ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි වානරයා පරිණාමය වී ගසෙන් බැසීමට වසර මිලියන ගණනක් ගත විය. එතැන් සිට හෝමෝ සේපියන්ස් දක්වා පැමිණි කාලයද සුළු පටු නොවේ. සුනම්‍යශීලී සිරුරක් සහිතව ඉතා පහසුවෙන් ගසින් ගසට පැන ගිය වානරයා පසුකාලීනව සිරුරෙන් වැඩී ගසෙන් බිමට පැන දෙපයින් ඇවිදීමට පටන් ගැනීමත් සමගම කොඳු ඇට පෙළේ සහ සන්ධි ආබාධ හට ගැනීම සිදුවිය.
වෙද මහත්තයා ඔබේ මේ සතියේ කතා බහ දිග හැරෙන්නේ කොහොමද?
සයිටිකා ගැන දැනුවත් කළ යුතු කාරණා ටිකක් තියෙනවා. ඊට කලින් ජීවිතයේ නොයෙකුත් වකවානුවල හට ගැනීමේ අවදානම තියෙන සන්ධි ආබාධ ගැන දැනුවත් කිරීමක් කළොත් හොඳයි කියලා හිතුවා. ඒ අතර
වාත රක්ත
වාත කණ්ඩ
කටී වාත
මාන්‍යස්තම්භ
කෝජටු ශීර්ෂ
ගැඩ්‍රසි
කියන ආබාධ තත්ත්වයන් ගැන විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්.
මේ ආබාධවලට මානව පරිණාමය සම්බන්ධ වෙන්නේ කොහොමද?
පරිණාමයට සාපේක්‍ෂව මිනිසාගේ අස්ථි පද්ධතිය නිසි විදිහට සකස් වෙලා නැහැ. අස්ථි ආබාධ බහුල වෙන්න ප්‍රධානම හේතුව ඒක. ඔන්න ඔය පරිණාමික දෝෂයට අමතරව කාලයත් එක්ක නව සොයා ගැනීම් සමග ශ්‍රමයෙන් කළ යුතු කාර්යයන් පහසු වුණා.
කාර්මික විප්ලවයත් එක්ක ජන ජීවිත උඩු යටිකුරු වුණා කිව්වොත් නිවැරදියි. කාලය ගත වෙද්දී සමාජය අතිශය වාණිජවාදී වුණා. මනුස්ස ජීවිතය හිතා ගන්න බැරි විදිහට සුඛෝපභෝගී වුණා.
මොකද වෙලා තියෙන්නේ?
ගස් උඩ නිවනක් නැතුව සර්කස් පෙන්නපු වඳුරා මිනිහෙක් වෙලා. අන්තිම කම්මැලියන් බවට පත්වෙලා කකා බිබී ඉන්නවා. ශාරීරිකව සිදුකළ යුතු දේවල් යන්ත්‍රවලට බාර දීලා. මිනිස්සු වාඩිවෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා.
ඒ මදිවට පිටි, සීනි කෑම ගිලිනවා සීමාවක් නැතිව. ශක්තිය වැය කරන්නේ නැහැ. ඉතින් තරබාරු වෙනවා. සන්ධි සහ පේශි දුර්වල වෙනවා. බොහොමයක් දෙනා ධර්මාශෝක රජ්ජුරුවන්ගෙ අසන්ධිමිත්තා දේවිය වාගේ.සන්ධියක් හොයා ගන්න බැරි තරමට මස් වැඩිලා, රවුම් වෙලා.අම්මලා නම් කියන්නේ දරුවෝ සනීපෙට හැදෙනවා…
හරිම කියුට් චබී බබලා කියලාමොන කියුට්ද තනිකරම අසනීප ගොඩක්. සන්ධි රෝගවල ඉඳලා මඳ සරුභාවය දක්වා දහසක් ලෙඩ. පොඩි දරුවන්ගෙ ඉඳල නානාප්‍රකාර ලෙඩනේ අද වෙද්දි තියෙන්නෙ. ඉතින් කොහොමද කියන්නෙ සනීපෙට හැදෙනවා කියලා. වැඩිහිටි ජනගහනයෙන් නම් සීයට හැත්තෑ පහක් විතරම මොනවා හරි සන්ධි ආබාධයකින් පෙළෙනවා. බාල පරපුර පූර්ව රෝගී අවස්ථාවක තමයි ඉන්නෙ.
ප්‍රතිකාර සඳහා යොමුවෙන රෝගීන්ගෙන් වැඩි දෙනෙක් රෝගී බව උග්‍ර මට්ටමට පැමිණි අය.මොකක්ද ඒකට හේතුව?
ටික දෙනෙක් ඇරුණාම අනිත් සේරම දෙනා අතහැර දමාපු අය. රට වටේ ගිහින් නානාප්‍රකාර වෙදකම් කරලා අන්තිමට කරකියා ගන්න දෙයක් නැති වුණාම මා ළඟට එනවා. ඉතිරි ටික දෙනත් ගොඩ වෙදකම් කරලා වැඩ දිග්ගස්සා ගත්තු අය.
සයිටිකා එහෙමත් නැත්නම් තෘඩ්‍රයි නාඩියේ ආබාධයකදී අත්විඳින්න ලැබෙන මූලික අපහසුතා මොනවාද?
හුඟක් වෙලාවට එක පාදයක දිගට තීව්‍ර වේදනාවක් ඇති වෙනවා. ආබාධයට මුල්වෙන්නේ කශේරුකාවේ දෝෂ සහගත තත්ත්වයක්. මෙතනදී පිටකොන්ද, උකුළ, තට්ටම්, කලවා, බත් කෙණ්ඩ දක්වාම වේදනාව පැතිරෙනවා. සමහර ස්ථානවල යම් ඉදිමීමක් දකින්නත් පුළුවන්.
ප්‍රතිකාරවලට අමතරව ඇවතුම් පැවතුම් වෙනස්කරන්න ඕනෙද?
අනිවාර්යයෙන්ම ඒක නියතයක්. වාඩිවීම, නිදා ගැනීම නිවැරදි වීම ප්‍රධානයි. බර එසවීමේදී චලනය වීම් වලදී නිසි ඉරියව් අනුගමනය කිරීමත් හරිම වැදගත්. වාඩි වෙද්දී තුනටිය ආසන්නයෙන් තරමක ඝනකම් කුඩා කොට්ටයක් තියා ගැනීමත් හොඳයි. නිදා ගනිද්දීත් තද ලෑල්ලක තුනී ස්පොන්ජ් එකක් දාලා නිදා ගන්න එක තමයි නිවැරදි ක්‍රමය.
ලෑල්ලක් දාගෙන බිම නිදා ගන්න කියලද කියන්නේ ?
බිම නිදා ගැනීම කොහොමත් හොඳ නැහැ.
ඒ ඇයි?
වාතයේ පවතින අහිතකර වායු බරෙන් වැඩියි. ඒවා රැස් වෙන්නේ පොළොව මට්ටමට ආසන්නයේ අඩි එක හමාරක් දක්වා උසකට. ඒ නිසා ඇඳකට ලෑල්ලක් දාගෙන නිදා ගැනීම තමයි හොඳ. ගැස්සෙන, පැද්දෙන එකත් හොඳ නැහැ. නමුත් ඉතින් බස්, කෝච්චිවලත් යන්න වෙනවනෙ. අන්න ඒ නිසයි මම කියන්නේ ලෙඩ නොවී ඉන්න එක තමයි හොඳම දේ කියලා.
වයසට යාමේදී ඇතිවන දුර්වලතා සයිටිකා ආබාධයට හේතු වෙනවද?
වයසට ගියත් සමබල ආහාර වේලක් අරගෙන, ගැළපෙන ව්‍යායාම් කරන අය ආරක්‍ෂිතයි. දේශගුණ වෙනස්වීම්වලට, විශේෂයෙන්ම අධික සීතල කලාපයකට දිගු කාලයකට යන්න සිදුවීම තුළත් සයිටිකා ඇති වෙන්න පුළුවන්.
වෛද්‍යාචාර්ය සාන්ත සෙනෙවිරත්න
කැඩුම් බිඳුම් – අස්ථි සන්ධි සහ ස්නායු
රෝග පිළිබඳ විශේෂඥ දේශීය වෛද්‍ය
හොරිවිල මහ වෙද ගෙදර
අජන්ත ජයසේකර