දරුවන් තුළ කියවීමේ පුරුදු ගොඩනැගීම අප සිතන තරම් පහසු නැහැ. සමහර අවස්ථාවලදී මව්පියන් කොතරම් උනන්දු වුණත් දරුවන් පොත් පත් කියවීම වෙනුවෙන් එතරම් සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ. නමුත් බාලේ පටන් පොත් පත් වෙනුවෙන් ආලේ ගොඩනැගුවොත් දරුවන්ගේ බුද්ධිය සංවර්ධනය වන බැව් මේ වනවිට විවිධ අධ්‍යයනයන් මගින් පෙන්වා දෙනවා. පොත් පත් කියවීමට උනන්දුවක් නැති දරුවන්ට සාපේකෂව බලන විට පොත් පත් කියවන දරුවන් නව යොවුන් වයසට පත් වනවිට ඔවුන්ගේ සංජානන හැකියාව, මානසික සෞඛ්‍ය වඩාත් දියුණු තත්ත්වයකට පත් වෙන බවත් ඔවුන් සඳහන් කරනවා. බාල කාලයේදී කියවීමේ පුරුදු සාර්ථක ලෙසින් ගොඩනගා ගත් දරුවන් යොවුන් වියේදි ඉතා සාර්ථක ලෙසින් ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු පවත්වාගෙන යෑමට යොමු වෙනවා.
■ චතුර්විධ කුසලතාවයන්
කියවීම, ලිවීම, සවන්දීම සහ කථනය යන චතුර්විධ කුසලතාවයන් පදනම් කරගෙන අපි භාෂාමය හැකියාවක් මනිනවා. ඒ අනුව විනෝදය වෙනුවෙන් පොත් පත් කියවන දරුවන් සවන්දීම සහ භාෂාවක් චතුර ලෙසින් කතා කරන දරුවන්ට වඩා අනාගතයේදී ඉදිරියෙන් සිටින බැව් දැන් පැහැදිලිව පෙනී ගොස් තිබෙනවා.
දරුවෙකුගේ මොළයෙ වර්ධනය වෙන කාලයේදී ඔවුන්ගේ හැසිරීම් රටාව හෙවත් චර්යාමය පුරුදු යහපත් ලෙසින් ගොඩ නැගණොත් ඒ තත්ත්වය සංජානන සංවර්ධනයට මෙන්ම මොළයේ නිරෝගිතාවයටත් හේතු වෙනවා. නමුත් දරුවෙකුගේ කියවීම් පුරුදු ගොඩනගා ගත යුතු වයස ගැන නම් ඔවුන්ටත් නිශ්චිතව හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සහ චීනයේ වෝර්වික් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් මේ වෙනුවෙන් දරුවන් 10,000 ක් සම්බන්ධ කරගත්තා. තෝරාගත් දරුවන්ගේ බුද්ධිය මැනිම සඳහා විවිධ ක්‍රමවේද තෝරා ගත්තා. මෙම නියැඳියට අදාළ දරුවන් වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා, සංජානන පරීක්ෂණ, අභියෝග්‍යතා බුද්ධි පරීක්ෂණ සහ චර්යාමය ඇස්තමේන්තු ලබා ගත්තා. ඊට අමතරව මෙම දරුවන්ගේ මොළය ආශ්‍රිත ස්කෑන් පරීක්ෂණත් ලබා ගත්තා. වයස අවුරුදු දෙකේ සිට අවුරුදු නවය දක්වා වූ කාලයේදී කියවීමට හුරු වුණ දරුවන් බාල කාලයේ පටන් කියවීම විනෝදාංශයක් ලෙසින් පවත්වා ගෙන නොගිය දරුවන්ට වඩා ඉදිරියෙන් සිටි බව අවසානයේදී ලබා ගත් දත්ත අධ්‍යයනයේදී ඔවුන්ට පැහැදිලිව පෙනී ගොස් තිබුණා. මෙම අධ්‍යයනය සඳහා දරුවන් 10,243 ක් තෝරා ගත් අතර එයින් 48% ක් දෙනාටම කියවීම පිළිබඳ එතරම් අත්දැකීම් තිබුණේ නැහැ. බාලකාලයේ පටන් විනෝදය වෙනුවෙන් පොත් පත් කියවීමට හුරු වී සිටි දරුවන් යෞවන අවධියේදී ධනාත්මක හැකියාවන් පෙන්නුම් කිරීමට සමත් වුණා.
