තමන්ගෙ මහත තමන්ට ප්‍රශ්නයක් නොවුණත් ඒ මහත යාලුවො ප්‍රශ්නයක් කරගත්ත නිසා ස්ලිම් වෙන්න හිතාගෙන ජිම් එකකට ගිය ඔහු එය හැරවුම් ලක්‍ෂ්‍යය කරගෙන ජයග්‍රහණ රැසක් හිමිකරගන්නවා. එතනින් නොනවතින ඔහු උපන් රට නියෝජනය කරමින් කීර්තියක් අත්කර දෙන්නට තරම් දිරිමත් වෙනවා.මිතුරන්ගේ උසුළු විසුළු මැද පවර් ලිෆ්ටින් ක්‍රීඩාවට යොමුවුණ හැටි සුලේෂ් මෙන්ඩිස් නවලියට කිව්වෙ මේ විදියට…
වයස අවුරුදු 13 ක් වෙද්දි මගේ බර කිලෝ 117 ක් වෙලා තිබුණා. ඉස්කෝලෙ හිටපු මහතම ළමය මම. තාත්ත වෛද්‍යවරයෙක්. ඔහු මට නිතරම කිව්වා බර අඩු කරගන්න ඔයාගෙ වයසට ඔය බර හොඳටම වැඩියි කියල. ඕක අහගෙන ඉඳල අම්මා මට වෙනද දෙන කෑම එකෙන් භාගයක් දෙන්න පටන් ගත්තා. එහෙම කළේ ආදරේට වුණත් ඇත්තටම ඒ දෙන ප්‍රමාණයෙන් මගේ බඩ පිරෙන්නෙ නැති නිසා මම පන්තියේ හැම ළමයගෙම කෑම එකෙන් කන්න පටන් ගත්තා. ඔය අතරෙ මගේ යාලුවො හැමෝම ඉස්කෝලෙදි බස් එකේදී මඟතොටේදි මට සුලේෂ් කියන්නෙ නැතුව තඩිය, අලිය කියන්න පටන් ගත්තා. ඒ ගැනත් මගේ හිතේ පුංචි අවුලක් තිබුණා. ඒත් ඇඟ අඩු කර ගන්න ඕනෙ කියල ලොකු උනන්දුවක් තිබුණෙ නෑ.
දහය වසරෙ ඉගෙන ගන්න කාලෙ පන්තියෙ යාළුවො ෆ්‍රී ටයිම් එකක් ආපු ගමන් ජිම් යන්න ඇඟ හදාගන්න වගේ මාතෘකා කතා කළේ පිස්සුවෙන් වගේ. ඇඟපත මහත බරින් වැඩිම ළමය වුණාට ජිම් පිස්සුව මට ආවෙ මගේ යාළුවන්ගෙන්. හැබැයි පිටට පෙන්නුවෙ නැති වුණාට මගේ යටිහිතේ තිබුණ තඩිය, අලිය කියන නම් දෙක වෙනස් කරල සුලේෂ් කියන නම ඒ අයගෙ කටින් අහගන්න ඕන කියල.
පස්සෙ මම තාත්තට කියල මොරටුවෙ අපේ ගෙවල් පැත්තෙ ජිම් එකකට ඇතුළත් වෙලා ව්‍යායාම කරල කිලෝ 117 ට තිබුණ මගේ බර කිලෝ 79 දක්වා අඩු කරගත්තා. ඒ වෙද්දි මම තෙල් කෑම පිටි කෑම වලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙලා අඩුවෙන් කෑම කන්නත් පුරුදු වෙලයි හිටියෙ. ඇඟ මහන්සි වෙන්න වැඩියෙන් ෆුට් සයිකල් පැද්දා. ඒ අතරතුර සම්පූර්ණයෙන්ම කිලෝ 45 කින් බර අඩු වෙලා එකපාරටම මම කෙට්ටු වුණේ බැලුමකින් හුලං බැස්ස වගේ. එහෙම වෙලා ශාරීරික වශයෙන් ලොකු සැහැල්ලුවක් දැනුණත් බර අඩු වීම තවත් පැත්තකින් මානසික පීඩාවක් වුණා.
