භාෂි හෝම් ඩෙකරේෂන්ස් යන සන්නාමයෙන් තම ව්‍යාපාරය පවත්වා ගෙන යන ඇය සුභාෂිණී කුලරත්න. වයස අවුරුදු 25 ක් කියන්නේ දැරියකගේ ජීවිතයේ බොහොම සුන්දර අවධියක්. මේ යුගයේ බොහෝ දියණියන් යොමු වෙන්නේ රුපලාවන්‍ය, මෝස්තර කලාව, ඉවුම් පිහුම් වැනි කටයුතුවලට වුණත් සුභාෂිණීගෙ ඉලක්කය ඊට වඩා වෙනස් එකක්. ගොරහැඩි ලෑල්ලක් සුමට කරමින් අලුත් නිර්මාණයක් කරන ඇගේ මේ හැකියාව ගැන ඔබත් දැන ගැනීමට සතුටු ඇති. එහෙමනම් අපි ඇගේ වචනයෙන්ම මේ කතාව පටන් ගනිමු.
හුඟක් දෙනෙක් මාව දන්නේ භාෂි කියන නමින්. මමත් මේ නමට ආදරෙයි. මම පුංචි කාලයේ ජීවත්වුණෙ පිළිමතලාවේ. අපේ අප්පච්චි මේ ප්‍රදේශයේ ලී බිස්නස් එකක් පවත්වාගෙන ගියා. ඒ නිසා මම පුංචි කාලයේ පිළිමතලාවේ ධීරානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. අපේ අප්පච්චිගේ ගම තලාතුඔය. ඒ නිසා අපි තලාතුඔය ප්‍රදේශයේ ස්ථිර පදිංචියට ගියා. එතැනින් පසුව මම සාමාන්‍ය පෙළ විභාගය දක්වා අම්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සඳහා තලාතුඔය මධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වුණා.
උසස් පෙළ සමත් වීමෙන් පසුව
මම ඊට පසුව අනුරාධපුර කෘෂිකර්ම විදාලයෙන් NVQ 5 සහ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙන් NVQ6 NVQ 6 Higher National Diploma of agriculture production Tecnolgy පාඨමාලාව සම්පූර්ණ කළා. සුදුසුකම් සපුරා ගැනීමෙන් පසුව මම පෞද්ගලික අංශයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනය රැකියාවක් සඳහා සම්බන්ධ වුණා. දැනටත් මම මේ ආයතනයට සම්බන්ධව සේවය කරනවා.
කෘෂිකර්ම විෂයට සම්බන්ධව ඉගෙනුම් කටයුතු සහ රැකියාවක් කරමින් මේ වගේ දැව ආශ්‍රිත කර්මාන්තයකට යොමු වීමට හේතුව
අපි ඉගෙන ගන්න දෙයින්ම රැකියාවක් කරන්න ඕන කියල නියතයක් කොතනකවත් නැහැනෙ. ඒ වගේම වඩු වැඩ කර්මාන්තය ගැන මම කිසිම පුහුණුවක් ලබා ගෙන නැහැ. මගේ මුල් ගුරුවරයා මගේ අප්පච්චි. අපට වඩු මඩුවක් තිබුණා. මම පුංචි කාලයේ ඉඳන්ම සෙල්ලම් කළේ ලී සමග කිව්වොත් නිවරැදියි. අප්පච්චි වැඩ කරන කොට මම බලාගෙන හිටියා. පුංචි පුංචි අත් උදව් දුන්නා. මගේ එකම සෙල්ලම් ගෙය වුණේ අපේ වඩු මඩුව.
ඔබ ව්‍යාපාරික තලයට යොමුවුණේ කොහොමද?
මම දැනට මේ ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු එක හමාරක් පමණ වෙනවා. මුලින් මම දන්නා අඳුනන අයට යම් නිෂ්පාදන හදල දුන්නා. ඉතින් මේ විදිහට කරද්දී මට හිතුණා මේ කටයුත්ත ව්‍යාපාරික මට්ටමින්ම පටන්ගන්න. ඒ නිසා මම ෆේස්බුක් හරහා දැන්වීමක් දැම්මා. ඒ අනුව ලැබෙන ඇනවුම් බාර ගෙන අලෙවි කරන්න පටන්ගත්තා.
ෆේස්බුක් හරහා කළ ව්‍යාපාර කටයුතු කොහොමද?
ෆේස් බුක් පේජ් එක හරහා මට යම් යම් ඇනවුම් ලැබුණා. නමුත් ව්‍යාපාරයක් ප්‍රවර්ධනය වෙන තරමට ඒ ඉල්ලුම මදි බව මට හිතුනා. ඊට පස්සේ මම “Tik Tok” එකක් කළා. මම හිතුවටත් වඩා මේ “Tik Tok” එක ජනප්‍රිය වුණා. දැන් මට විශාල වශයන් ඇනවුම් ලැබෙනවා.
ඔබේ ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂය වුනේ “Tik Tok” ද ?
සහතිකවම ඔව්. “Tik Tok” ඉතාම හොඳ විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ ගැන අපි දැනුවත් වීම වැදගත්.සමාජ මාධ්‍ය ජාලා තුළ තමන්ගෙ නම ගොඩනගා ගන්න හොඳම අවස්ථාවක් නමුත් අපි හරි විදිහට භාවිත කිරීමයි වැදගත්.
