ඩුබායි රාජ්‍යයේ රජු වන ශෙයික් මොහොමඩ් ඔහුගේ පුත් කුමාරවරුන්ගේ දැවැන්ත විවාහ මංගල්‍ය වෙනුවෙන් ප්‍රධාන මල් සැකසුම් ශිල්පියෙක් තෝරගන්න ලොකු තරගයක් පැවැත්වුවා. ඒ රජුගේ පෞද්ගලික මල් සැකසුම් ශිල්පීන් ඇතුළුව ඩුබායිවල ඉන්න සහ ලෝකෙ විවිධ රටවල මල් සැකසුම් ශිල්පීන් අතරේ. එදා මේ තරගකරුවන්ට තිබුණේ උත්සව ශාලාවට පිවිසෙන උමං මාර්ග 5 ක් මල්වලින් සරසන්න. ප්‍රධාන විනිසුරුවරිය වුණේ රජුගේ පළමු බිරිඳ.
අනිත් හැමෝම තනිකරම මල්වලින් උමං මාර්ගය සරසද්දි එක් තරගකරුවෙක් ස්වභාවික මල් උයනකට පිවිසෙන අයුරින් මල් එක්කම කුඩා ගස්, අතු යොදාගනිමින් උමං මාර්ගය සැරසුවා. මේක බලන්න ආපු ගොඩක් දෙනෙක්ගෙ වගේම විනිශ්වයට ආපු රජුගේ බිරිඳගේ හිත යන්නෙත් මේ නිර්මාණයට.
ඒ අනුව රාජකීය මංගල්‍යයේ ප්‍රධාන මල් සැකසුම් ශිල්පියා වෙන්නෙ ඔහු. මේ නිර්මාණයේ අයිතිකරු ශ්‍රී ලාංකිකයෙක් වූ නිසයි මේ ලිපිය වැදගත් වෙන්නෙ. ඔහු නමින් ලක්ෂ්මන් පෙරේරා. මේ වෙද්දි ඩුබායිහි ප්‍රධාන පෙලේ මල් සැකසුම් ව්‍යාපාරයක් හිමි ලක්ෂ්මන්ගේ කතාවයි අද මේ විදිහට අකුරු කෙරෙන්නෙ.
සියල්ලට පෙර යුධ හමුදාවට
උසස්පෙළ කරලා අවුරුදු 18 දි තමයි මම යුධ හමුදාවට බැඳුණෙ. මම එකතු වුණේ අතුරු හමුදාවක් වෙච්ච ජාතික මිනිස් බල සංචිතයට. මිනිස් බල සංචිතයට එකතු වුණ ගොඩක් අය අද මේජර් ජෙනරල් තත්ත්වයේ ඉන්නවා. උසස්පෙළ ප්‍රතිඵල එනකොටත් මම යුධ හමුදා පුහුණුව ලබනවා. ඒත් මම යුධ හමුදා සේවයෙම හිටියා. නමුත් කාලයක් යද්දි මට තේරුණා යුධ හමුදාවෙන් ඉවත් වෙන්න ඕනෙ කියලා.
හමුදා නිලධාරියෙක් වෙන්න ආසාවක් තිබුණත් නොයෙකුත් ප්‍රශ්න නිසා මට ඒ තැනට යන්න බැරි වුණා. ඊටපස්සෙ මම නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත් වුණා. නමුත් මම මගෙ ජීවිතේට ගොඩක් ලොකු අත්දැකීම් යුධ හමුදාවෙන් ගත්තා. තොප්පිගල මෙහෙයුමට මම සහභාගී වුණා. යුධ හමුදාවෙ ඉද්දි මගේ ජීවිතේට මම ලබාගත්ත අත්දැකිම් අද මට මෙතන ඉන්න ගොඩක් වැදගත් වෙලා තියෙනවා. විනය, පිළිවෙල, වෙලාවට වැඩකිරීම අද මගේ ජීවිතේ නොම්බර එක.
ජයරත්න මල් ශාලාවේ රැකියාවට
මම යුධ හමුදාවෙන් ඉවත් වෙලා ජයරත්න මල් ශාලාවේ සේවයට එකතු වුණා සහකාර ගණකාධිකාරීවරයෙක් විදිහට. ඊටපස්සෙ මට පුළුවන් වුණා අවුරදු 05 ක් වගේ ඇතුළත එතන ප්‍රධාන කළමනාකරු වෙන්න. මල් සම්බන්ධව ගොඩක් දේවල් ඉගෙනගත්තෙ මම එතනින්. ඒත් මට මගේම දෙයක් පටන්ගන්න ලොකු ආසාවක් තිබුණා.
