අකුණක් කියන්නේ හදවතටත් විදුලි කොටනවා වගේ සිතුවිල්ලක්. නමුත් අකුණක් නිසා තවත් පුද්ගලයෙකුට හානියක් හෝ අනතුරක් සිදු නොවන උපකරණයක් නිපදවා ඇති ඔහු මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මහින්ද හෙට්ටිආරච්චි නම් වූ ඔහු විසින් නිපදවන ලද “විදුලි අකුණු භුගත කිරීමේ උපකරණය මේ වන විට විට පේටන්ට් අයිතිය ලබා ගත් “Hetrix“ සන්නාමයෙන් හඳුන්වන නව නිෂ්පාදනයක්.තවමත් ඔහුගේ නිෂ්පාදනය පරදවන වෙනත් නිෂ්පාදනයක් හඳුන්වා දී නැති නිසා මෙම උපාංගය තවමත් “ ලෝකයටම එකයි’ කිව්වත් වරදක් නැහැ…
ඔබට මේ වගේ නිෂ්පාදනයක් ගැන අදහසක් ඇතිවුණේ කොහොමද?
මම උසස් පෙළට පෙනී සිටියේ විද්‍යා විෂයයන්ගෙන්. එතැනින් පසුව කිසිම පාඨමාලාවක් කළේ නැහැ. නමුත් විද්‍යාව හැදෑරීමෙන් ලත් දැනුම මට තිබුණා. ඒ වගේම මා කුඩා කාලයේ පටන්ම වෙනස් දේවල් කරන්න යොමුවන උණක් තිබුණා කිව්වොත් නිවරැදියි.
මම තහඩුවලින් මල් හැදුවා. සබන් නිෂ්පාදනය කළා. ඊට අමතරව දියේ ගිලෙන පුද්ගලයෙක් බේරාගත හැකි අන්දමේ අලුත් නිෂ්පාදනයක් කළා. මේක රෙද්දක්. අපිට හුරු පුරුදු ළමා සාරියේ උඩ හැට්ටය එහෙම නැත්නම් “මන්තය” වගේ.
ඒක පැළඳගෙන දියට බහිනවා. මේ මන්තය වගේ කොටසට මුදුවක් සවි කරලා තිබෙනවා. පුද්ගලයෙක් දියේ ගිලෙන්න යනවිට මේ අමුණා තිබෙන යකඩ මුදුව ගැස්සිලා මන්තය වැනි පපුව ආසන්නයට පැළඳ සිටින උපකරණයට වායුව පිරී දිය යටට ගිලුණ පුද්ගලයා ක්ෂණිකව මතුපිටට තල්ලු වනවා.
ඊට අමතරව අපි පානයට ගන්නා පිරිසිදු ජලය ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. සමහර වෙලාවට වතුර බොර පාටයි. තෙල් වගේ පාවෙනවා. එහෙම නැත්නම් බෙහෙත් සැරයි. මේ නිසා වතුර පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක් මම නිෂ්පාදනය කළා. ඔය විදිහට විවිධ නවෝත්පාදන ගැන සිත යොමු කරමින් සිටින අතරතුර තමයි විදුලි අකුණු අනතුරු ගැන සංඛ්‍යා ලේඛන මගේ හිතට තදින්ම කාවැදුණේ.
මේ අතර 1980 වගේ කාලයේදී අපි ගුවන් විදුළිය සමග බොහොම සමීප සම්බන්ධතාවක් තිබුණ යුගයක හැම අවුරුද්දකම දෙසැම්බර් 31 වැනි දාට වසරේ සිදුවුණ අනතුරු ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. එතැනදී අකුණු අනතුරුවලට පත්වුණ සංඛ්‍යාව වගේම පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්වුණ සහ ප්‍රතිකාර ලබාගත් පුද්ගලයන් ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. මේ වෙලාවේ මට අදහසක් ඇතිවුණා අකුණු අනතුරු වළක්වා ගැනීමට විකල්පයක් හොයන්න බැරිද කියලා. මෙම නිර්මාණයේ ආරම්භය සිදුවුණේ ඒ විදිහටයි.
