාත්තා ත්‍රීවිල් එක අරන් දුවව හොයන්න ගියා. ඊටපස්සෙ වත්තේ
හැංගිලා ඉඳල මට ඇවිත් කිව්වා මං වත්තෙ හැංගිලා ඉන්නවා ගෙට ආවොත් තාත්තා මට ගහයි කියල. දුව හයට විතර ගෙදර ඇවිත් එයාව හොයනවා කියල දැනගෙන බයට හැංගිලා ඉඳලා. ගෙදර ආවම තාත්තගෙ තරහා නිවුණා දුව දුවලා තියෙන දුර මතක් වෙලා. එදා කිලෝ මීටර් හතරක් විතර එයා දුවල තිබුණා.”
මේ සංවාදය මම අහවර කළේ තරුෂි ගැන අම්මගෙ හිතේ තියෙන දයාබරම හැඟීම එළියට ඇදල ගන්න ගමන්.
“මුල් කාලෙ වලල ඉස්කෝලෙ හොස්ටල් එකේ ඉද්දි දුවට වැඩ කරගන්න අමාරු වුණා. හැමදේම කරල දුන්නෙ මමනෙ. ඒත් හොස්ටල් එකේදි එයා රෙදි හෝදගෙන හැමදේම තනියම කරගන්න ඕනේ. සෑහෙන්න ඇඬුවා. නමුත් ජීවිතේ එහෙම හැප්පි හැප්පි දරාගෙන හිටපු නිසා තමයි අද දුව මෙහෙම ඉන්නෙ. දැන් එයාට එයාගෙ වැඩ තනියම කරගන්න පුළුවන්. මට කිසි බයක් නැතුව මගේ දුවව ලංකාවෙ ඕන තැනක තනියම යවන්න පුළුවන්.
මට හරි සතුටුයි මගේ දුව මලක් නොවී ගලක් වුණ එක ගැන. අනාගතේදි දුව අනිවාර්යයෙන් ඔලිම්පික් පදක්කමක් ගෙනේවි. නමුත් මම කැමතියි එයා ලෝකෙ මොන තැනකට ගියත් උපාධියකුත් එක්ක එයා ඒ තැනට යනවනම්. මෙච්චර කල් ප්‍රශ්න මැද්දෙ ඇදගෙන ආවා වගේ ඉස්සරහටත් මට මේ සටන දුව වෙනුවෙන් කරන්න පුළුවන්.
එරංදි කෞශල්‍යා