පස්සෙ ජයරත්න මල් ශාලාවෙනුත් ඉවත් වෙලා මම පොත් සාප්පුවක් පටන්ගත්තා. එක්සයිස් පොත් මමමයි හැදුවේ. ඒ නිසාම මට හොඳ බිස්නස් තිබුණා. එතනින් පස්සෙ රජයේ මුද්‍රණාලයේ පොත් බැඳීම සම්බන්ධව පාඨමාලාවකුත් හදාරලා පොත් බැඳීමේ ව්‍යාපාරයත් පොත් සාප්පුවට සමගාමීව කරගෙන ගියා. ඒකත් ගොඩක් සාර්ථක වුණා.
ලංකාවෙ රස්සා කරලා ඇති වුණා
ඔහොම ඉද්දි මට හිතුණා ලංකාවෙ හිටියා ඇති කියලා. පස්සෙ මම ජපානෙට ගියා. ජපානෙ මම අවුරුදු 05 ක් ඉඳලා ආපහු ලංකාවට ඇවිත් ඉන්නකොට තමයි ඩුබායි යන්න අවස්ථාවක් ලැබුණේ. මොකද මම ජයරත්න එකෙන් මල් ගැන ඉගෙනගෙන තිබුණ නිසා මට ලැබුණා අවස්ථාවක් මල් සැකසුම් ශිල්පියෙක් විදිහට සාජා නගරයට යන්න. මාස තුනක් විතර මම එහේ මල් සමාගමක වැඩ කළා.
නමුත් ඒ සමාගම සාර්ථක වුණේ නෑ. ඔය අතරේ මට තවත් අවස්ථාවක් ලැබුණා ඩුබායිවල බ්‍රිතාන්‍ය සහ ජර්මන් ජාතිකයො දෙන්නෙක් කරගෙන යන ඉවෙන්ට් කම්පැණියක මල් සැකසුම් ශිල්පියෙක් විදිහට වැඩ කරන්න. අවුරුදු දෙකකට පස්සෙ මම ඒ කම්පැණියේ ප්‍රධාන මල් සැකසුම් ශිල්පියා වුණා.
මම මහන්සි වෙලා වැඩ කළා. පැය 72 ක් මම එකදිගට නොනිදා වැඩ කරලා තියෙනවා. කරන දේ පිළිවෙලට සහ නියමිත වෙලාවට මම කළා. ඒ දේවල් නිසා තමයි මම ආයතන ප්‍රධානීන්ගේ හිත් දිනාගත්තෙත්. ඒත් කොරෝනාවලින් පස්සෙ කම්පැණි එකට වැඩ නැති වුණා.
කොරෝනා නිසා ගොඩ ගියා
කොරෝනා මගේ ජීවිතේට ආශිර්වාදයක් වුණා කිව්වොත් මම හරි. මොකද කම්පැණි එක ලොස් වෙද්දි මම හිතුවා මගේම ව්‍යාපාරයක් මල් සැකසුම් පැත්තෙන් පටන්ගන්න. එහෙම හිතලා මම ඔන්ලයින් මල් ව්‍යාපරයක් පටන්ගත්තා පොඩියට.
ඒ ඔන්ලයින් ව්‍යාපාරයේ මල් හැදුවේ, මල් සුද්ධ කළේ, පෙට්ටි කරගහන් ගෙනාවෙ වගේ හැමදේම කළේ මම. හැමදාම උදේ 7 ට මම වැඩ පටන්ගත්තා. රෑ එකොළහ විතර වෙනකල් එකදිගට වැඩ කළා. ලැබෙන හැම ඇනවුමක්ම මම උපරිම හොඳට කළා. අවුරුද්දක් විතර යද්දි තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ආවේ.
ඩුබායි රාජකීය විවාහ උත්සවයේ ප්‍රධාන මල් සැකසුම්කරු වුණ හැටි
ඔය තරගෙ බ්‍රිතාන්‍ය, ලෙබනන්, ඉතාලි වගේම ඩුබායි රජුගේ පෞද්ගලික මල් සැකසුම් ශිල්පියො අතරෙ තමයි තිබුණේ. ඒ තරගෙදි තේරුණේ මම කරපු නිර්මාණයක්. ඉලක්කය වුණෙ මීටර් 500 ක් දිග උමං මාර්ගයක් මල්වලින් සරසන්න. හොඳම නිර්මාණය තෝරන්න ආවෙ ශෙයික් මොහොමඩ්ගේ බිරිඳ.
ඇය ස්වභාවික මල් වත්තක් විදිහට හදලා තිබුණ මගේ නිර්මාණය දැකලා මට පෞද්ගලිකවම ස්තූති කරලා පැවසුවා උත්සව ශාලාවට ඇතුළු වන සියලුම උමං මාර්ග කිසිම වෙනසක් නැතුව හදලා තිබුණ විදිහටම හදන්න කියලා.