එක රැයකින් නම් පුළුවන් වුණේ නැහැ
මේ පර්යේෂණය ආරම්භ කළේ විදුළි අකුණුවල තිබෙන විශාල බලය (ශක්තිය) සුබවාදී විදිහට ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් තිබෙනවා දැයි අධ්‍යන කිරීමෙන්. එය දැනගැනීමෙන් පසුව “විදුලි අකුණු භුගත කිරීමේ උපකරණය “ හදන්න පටන් ගත්තා.
මේ වෙනුවෙන් විශාල කාලයක් සහ ධනයක් වැයවුණා. “විදුලි අකුණු භූගත කිරීමේ උපකරණය “ නිෂ්පාදනය අවසාන වෙද්දී මම ආර්ථික, මානසික සහ සමාජයීය වශයෙන් විශාල පීඩනයකට පත්වුණා. මම යොදාගත් පරණ යකඩ, ඇළුමිනියම්, ඊයම්, තඔ සහ පිත්තල ඩිමෝ බට්ටන් ලොරි දෙකක පමණ ප්‍රමාණයක් තිබුණා. ඒ තරමටම අත්හදා බැලීම් කළා.
කොහොම වුණත් මම අවුරුදු 34 ක් කොටින්ම මගේ ජීවිත කාලයෙන් බාගයක්ම මම “විදුලි අකුණු භූගත කිරීමේ උපකරණය “ වෙනුවෙන් ගෙවා අවසන් කළා. ඒ කැපවීම නිසාම අද වනවිට ලෝකයටම අත්‍යවශ්‍ය නව නිපැයුමක පේටන්ට් අයිතිය ඇති චරිතයක් විදිහට අභිමානයක් ගොඩ නගාගත්තා.
විදුලි සම්බන්ධතාවකදී ට්‍රිප් ස්විචයෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ නැතිද?
සාමාන්‍යයෙන් විදුලිය පිළිබඳ දෝෂයක් හෝ අකුණක් වැදෙන විට ටි්රප් ස්විචය ඕෆ් වෙනවා. අපි සුරක්ෂිතයි කියල හිතනවා. ටි්රප් ස්විච් එකෙන් ධාරාව සමාන්තරව තබනවා. නිවසට අකුණු සැරයෙන් දශමයක් හෝ ආවොත් ට්‍රිප් ස්විචය එය හඳුනාගන්නවා. නමුත් නිරන්තරව අකුණු ඇවිදින් මෙතැන භූගත වනවිට එතැන අකුණු හිතකාමී පරිසරයක් නිර්මාණය වෙනවා. එවිට ලොකු අකුණක් ආවෝත් වැඩි ආරෝපණ ප්‍රමාණයක් තැන්පත් වී තිබෙන තැනට එනවා. එතැන ලොකු අවදානමක් ඇතිවනවා. නමුත් මෙවැනි උපකරණයක් තිබෙන විට එන අකුණු සර සියල්ල භූගත වනවා.
ඔබේ උපකරණයට අනුව විදුලි අකුණු වැදීම වළක්වා ගන්නේ කොහොමද?
විදුලි සම්බන්ධතාව ඇති හැම නිවසකටම විදුලිය වගේම ඒ රැහැන් දිගේ අකුණු සර ගලාගෙන එනවා. අකුණු සර ගලාගෙන ආවාම එයින් ගැලවෙන්න විදිහක් නැහැ. ඉතින් අපේ නිවසට අකුණු සර ගලාගෙන එන අවදානම නැති සුරක්ෂිත ජීවිතයක් ගත කිරීමට කවුරුත් කැමැතියි. ඕනෑම නිවසක විදුලි බල සම්බන්ධතාව ලබා දෙන මීටරයක් තිබෙනවා.