මමත් ගැහැනු ළමයෙක් නිසා මටත් ප්‍රශ්න එනවා. මිනිස්සු කිව්වාම හැම දෙනාම එක වගේ නැහැ. හොඳ අය අතරේම යම් යම් දුර්වල මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් එහෙම ප්‍රශ්න එනවා. නමුත් අපි ඒවා සමග ගනුදෙනු කිරීමේදී බුද්ධිමත්ව හැසිරීම ඉතාම වැදගත්. සමහර හිත් හරිම සුන්දරයි. වඩු කාර්මික ශිල්පීන් මට කතා කරල ඒවායේ අඩු පාඩු පෙන්වා දෙනවා. සමහර ශිල්පීන් මට පහසු ක්‍රම කියලා දුන්නා.
ඉතින් මේ හැම දෙයක් වෙනුවෙන් මට දොරටු විවෘත වුණේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බව කියන්නම ඕන. ඒ වගේම දැනටත් මට ඇනවුම් බොහොමයක් ලැබෙන්නේ ඔන්ලයින් හරහා. තමන්ට අවශ්‍ය මෝස්තරය දුන්නාම දින 10 ක් පමණ කාලයකින් පසුව ඒ අයගේ නිෂ්පාදනය ලබා දෙන්න මට පුළුවන්. ලොකු ඇනවුමක් ලැබුනාම අප්පච්චිත් හවුල් කරගෙන කටයුතු කරනවා.
ඔබ වගේ සුන්දර යුවතියක් මේ ගොරහැඩි යන්ත්‍ර අතර ගැටෙන්නේ කොහොමද?
දෙයියන්නේ පිහිටයි කියලා තවම මට කිසිම ලොකු අනතුරක් වෙලා නැහැ. එක දවසක් නම් යන්ත්‍රයට ලෑල්ලක් දානකොට ඇවිත් පයේ වැදුණා. කාලයක් පුරා වැඩ කරන අයටත් යන්ත්‍ර සමග කටයුතු කරදදි අනතුරු සිද්ධ වෙනවා. නමුත් මම බොහොම පරිස්සමින් මේ කටයුතු කරනවා.
මගේ දැවැන්ත ශක්තිය අප්පච්චි. ඒ නිසා මම සුරක්ෂිතව මේ කර්මාන්තය කරනවා. පුංචි කාලයේ පටන්ම ඇණයක් වුණත් ගහන හැටි, යන්ත්‍රය සමග කටයුතු කරන හැටි මට කියල දුන්නා. කවදාවත්ම මට මේ කටයුතු කරන්න එපා කිව්වේ නැහැ. අදටත් මගේ එකම මාර්ගෝපදේශකයා මගේ අප්පච්චි. ඒ අත්දැකීම් හරිම සුන්දරයි. මම කැමැති දේ ඉගෙන ගත්තා. අදටත් මම ඉගෙන ගනිමින් සිටිනවා.මම යන මාර්ගය මට පාදලා දෙන්න අම්ම අප්පච්චි උදව් වුණා. මම යන මාර්ගයෙන් ඉවතට අරගෙන අපට ඕන මාර්ගයක යන්න කිව්වේ නැහැ. අම්මා අප්පච්චි මට සහයෝගය නුදුන්නා නම් අද මම මේ තැන නැහැ.
ඔබ වඩු කර්මාන්තයේ නියැළීම ගැන මව්පියන්ගේ අදහස
මම උසස් අධ්‍යාපනයක් ලබාගෙන වඩු කර්මාන්තයේ නියැළීම ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. නමුත් මම ඉතාම සතුටින් මගේ කර්මාන්තය ගැන කතාකරනවා. අපේ රටේ වඩු කාර්මාන්තයට සමාජ පිළිගැනීමක් නැති වුණාට විදේශීය රටවල මේ සඳහා විශාල පිළිගැනීමක් තියෙනවා. අපේ රටේ ඒ අභිමානය මෙම කර්මාන්තයට නැති බව නම් කනගාටුවෙන් වුණත් කියන්න ඕන. සමහර දරුවන් පවා තමන්ගේ පියා වඩු කාර්මිකයෙක් කියන්න ලැජ්ජයි. නමුත් මේ වෘත්තීය බොහොම වටිනා ශිල්පයක්. ඒ වගේම කලාවක්. වඩු කාර්මික ශිල්පීන් අතර බොහෝ විට අපි එදිනෙදා ජීවිතයේ දකින්නේ පුරුෂ පක්ෂය කිව්වොත් එය වඩාත් නිවරැදියි.
දැන් ඔබ ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ සිටින නිසා අධ්‍යාපන කටයුතුවලින් දුරස් වෙලාද?
නැහැ. මම දැනට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ Agriculture and Plantation Managment උපාධිය හදාරනවා. වඩු කර්මාන්තය කියන්නේ කලාවක්. හැම කලාවක්ම පිරිමින්ට, ගැහැනුන්ට කියල ලියාපදිංචියක් නැහැ. කලාවක් කරන්න අපි ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ. දැවයෙන් කළත් යකඩෙන් කළත් කලාවක්. මට මේ කලාවේ නිරත වෙන්න කිසිම බාධාවක් නැහැ. මගේ අම්ම අප්පච්චි, නංගි, මල්ලි වගේම මගේ අනාගතය බාර ගැනීමට සිටින ඔහු විතරක් නොවේ එයාගේ මව්පියන් පවා මට උදව් වෙනවා. මගේ ගුරුවරුත් මට ලොකු ශක්තියක් ලබා දුන්නා. මම දැනට සේවය කරන ආයතනයේ මගේ ප්‍රධානීන් පවා මට සහයෝගයක් ලබා දෙන බව කියන්නම ඕන. ඉතින් ඒ හැම දෙනාම බොහොම ආදරයෙන් සිහිපත් කරනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️