■ මවුපියන් සහ ගුරුවරුන්ද සම්බනධ කර ගත්තා
සායනික පරීක්ෂණ වලින් පමණක් මෙම අධ්‍යයන කණ්ඩායම නැවතුනේ නැහැ. නියඳි වෙනුවෙන් තෝරා ගත් දරුවන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන්ද සම්බන්ධ කර ගෙන දරුවන්ගේ චර්යාමය තත්ත්වයන් ගැන කරුණු විමසා සිටියා. ගුණාත්මක දත්ත මගින්ද පෙනී ගිය අන්දමට මෙම දරුවන් තුළ මානසික වෙහෙසකර බව සහ ඉගෙනුම වෙනුවෙන් අවධානය දැක්වීමේ දුර්වලතාවයන් ඉතා සුළු වශයෙන් දක්නට ලැබුණා.
■ තිරය සමග ගනුදෙනු නැහැ
විනෝදය වෙනුවෙන් පොත් පත් කියවන දරුවන් රූපවාහිනිය, ජංගම දුරකථනය හෝ පරිගණකය වැනි විද්‍යුත් මෙවලම් වෙනුවෙන්ද ඉතා අඩු නැඹුරුතාවයක් දැක්වූ අතර කිසිසේත්ම තමන්ගේ ජීවිතයට බලපෑම් එල්ල වන අන්දමින් ඇබ්බැහි වීම් දක්නට ලැබුණේ නැහැ. ඔවුන් විද්‍යුත් උපාංග වෙනුවෙන් ගනුදෙනු කිරීම සති අන්තයට සීමා කළා. නිතරම සුවදායක නින්දක් ලබා ගැනීමට යොමු වුණා. එයින් අනතුරුව පර්යේෂකයන් විසින් මෙම දරුවන්ගේ ස්කෑන් පරීක්ෂණ අධ්‍යයනය කළා. එහිදී පෙනී ගියේ බාල කාලයේදී ඔවුන් හඳුනාගත් අන්දමට තීරණාත්මක කාර්යන් ඉටු කරන මොළයේ ප්‍රදේශයන්හි ධාරිතාවයත් යහපත් මටට්මක පැවැතුණා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සඳහන් කරන අන්දමට පොත් පත් කියවීම එක්තරා ආකාරයක රසවත් අත්දැකීමක්. මේ කියවීමේ පුරුදු නිසා සහකම්පනය ඇති කරන අතරවාරයේදීම මානසික වෙහෙස බොහෝ දුරට අඩු කිරීමට පවා හේතු වෙනවා.
■ පොත පත කියවන කාලය
දරුවෙකු අතිරේක ලෙසින් එහෙම නැත්නම් විනෝදාංශය සඳහා පොතක් කියවීම වෙනුවෙන් කොපමණ කාලයක් මිඩංගු කළ යුතුද යන්න දැන් ඔබේ සිතට නැගෙන ප්‍රශ්නයක් විය හැකියි. පර්යේෂකයන් සඳහන් කරන අන්දමට සතියකට පැය 12 ක පමණ කාලයක් අතිරේක කියවීම් වෙනුවෙන් යෙදවීම හොඳටම ප්‍රමාණවත්.
( www.cam.ac.uk ඇසුරෙන්)
■ පුන්‍යා චාන්දනී ද සිල්වා