මගේ ජීවිතේ මම ලබපු ලොකුම භාග්‍ය තමයි රාජකීය විවාහ උත්සවයේ ප්‍රධාන මල් සැකසුම් ශිල්පියා විදිහට වැඩ කරන්න ලැබුණ එක. ඒ වගේම මට ආරාධනා ලැබුණා රජුගේ මල් සැකසුම් කණ්ඩායමේ ප්‍රධානියාගෙන් එයාලගේ කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න කියලා.
ඒ වගේම රාජකීය විවාහ උත්සවය බාර අරගෙන කරපු ලෙබනන් කණ්ඩායම කිව්වා ඩුබායිවලට වඩා දෙගුණයක් පඩි ගෙවන්නම් එයාලා එක්ක වැඩ කරන්න එන්න කියලා. නමුත් නිදහස් රැකියාවක වටිනාකම මම දන්න නිසා ඒ ආරාධනාව සුහදව ප්‍රතික්ෂේප කළා.
ඩුබායි බ්‍රෑන්ඩ් නේම් එකක උපත
මගේ ව්‍යාපාරය මම පටන්ගත්තෙ 100 Roses Dubai නමින්. රෝස මල් සීයේ මල් පොකුරු තමයි මුලින්ම මම හැදුවෙ. බොහොම සාධාරණ මිලකට අලෙවි කළේ. ඒ වගේම මල් පොකුරුවල නිමාව, මල්වල තියෙන ෆ්‍රෙෂ් ගතිය ගැන තමයි මම ගොඩක් සැලකිලිමත් වුණේ. ලාභයක් ගැන හිතුවෙ නෑ වගේම මං හිතන් හිටපු තරම් ලාභයක් ලැබුණෙත් නෑ.
මගේ එකම අරමුණ වුණේ ලොකුවට, ලස්සනට ෆ්‍රෙෂ් මල් පොකුරක් කස්ටර්මර්ට දෙන්න. ඉතින් එහෙම තමයි මගේ ව්‍යාපාරය මම සාර්ථක කරගත්තෙ. අද 100 Roses Dubai කියන්නෙ ඩුබායිවල බ්‍රෑන්ඩ් නේම් එකක්. මල් සීයෙන් පටන්ගත්තු මල් පොකරු මේ වෙද්දි මල් පන්සීය දක්වා වැඩි කරලා තියෙනවා.
මගේ සේවකයෝ ඉතා සතුටින් මං ගාව වැඩ කරනවා
මම මගේම කියලා ව්‍යාපාරයක් පටන් අරන් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. දැනට හයදෙනෙක් මං ළඟ වැඩ කරනවා. ඒ ලංකාවේ හතර දෙනෙක්, බංගලාදේශ් ජාතිකයෙක් සහ පාකිස්ථාන් ජාතිකයෙක්. මගේ හෙඩ් ෆ්ලෝරිස්ට් විදිහට දැන් ඉන්නෙත් යුධ හමුදාවේ හිටපු කැප්ටන් කෙනෙක්. ඔහුගෙ නම සමන්. මට හරි සතුටුයි. මොකද මට හම්බුණ මුළු ටීම් එකම හරිම දක්ෂයි. මම හැමවෙලේම මගේ සේවකයන්ට කියන්නෙ සතුටින් වැඩ කරන්න, සතුටින් ගෙදර යන්න කියලා.
ඩුබායි මාකට් එක අල්ලන්න ලේසි වුණේ නෑ
මම මේ ව්‍යාපාරය පටන්ගන්නකොට මේ ක්ෂේත්‍රයේ මුල් බැසගත්ත දැවැන්තයෝ ගොඩක් හිටියා. එහෙම අය එක්ක තමයි මම තරග කළේ. මම අද මේ තැන ඉන්න හේතුව තමයි ලාභයට වඩා මම මගේ නිෂ්පාදනයේ ගුණාත්මක බව බලපු එක. ව්‍යාපාරය පටන්ගත්තු දවසේ මල් පොකුරක් විකුණපු මිලටම තමයි අදටත් මම ඒවා විකුණන්නෙ.
ඉදිරියේදී දැවැන්ත අඩියක්…
මට ලොකු ටාගට් එකක් තියෙනවා රෝස මල්වලින් ඩුබායිවල හොඳම ඔන්ලයින් ෂොප්ස් තුන අතරට එන්න. දැනට ඒ ස්ථාන තුනේ ඉන්නෙ මීට අවුරුදු 15 කට විතර උඩදි ව්‍යාපාර පටන්ගත්ත අය. නමුත් මම අවුරුදු 05 ක් ඇතුළත මේ රටේ පළවෙනි තුන්දෙනා අතරට එනවා.
ලංකාවේ බ්‍රාන්ච් එකක් දාන්න අදහසක් නෑ ඒත් වෙනස් තැනක් හදනවා අබුඩාබිවල තව බ්‍රාන්ච් එකක්
පටන්ගන්න අදහසක් තියෙනවා. අපි දැනට ඉන්න තැන වෙනස් කරන්න ඕනෙ. මොකද අපිට තේරුණා මෙතන අපේ වැඩ ටික කරගන්න ඉඩකඩ මදි කියලා. ලංකාවෙ බ්‍රාන්ච් එකක් දාන්න අදහසක් නෑ. නමුත් අදහසක් තියෙනවා කවදහරි දවසක ලංකාවේ Floral Institute එකක් දාන්න. පිටරට ඇවිත් මේ ක්ෂේත්‍රයෙන් රැකියාවක් කරන්නෙ කොහොමද කියලා ළමයින්ට උගන්නන්න.
ඩුබායිහි ගතකරන්නෙ අතිශයින්ම කාර්බහුල දිවියක්
ඇත්තම කියනවනම් අතිශයින්ම කාර්යබහුල ජීවිතයක් ගතකරන්නෙ. උදේ 6.50 වෙද්දි නොවරදවාම නැගිටිනවා. 7.30 වෙද්දි මාව ගන්න වාහනේ එනවා. 8.00 වෙද්දි මම ව්‍යාපාර ස්ථානයේ ඉන්නෙ. ඊටපස්සෙ රෑ 12 විතර වෙනකල් එකදිගට වැඩ කරනවා. මොකද රෑ 12.00ට 1.00 ටත් ඕඩර්ස් ලැබෙනවා. ඉස්සරනම් මම දවස් 07 ම වැඩ කළා. නමුත් දැන් මගේ ජීවිතේට විවේකයක් ඕනෙ නිසා දවස් 06 යි වැඩ කරන්නෙ.
උපරිම හොඳින් විවේකය ගත කරනවා
මට ඉන්නවා ලස්සන පූසෙක්. එයාගෙ නම පිංකි. මගේ ජීවිතේ ප්‍රධාන චරිත තුනයි. එක මගේ අම්මා. දෙක බිරිඳ. තුන පිංකි. ඉතින් විවේකයෙන් ගෙදර ඉද්දි පිංකි එක්ක තමයි ඉන්නෙ. ඊට අමතරව අම්මයි බිරිඳයි එක්ක කොහේහරි කන්න යනවා,ෂොපින් කරන්න, ෆිල්ම් එකක් බලන්න යනවා. ජීවිතේ කාර්යබහුල වුණත් මම ජීවිතේ විඳිනවා. මගේ අදහස දිගටම මෙහේ ජීවත් වෙන්න. ඒකට අවශ්‍ය කරන පසුබිම මම හදාගෙන යනවා.
මගේ ව්‍යාපාරයට සහය දෙනවට වඩා බිරිඳට ඩුබායිවල වීදි පූසො එක්ක කරන්න රාජකාරි තියෙනවා
ඩුබායි ආවම මගේ බිරිඳත් රැකියාවක් කළා. නමුත් මගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න මම ඇයව ඒ රැකියාවෙන් ඉවත් කරගෙන මගේ ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තා. මේ වෙද්දි ඇය විවේකීව ඉන්නවා. ඉඳලා හිටලා වැඩකටයුතු බලලා යනවා. මොකද ඇයට ගෙදර ගොඩක් වැඩ තියෙනවා. මෙහේ ඉන්න පූසෝ 50 කට 60 කට එයා හැමදාම කන්න බොන්න දෙනවා. ඒක තමයි එයාගෙ ප්‍රධාන විනෝදාංශය. හැමදාම හවසට කි.මී. 2 ක් විතර ඇවිදන් යනවා. මොකද තැන් තැන්වල එයා කෑම දාන පූසො ඉන්නවා. පූසන්ට කන්න දෙන එක මගහැරෙන නිසාම අවුරුදු හයකින් මගේ බිරිඳ ලංකාවට ආවෙත් නෑ.
අද මම මෙතන ඉන්නෙ විසිට් වීසා එකකින් ඇවිත්
මම කැමතියි මගේ මේ කතාවෙන් කවුරුහරි උත්තේජනයක් ගන්නවනම්. 2009 මම ඩුබායි ආවේ විසිට් වීසා එකකට. අද මට මගේම ව්‍යාපාරයක් තියෙනවා. මම හොඳ පඩියක් සේවකයන්ට ගෙවනවා. ඩුබායි එන්න ලේසියි. හැබැයි වැදගත්ම දේ තමන් ආවෙ මොකටද කියලා මතක තියාගන්න එක. මහන්සි වෙලා වැඩ කරන්න. ධෛර්යය, උත්සාහය ගැන මිසක් වාසනාව ගැන විශ්වාසය තියන්න එපා.
එරංදි කෞශල්‍යා