මේ මීටරයෙන් පසුව නිවස ඇතුළත විදුලිය නිවසටම බෙදා හැරීමට ප්‍රමාණ විදුලි පුවරුවක් ඊට එහා පැත්තෙන් D බෝර්ඩ් එකක් ( D board ) සවි කරනවා. ප්‍රධාන විදුලි මීටරයෙන් D බෝර්ඩ් එකට ලැබෙන විදුලිය රැහැන් දිගේ නිවස ඇතුළතට විදුලිය සැපයුම ලැබෙනවා. නිවුට්‍රල් එක පොළොවෙන් ගන්නා නිසා අකුණු සර නිවුට්‍රල් එකට වැඩි සම්බන්ධතාවක් දක්වනවා.
අප විදුලි බලය බාගන්නා විට වයර් දෙකක් සම්බන්ධ කළත් විදුලි බලය ලබා ගන්නේ එක් Pease එකකින් පමණයි. අනිත් නිවුට්‍රල් වයරයේ (Niwteul) ආරම්භය සම්බන්ධකර ඇත්තේ යාබද ඇති විදුලි ට්‍රාන්ස්පෝමරය අසල පොළොවේ ගැඹුරටයි. ප්‍රධාන විදුලි මීටරයෙන් D බෝර්ඩ් එකට ලැබෙන විදුලිය රැහැන් දිගේ නිවස ඇතුළතට විදුලිය සැපයුම ලැබෙනවා.
අපි විදුලි පරිපථය සම්පූර්ණ කරගැනීම පිණිස නිවුට්‍රල් පොළොවෙන් ලබා ගත්ත විදුලි අකුණු සරයට මෙම නිවුටල් පරිපථය අර්ත් (Earth) පරිපථයක් වෙනවා. ඒ නිසා ඉතා සාර්ථකව භූගත වීම සඳහා අකුණු විදුලි සරය නිවුට්‍රල් පරිපථය උපයෝගී කරගන්නවා.
වයරයක ඇත්තේ ආරම්භය සහ අවසානය යන පැති දෙකක් තිබෙනවා. නිවුටල් වයරයට ඇතුළු වන අකුණු විදුලි සරය දෙපැත්තටම බෙදී ආරම්භක පැත්තේ ඇති භූගත ප්‍රදේශයෙන් භූගත වුවද අවසන් පැත්තේ අකුණු විදුලි සැරය නිවසට ඇතුළු වී ප්ලග් බේස්වල තිබෙන අර්ත් වයරය මගින් භූගත වෙනවා.
එතැනදී අපේ විදුලි උපකරණ වගේ දේවල්වලට දෙයියන්ගේම පිහිටයි. සාමාන්‍යයෙන් අපි මෙහෙම කියනවා. අකුණක් වැදුණා අපේ රූපවාහිනිය එහෙමත් නැත්නම් ශිතකරණය වැනි විදුලි උපාංග පිච්චුණා කියලා. ඒ සිදුවීම වෙන්නේ විදුලි රැහැන් දිගේ නිවස ඇතුළතට ගමන් කරන අකුණුවල බලපෑම නිසයි.
එතකොට ඔබේ නිෂ්පාදිත උපාංගයෙන් ලැබෙන ආරක්ෂාව ගැන කිව්වොත්…
විදුලි මීටරයේ සහ බොක්ස් එකට සෘජුව සම්බන්ධතාව ලැබීම වෙනුවට එම මාර්ගය වෙනස් කරනවා. මම මුලින් කී ප්‍රධාන විදුලි මීටරය සහ D බෝර්ඩ් එක අතරට මගේ විදුලි අකුණු භුගත කිරීමේ උපකරණය සවි කරනවා. දැන් අතරමැදට සවි කළ උපාංගය තියෙන්නේ එළියේ ඒකට අර්ත් වයර් එකක් සවිකරලා තිබෙනවා. මේ අර්ත් එකට වයර් එකට විශේෂ අර්ත් වයර් එකක් සවි කරනවා.නිවසකට නම් වයර් එක මිලි මීටර් 16 ක් පමණ වුණොත් ඇති. මේ වයර් එකේ කෙළවරටත් අර්ත් එකක් සවි කරනවා.
