අපේ වත්තෙ පිටියෙ වුණත් කෙසෙල් කැනක් කපා ගත්තාම ඉතිරි වෙන කෙසෙල් කඳට මොකද කරන්නෙ?පිළිතුර ඉතාම සරලයි වත්තේම කුණු වෙන්න ඉඩ හරිනවා. එහෙම නැත්නම් පුච්චනවා.
නමුත් ඔබ වත්තෙ පිටියෙ කෙසෙල් කඳ කුණු වෙන්න ඉඩ දුන්නොත් එයින් පරිසරය අපිරිසිදු වෙනවා. පුළුස්සා දැමීම නිසා පාරිසරික වශයෙන් ගැටලු ඇතිවනවා. ඉතිං මේ වගේ ගැටලු මගහැර ගෙන අස්වැන්න ලබා ගත් පසු කෙසෙල් කඳෙන් අමතර ආදායමක් ලබා ගන්න ඔබට පුළුවන්. මේ ලිපිය එහෙම කැමති අයටයි.
කෙසෙල් ගසකින් අස්වැන්න ලබා ගත් පසුව ඉවත දමන කෙසෙල් කඳන් මුදල් බවට පත් කර ගන්න පුළුවන්. අපි ඒ ගැන නොසලකා සිටියත් කෙසෙල් තන්තු යොදා ගෙන බොහෝ අතුරු නිෂ්පාදන සිදු කරන්න පුළුවන්.
ඒ විදිහට කෙසෙල් තන්තු නිස්සාරණය කර ගත හැකි යන්ත්‍රයක නිෂ්පාදන අයිතිය ඇති ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සංජීව මෙන්ඩිස්. එහෙම නම් ඉවත දමන කෙසෙල් කඳට වටිනාකමක් ලබා දෙන සංජීව විසින් නිෂ්පාදනය කරන ලද කෙසෙල් තන්තු නිස්සාරණය කිරීමට හැකියාව ඇති යන්ත්‍රය දැනගැනීමට ඔබත් සතුටු ඇති නේද?
සංජීව මෙන්ඩිස් ගැන ඔහුගේම වචනයෙන් කිව්වොත්
මගේ උපන්ගම කෑගල්ල. නමුත් හැදුණෙ වැඩුණෙ කුරුණෑගල. මම කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව පාසල් අධ්‍යාපනය අවසාන කළා.
එතැනින් පසුව මම ජලනල නිෂ්පාදන ආයතනයක වසර 20 ක කාලයක් සේවය කළා. පසුගිය කොරෝනා වසංගතයත් සමග අපේ රටට යමක් කරන්න දැන් කාලය ඇවිත් බව මට හිතුණා. ඒ නිසා මම මුලින්ම පයෙන් පාගලා වතුර ලබා ගත හැකි ( Pedal Hand Wash Tap) නිෂ්පාදනය කළා.
මේ කාලයේ අතින් ඇල්ලීමේ අවදානමක් තිබුණ හින්දා කකුලෙන් පාගා වතුර ගත හැකි මේ කරාම නිෂ්පාදන ව්‍යාපෘතිය ජනප්‍රිය වුණා. ඒ අතර මම චීන සමාගමක් ඔස්සේ යන්ත්‍රෝපකරණ උපකරණ ආනයනයට සම්බන්ධව සිටියා.
මේ නිසා මට අපේ රටට ගැළපෙන යන්ත්‍රයක් නිෂ්පාදනය කරන්න අදහසක් ඇති වුණා. ඒ හින්දා මම කෙසෙල් තන්තු නිස්සාරණය කරන මේ යන්ත්‍රය නිෂ්පාදනය කිරීම මගේ අරමුණ විදිහට තෝරා ගත්තා. මම මේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ මගේ ආයතනය CLE pvt Ltd යන සන්නාමයෙන් ලියාපදිංචි කළා.
ඔබට කෙසෙල් තන්තු ගැන වැඩි උනන්දුවක් ඇති වුණේ?
ඇත්තටම කිව්වොත් අපේ රටේ හතරවැනි ආර්ථික බෝගය කෙසෙල් වගාව. නමුත් අපි කෙසෙල් කැන අස්වැන්න විදිහට අරගෙන කඳ අපතේ හරිනවා. නමුත් තන්තු නිස්සාරණය කරගෙන විවිධ නිෂ්පාදන කරන්න පුළුවන්. කෙසෙල් තන්තු යොදා ගෙන කඩදාසි, ලණු, රෙදි, පාවිච්චියෙන් පසු ඉවත දමන පිඟන් සහ කෝප්ප, මේස දරණු, බනානා චිප්ස් සහ විවිධ විසිතුරු නිර්මාණ හදන්න පුළුවන්.
ඊට අමතරව කෙසෙල් තන්තු අරගෙන එතැනදී බැහැර කරන දේ යොදා ගෙන කෙසෙල් කොම්පෝස්ට්, ද්‍රව පොහොර ලබා ගැනීමට වගේම සත්ත්ව ආහාර විදිහටත් යොදා ගැනීමටත් පුළුවන්. ජපානයේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ කෙසල් තන්තු වලින්.
ඇඹිලිපිටිය ගල්නෑව වැනි ප්‍රදේශ කෙසෙල් වගාවට ඉතා ප්‍රසිද්ධයි. ව්‍යාපාරික මට්ටමින් කෙසෙල් වගා කළත් අතුරු නිෂ්පාදනයක් විදිහට කෙසෙල් කඳ නිස්සාරණයයෙන් තන්තු ලබා ගැනීමේ තාක්ෂණය දන්නේ නැහැ. ඒ නිසා සින්තටික් යොදා ගෙන විවිධ නිෂ්පාදනයන්හි යෙදෙන කාන්තාවන් පූජා නගර ආශ්‍රිතව අපට නිතරම හමු වෙනවා.
නමුත් ඔවුන් මේ කෙසෙල් තන්තු අමුද්‍රව්‍ය විදිහට යොදා ගෙන තමන්ගේ නිෂ්පාදන කරනවා නම් කෙසෙල් ව්‍යාපාරිකයන්ටත් අමතර ආදායමක් ලැබෙනවා. නිවෙස්වල සිටින කාන්තාවන්ටත් ස්වයං රැකියාවක් විදිහට තන්තු යොදා ගත් නිෂ්පාදන වෙනුවෙන් ඉතා පහසුවෙන් යොමු වෙන්න පුළුවන්.
කෙසෙල් තන්තු යොදාගෙන කරන නිෂ්පාදනවල පැවැත්ම කෙසේද?
කෙසෙල් තන්තුවලින් නිෂ්පාදනයක් කළොත් එය පොළොව යට වැළලුවොත් මිසක් දිරාපත් වීමක් සිදුවෙන්නේ නැහැ. අපි කෙසෙල් තන්තු නිස්සාරණය කරද්දී දියර කොටස පොහොර විදිහට වෙනම ලබා ගෙන ඒවා දියර පොහොර විදිහට පැකට් කරලා අලෙවි කරනවා.
එයත් එක් අතකින් අමතර ආදායමක්.ඒ වගේම රසායනික භාවිතයෙන් තොර පරිසර හිතකාමී පොහොර වර්ගයක් විදිහට වගා කටයුතුවලට යොදා ගැනීමටත් හැකියාව තිබෙනවා.
මෙම යන්ත්‍රයක් මගින් ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් කරගෙන යෑමේ හැකියාව තිබෙනවාද
අවශ්‍ය කෙනෙකුට මගේ ආයතනයේ කෙසෙල් තන්තු නිස්සාරණය කරන යන්ත්‍ර ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මේ යන්ත්‍රයෙන් ස්වයං රැකියාවක් කරන නිසා විවිධ බැංකුවලින් ණය ලබා ගන්නත් පුළුවන්.
ඊට අමතරව “ විදාතා ” වැනි මධ්‍යස්ථානවලින් ගෘහස්ථව කාන්තාවන්ට කළ හැකි ස්වයං රැකියා ගැනත් පුහුණුව වගේම දැනුවත්වීම් ලබාදෙනවා. මේ එක් යන්ත්‍රයකින් දිනකට කෙසෙල් කෙඳි කිලෝ 12 ක් ද ද්‍රව පොහොර ලීටර් 100 ක් ද කොම්පෝස්ට් හෝ සත්ත්ව ආහාර කිලෝ 250 ක් පමණ ලබා ගන්න පුළුවන්.
මෙම යන්ත්‍රය සඳහා විදේශීය රටවලින් ඉල්ලුමක් තිබෙනවාද?
ඔව් ඉන්දියාව වැනි රටවල්වල කෙසෙල් තන්තු නිස්සාරණය කිරීමේ ව්‍යාපාරවල දිගු අතීතයක් තිබෙනවා. අප්‍රිකානු රටවල්වලත් කඩදාසි, කාන්තාවන්ගේ කොණ්ඩා සැරසිලි වෙනුවෙනුත් යොදාගන්නවා.
අපට වඩා අතීතයක් ඇති විදේශ රටවලින් ඔබේ කෙසෙල් තන්තු නිස්සාරණය කිරීමේ යන්ත්‍රයට ඉල්ලුමක් ලැබෙන්නේ ඇයි?
ඉන්දියාවට සාපේක්ෂව බලන විට මම නිෂ්පාදනය කරන යන්ත්‍රයේ මිල අඩුයි. ඒ නිසා මගේ යන්ත්‍රය වෙනුවෙන් ඉන්දියාව සහ ටැන්සානියාවෙන් වැඩි ඉල්ලුමක් ලැබෙනවා.
විදේශ ඉල්ලුමක් ලැබෙනවා නම් ලාංකිකයෙක් විදිහට එය ඔබට අභිමානයක් නේද?
කොහොමත් අපි අභිමානවත් ජාතියක්. වචනයට කියනවා වගේ කාන්තාරේ ගල් මිරිකල වතුර ගත හැකි ජාතියක්. ඒ වගේම තද කළු ගල් ඉටි වගේ දිය කරලා පිළිම නෙලූ ජාතියක්. නමුත් අද අපි එතෙරට දත නියවන ජාතියක් බවට පත් වෙලා.
අපි අලුත් නිෂ්පාදනයක් කළත් ඒවාට රාජ්‍ය මට්ටමින් උදව්වක් නැහැ මගේ ඉලක්කය මේ වගේ යන්ත්‍ර 12 000 ක් නිෂ්පාදනය කිරීම වුණත් ඒ ඉලක්කය මට තනියෙන් ජය ගන්න බැහැ. මම තාක්ෂණය ලබා දෙන්න සූදානම්. ඒ නිසාම මම මේ වෙනුවෙන් පේටන්ට් ඉල්ලුම් කළෙත් නැහැ. කැමති කෙනෙකුට තාක්ෂණය ලබා දෙන්න මම සූදානම්.
මේ කෙසෙල් තන්තු නිස්සාරණය කිරීමේ යන්ත්‍රය හඳුන්වා දීමෙන් මම බලාපොරොත්තු වුණ අරමුණු කීපයක් තිබෙනවා. කෙසෙල් වගා කරුවන්ට වගේම ඊට සම්බන්ධ අයට අතිරේක ආදායම් මාර්ගයක් උපයා ගැනීමට හැකියාවක් මෙයින් ලැබෙනවා.
කාබනික දියර පොහොර හා කොම්පෝස්ට් පොහොර භාවිතයට කෙසෙල් වගාකරුවන් යොමු කිරීම මගින් පොහොර වෙනුවෙන් වැය වෙන මුදල් අවම කර ගැනීම ඒ වගේම ඔවුන්ගේ නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයකින් වෙළෙඳපොළට ලබා දීමට හැකියාවකුත් මේ නිසා ලැබෙනවා.
අලුත් රැකියා අවස්ථා ද ලැබෙනවා. ඒ වගේම නිවසේ සිටින කාන්තාවකට මේ යන්ත්‍රයක් මිලට අරගෙන තන්තු නිෂ්පාදනය වගේම දියර පොහොර අතුරු නිෂ්පාදනයක් විදිහට ස්වයං රැකියාවක යෙදෙන්න පුළුවන්.
මගෙන් යන්ත්‍ර මිලට ගත් කාන්තාවන් අතර දැන් සාර්ථක ව්‍යවසායිකාවෝ බිහිවෙලා. නිවසේ ඉඳන්ම අතිරේක ආදායමක් ලබමින් පවුලේ ආර්ථිකයට දායකත්වයක් ලබා දීමේ හැකියාවත් ලැබෙනවා.
ආනයන සීමා කිරීමට හැකියාවක් ලැබෙන අතර අපනයන ආදායම වැඩි කර ගැනීමටත් පුළුවන්.ඒ නිසා අපිත් අපනයන කටයුතුවලදී නිර්මාණශීලීව විවිධාංගීකරණයන් ලෝකයට හඳුන්වා දීම අවශ්‍යයි. දැන් ඒ වෙනුවෙන් හොඳම කාලය ඇවිත්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️