ඒකට හේතුව වුණේ ඉස්සර මම මහත වැඩියි තඩිය, අලිය කියපු හැමෝම අඩෝ උඹ කෝට්ටක් වගේ ගංජ ගහනවද ඩයබෙටිස් ද දන්නෑ පොඩ්ඩක් බලපන් ඇදිල ගිහිල්ල වගේ කතන්දර නිතර දෙවේලෙ කියන්න පටන් ගත්තා. වසගානෙ ඒ කතා අහද්දි මට ලැජ්ජ හිතුණා. ඒ ලැජ්ජාව නිසාම තමයි මම හිතාගත්තෙ වේට්ස් කරල ආයෙමත් තිබුණ වගේ ඇඟ හදාගන්න ඕනෙ කියල. පස්සෙ මම එක දිගට අවුරුද්දක් විතර ඒ වෙනුවෙන් මහන්සි වුණා. දවසට බිත්තර 12 – 16 ක් කෑවා. ඒ ගැන ඕනවට වඩා උනන්දු වෙවී ඒ පස්සෙම යද්දි අම්මයි තාත්තයි මම ඉගෙනීමේ කටයුතු අතපසු කරගනියි කියල ජිම් යන එක නතර කරන්නම හැදුවා. මුලින් ඇඟ කෙට්ටු කරගන්න ජිම් යන්න දුන්නට ආපහු මහත් වෙන්න දඟලන එකට ඒ අයගෙ කැමැත්තක් තිබුණෙ නෑ. ඒත් මම ඒ ගමන නතර කළේ නෑ.
දවසක් මට කිව්වා ජිම් ගියොත් ආයෙ ගෙදර එන්න එපා කියල. ඒ විදියට බය කරල මාව නවත්තන්න හැදුවත් මම එදා දවසෙත් ජිම් ගියා. හැබැයි ගෙදර එන්නෙ නැතුව එදා රෑ නෑදෑ ගෙදරක නතර වුණා. පස්සෙ අම්මල බය වෙලා හැම තැනම හොයද්දි එයාල මාව ගෙනත් බාර දුන්නා. එදා මම අම්මලාට කිව්වා අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර ගන්නෙ නෑ ඒත් ඔයාල මගේ ආසාවට පවර් ලිෆ්ටින් කරන්න නොදුන්නොත් මම ඉගෙන ගන්නෙත් නෑ කියල.
මම එහෙම කිව්වෙ අම්මට තාත්තට මුරණ්ඩු වෙලා නෙමෙයි පවර් ලිෆ්ටින් කරන්න මගේ හිතේ තිබුණ ආසාව වැඩි කමට. එදා එයාල තේරුම් ගත්තා මාව මේ ක්‍රීඩාවෙන් ඈත් කරන්න බෑ කියල. හැබැයි නිතරම මගේ අධ්‍යාපන කටයුතු ගැන ඇහැගහගෙනයි හිටියෙ. මොකද අම්මා ගුරුවරියක්නෙ.
එහෙම යන අතරෙ ජිම් එකේ හිටපු අයිය කෙනෙක් ඇවිත් ඇහුව මල්ලි ඔයා මෙච්චර බර උස්සනව ඇයි කම්පෙටිෂන් එකකට ඉදිරිපත් නොවෙන්නෙ කියල. ඔහු තමයි මාව මුලින්ම කම්පෙටිෂන් එකක පෆෝම් කරන්න යොමු කළේ. ඒ බෙන්ච් ප්‍රෙස් නැෂනල් කම්පෙටිෂන් එක. බණ්ඩාරගම පැවැත්වුණු ඒ මීට් එකේදි මම කිලෝ 112 1/2 ක් උස්සල ජාතික වාර්තාවක් තිබ්බා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 16 යි.
ඒ මෝටිවේෂන් එකත් එක්ක මම තව තවත් පවර් ලිෆ්ටින්වලට ඇබ්බැහි වුණා. ඒ ගැන වැඩිදුර හොයද්දි මට දැනගන්න ලැබුණා ලංකාවෙ තැන් දෙකකයි පවර් ලිෆ්ටින් කරන්න ප්ලේට්ස් තියෙන්නෙ. එයින් එකක් High Octane අනිත් Colombo Crossfit කියල. හැම අතින්ම පහසු නිසා මම High Octane තෝරගත්තා. ඉගෙන ගන්නෙ කොළඹ සෙන් පීටර්ස් කොලේජ් එකේ නිසා ඉස්කෝලෙ ඇරිල මෙතෙන්ට එන්න හරිම ලේසියි. උපරිම කැප වෙලා සතියට දවස් 6 ක් මම ටේනින් කරනවා. ඒ අතරෙ අධ්‍යාපන කටයුතුත් බැලන්ස් එකේ කරගෙන යනවා.
සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා මේ වෙද්දි බයෝලොජි, ෆිසික්ස්, කෙමෙස්ට්‍රි සබ්ජෙක්ට් ඉගෙන ගන්නවා. කවදහරි මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනෙ කියන තැනත් මම ඉන්නවා. විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතු නිසා ආබාධිත තත්ත්වයට පත් වෙන අයට ප්‍රතිකාර කරන්න. මමත් ක්‍රීඩාව තුළ ගොඩක් ඉන්ජරීස්වලට මුහුණ දීපු කෙනෙක්. ඒ අසරණකම මට හොඳින් දැනෙනවා.
ගිය අවුරුද්දෙ මාර්තු මාසෙ බණ්ඩාරගම පැවැත්වුණ මීට් එකෙන් ලබපු ජාතික වාර්තාවට පස්සෙ අගෝස්තුවල බෙන්ච් ප්‍රෙස්, ඩෙට් ලිෆ්ට්, ස්කොට් කියන ඉවෙන්ට්ස් තුනෙන්ම ජාතික වාර්තා පිහිටුවන්න මට හැකියාව ලැබුණා. ඊට අමතරව මම 18 න් පහළ ක්‍රීඩකයෙක් වුණාට 23 න් පහළ ජාතික වාර්තාවකුත් පිහිටුවන්න තරම් දක්ෂ වුණා.
ඒ ලබපු ජයග්‍රහණත් එක්ක ගෙදරින් මගේ ක්‍රීඩා කටයුතුවලට ලොකු සහයෝයක් ලැබෙන්න පටන් ගත්තා. මට අවශ්‍ය ප්‍රෝටීන් වැඩි කුකුල් මස් බිත්තර වගේ කෑමත් විටමින් වර්ගත් අම්මල ගෙනත් දෙනවා. බොහෝ වෙලාවට කෑම අවශ්‍ය විදියට හදාගන්නෙ මම ඒ දැනුම මට තියෙනවා. මේ අවුරුද්දෙ දෙසැම්බර්වල ඒෂියන් චැම්පියන් ෂිප් තරගාවලිය මැලේසියාවේ පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගි වෙලා ආසියානු වාර්තාවකට යාමේ ඉලක්කය තියාගෙනයි මම දැනට පුහුණුවීම්වල යෙදෙන්නෙ.
ඒ කම්පෙටිෂන්වලට යන්න නම් මගේ බර කිලෝ 93 ත් 105 ත් අතර පවත්වාගෙන යන්න ඕන. 105 පැන්නොත් මිස් කොලිෆයිඩ් වෙනවා. ඒ නිසා නිතරම ඒ ගැන උනන්දුවෙන් ඉන්න ඕනෙ. මොකද මේ ක්‍රීඩාවෙ යෙදෙන්න මූලික සුදුසුකම තමයි ශරීරයේ බර නිසි ලෙස පවත්වාගෙන යෑම.
පාසැල් ශිෂ්‍යයෙක් විදියට මගේ කැපවීම සහ දක්ෂතාවය හඳුනාගෙන ජිම් එකේ හිමිකරු වන ඩැරින් වීරසිංහ මහත්මා ලොකු සහයක් ලබා දෙනවා. ඒ වගේම ප්‍රමෝද් ප්‍රනාන්දුත් මේ හැමදේකටම මාත් එක්ක ඉන්නවා. පවර් ලිෆ්ටින් ක්‍රීඩාව හරහා මෙතෙක් කිසිම ක්‍රීඩකයෙක් ලෝක ශූරතාවය ලංකාවට හිමිකර දීලා නෑ. අන්න ඒ නිසා මගේ එකම බලාපොරොත්තුව අපේ රටට එවැනි ජයග්‍රහණයක් හිමිකර දීමයි. ඒ වෙනුවෙන් තමයි මම මේ හැම කැපවීමක්ම කරන්නෙ.
ධම්මික හේවාවසම්