අඩි 10 ක් පමණ ගැඹුරට වළක් හාරලා ඒ වළේ “අර්ත් රොඩ් ” එක සවි කරනවා. අර්ත් රොඩ් එකට විශේෂිත රසායනික පවුඩර් එකක් යොදනවා. මේ පවුඩර් එක මගින් ඉක්මණින් අර්ත් රොඩ් එක සම්බන්ධ කරන්න පුළුවන්. මේ ප්‍රදේශයේ සෑහෙන කාලයක් තෙතමනය පවත්වා ගත යුතුයි.
විදුලි රැහැන් දිගේ අකුණු සරය හා විදුලි සරය එකට මිශ්රවෙලා ආවාම මෙතැනදී ( උපකරණය සවි කළ තැනින් ) විදුලි සහ අකුණු සර වෙන් කරගන්නවා. එවිට අකුණු සැරයෙන් මිලි පොයින්ට් එකක්වත් නිවසට ඇතුළු වෙන්නේ නැහැ.
මේ සඳහා උදව් වුණ ආයතන ගැනත් සඳහනක් කරන්න පුළුවන්ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් පර්යේෂණායතය, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, නව නිපැයුම් කොමිසම වගේම මූල්‍ය කටයුතු වලදී සම්පත් බැංකුව ලබාදුන් සහයෝගය අගය කළ යුතුයි.මට ව්‍යාපාර ප්‍රවර්ධනය ගැන දැනුමක් තිබුනේ නැහැ
මම විදුලි අකුණු භූගත කිරීමේ උපකරණය නිෂ්පාදනය කළත් එය ප්‍රවර්ධනය කිරීමට දැනුමක් තිබුනේ නැහැ. ව්‍යාපාර ප්‍රවර්ධනය තවත් කලාවක්. මම අකුණු භුගත කිරීමේ උපකරණය තවත් හවුල්කාරයෙක් සමග එක් වී වෙළෙඳ කටයුතු ආරම්භ කළා. නමුත් එතැනදී මම අසාර්ථක වුණා.
දැන් ඔබගේ ව්‍යාපාර සන්නාමය ප්‍රවර්ධනය කිරීම සිදුවන්නේ කොහොමද?
මම ආයේම නැගිට්ටා. හරියට ෆීනික්ස් කුරුල්ලා වගේ. නිෂ්පාදන සන්නාමය “Hetrix” යනුවෙන් නම් කළා. ඒ වගේම විවිධ සමාජ මාධ්‍ය ජාලා සහ යූ ටියුබ් මගින් මගේ නිෂ්පාදනය ගැන ලබාදුන් ඇගයිම ප්‍රසිද්ධිය නිසා මට ඉදරියට යන්න හැකියාව ලැබුණා.
මෙම විදුලි අකුණු භුගත කිරීමේ උපකරණය හැම දෙනෙකුටම භාවිත කරන්න පුළුවන්ද?
විදුලිය ධාරිතාව සහ එකලා-තෙකලා යන විදුලියේ මුහුණත අනුව උපකරණයේ ධාරිතාව වෙනස් වෙනවා. පුංචි නිවසකට ගැළපෙන Domastic උපකරණයක් සිට තෙකලා විදුලිය ලැබෙන ගොඩනැගිල්ලක් අරක්ෂා කිරීමට කරම් හැකියාවක් පවතිනවා. මේවා වෙනස් වෙන්නේ පරිහරණය කරන ඇම්පියර් මතයි.
සවිකරන විට අපි සවි කරන ක්‍රමවේදය ගැන දැනුවත් කරනවා. ඒ වෙනුවෙන් වීඩියෝ වට්ස් අප් පහසුකම් තිබෙනවා. වගකීම් සහතිකය පිටුපස සවිකරන ආකාරය ගැන සම්පූර්ණ විස්තරය තිබෙනවා. විදුලි කාර්මික ශිල්පියෙකුට එය ගැටලුවක් නොවෙයි. ගැටලුවක් ඇති වුණොත් මුලින් සඳහන් කළ විදිහට උදේ 8 සිට රාත්‍රි 8 දක්වා දුරකථනයෙන් සම්බන්ද වෙන්න පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා