තමන් වෙනුවෙන් හුස්මගත් තම පණනලවන් ආදරණීය අම්මා පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් නොසිතු මොහොතක මෙලොවින් සමුගෙන සිටියදී ඇය පැතූ ලොව ජය ගන්නෙමි යන්න වචනයකට සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වන්නට සමත් වූ දිරිමත් ගුණගරුක පුත්‍ර රත්නයක් ගැන මේ වන විට ලෝකයේම කතාබහට ලක්වෙනවා. ඔහු නමින් හශේන් රන්දිමාල්. පවුලේ බඩපිස්සා ලෙස උපත ලද හශේන් අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ උසස්පෙළ පන්තියේ. මීළඟ උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් මුහුණදීමට සූදානමින් සිටින ඔහු කුඩා කල සිටම ක්‍රීඩාවට දැක්වූ දස්කම් සියසින් දුටු ආදරණීය මෑණියන් සෙවණැල්ල මෙන් තම පුතු අසල රැඳෙමින් අධ්‍යාපන කටයුතු අතර ක්‍රීඩා කෞශල්‍යය ද දියුණු කරගන්නට සවියක් වන්නේ ක්‍රීඩාව තුළින් මනාව හික්මුණු පුරවැසියෙකු බිහිවන බව අත්දැකීමෙන් දන්නා නිසාම වන්නට ඇත.
කුඩා කල සිටම රග්බි ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ හශේන් ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ සාමාජිකයෙක් කරන්නට කැපවී කටයුතු කර තිබුණේද ඒ ආදරණීය මවය. ගෘහණියක් මෙන්ම රැකියාවක නියුතු කාන්තාවක ලෙස කෙතරම් කාර්යබහුල වුවද ඇය තම බාල පුතු ක්‍රීඩා කරන සෑම තරග අවස්ථාවකදීම පිටියට පැමිණ ඔහු පමණක් නොව සමස්ත ඉසිපතන කණ්ඩායමම දිරිමත් කරන්නට තරම් නිහතමානී වූ ආදරණීය මවකි.
හැමදාමත් සෙවණැල්ල මෙන් ළඟ රැfඳමින් අනේකවිධ දුක් කම්කටුලු ඉවසා දරා තම පුතු ඉහළට ඔසවා තබන්නට ගත් උත්සාහය අතරමඟ නවතා දමන්නට ඇයට සිදුවන්නේ දෛවයේ හාස්කමකටම වන්නට ඇත. අන්තර් පාසල් Rugby ලීග් තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයත් කොළඹ ඉසිපතන විද්‍යාලයත් අතර කොළඹ CR & FC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නේ පසුගිය 30 වැනි සිකුරාදා. හරියටම ඊට පෙර දින එනම් 29 වැනි බ්‍රහස්පතින්දා හශේන්ගේ මව මහරගම අපේක්ෂා රෝහල තුළදී මෙලොවින් සමු ගන්නවා.
ඒ දුක්මුසු පුවත සැලවීමත් සමග තම වැඩිමල් සොයුරා සමග එහි ගිය හශේන් ගේ සිතෙහි ඇති වූ දැඩි කම්පනය නිසාම ඔහුගේ එකම සිතුවිල්ල වන්නට ඇත්තේ දැන් මම ක්‍රීඩා කරල වැඩක් නෑ යන්න නොව දැන් මම ජීවත් වෙලා වැඩක් නෑ යන්න විය හැකිය.
එසේ වුවත් නිමේෂයක් තුළ මෙලොව උපන් පුතෙකුට කෙසේවත් අමතක කරන්නට බැරි දුකක් හිත පුරා ඇවිලෙද්දී ඒ දුක යටපත් කරගනිමින් තමන් මෙලොවට බිහි කර තමන්ගේ අනාගතය මලින් සරසන්නට අප්‍රමාණ වූ බලාපොරොත්තු සමුදායක් හිතේ ගුලිකරගෙන ඒ වෙනුවෙන් කැපවුණ ආදරණීය මවට රගර් ක්‍රීඩාවේ ජයග්‍රහනය තුළින්ම උපහාර පුදන්නට ඔහු දැඩිසේ හිත ශක්තිමත් කරගත්තා.
එතැන් සිට අපි ඒ අනුවේදනීය කතාව හශේන් රන්දිමාල්ගේ සොහොයුරු යහන් අංජනගෙන් විමසා සිටියා.
අපේ අම්මා පිළිකා රෝගයකින් පෙළෙන බව අපි දැනගත්තේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. එදා ඉඳල අම්ම යොමු විය යුතු හැම ප්‍රතිකාර අවස්ථාවකටම යොමුවුණා. ඒත් අම්මට ඒ උවදුරෙන් බේරෙන්න බැරිවුණේ අපේ අවාසනාවට වෙන්න ඕන.
සිද්ධිය ආරංචි වුණ ගමන් මමයි මල්ලියි අපේක්ෂා රෝහලට ගියා. ඒ යන අතරතුර මම අපේ පාසල වූ ඉසිපතන විදුහලටත් මේ ආරංචිය දැනුම් දුන්නා. මොකද මම හොඳටම දන්නවා මල්ලි 30 වැනිදා Match එකට සහභාගි විය යුතුම බව. ඒ වෙලාවෙ ඉඳල ටීම් එකේ මෙම්බර්ස්ල මට කිව්වා මල්ලිට හිතෙන් වැටෙන්න දෙන්න එපා එයාගෙ හිත ශක්තිමත් කරන්න කියල.
මම මල්ලිට ඒ ගැන කියලා එයාගේ හිත ශක්තිමත් කරන්න හැදුවත් මල්ලි එකහෙලාම කිව්වෙ මැච් එක සෙල්ලම් කරන්න බෑ කියලමයි. ගෙදර එන අතරෙ මම තේරුම් කළා අපිට වෙන්න තියෙන ලොකුම පාඩුව දැන් වෙලා ඉවරයි ඒත් අම්මා ඔයාව මේ තැනට ගේන්න ඔයා දිනනවා දකින්න හැමදාමත් හීන මැව්වා අම්මා කොහේ හරි ඉඳගෙන ආසාවෙන් ඔයා දිනනවා බලන්න ආසාවෙන් ඇති ඒ නිසා ඔයා හිත හදාගෙන අම්මට දක්වන ගෞවරවයක් විදියට මැච් එක සෙල්ලම් කරන්න කියල. අන්න එතෙන්දි මල්ලි ටිකක් හිත හදාගෙන ධෛර්යමත් වුණු බව මට තේරුණා. අපි ගෙදර ආවට පස්සෙ ටීම් එකේ හැමෝම වගේ ගෙදරට ආවා.
ඒ හැමෝමත් ලොකු මහන්සියක් ගත්ත මල්ලිගෙ හිත හදන්න. කොහොම හරි අපේ උත්සාහය සාර්ථක වෙලා මල්ලි අම්ම වෙනුවෙන් වගේම පාසල වෙනුවෙන් හිතේ දුක යටපත් කරගෙන මැච් එකට සහභාගි වෙන්න තීරණය කළා. හැබැයි ඒ මොනව වුණත් එදා මල්ලි අම්මගෙ බොඩි එක දැක්කනම් අනිවාර්යයෙන්ම මැච් එකට නොයා ඉන්න ඉඩ තිබුණා.
ඒ නිසා මැච් එක ඉවර වෙනකම් එයාට බොඩි එක නොපෙන්වා ඉන්න අපි තීරණය කළා. මැච් එක දවසෙ උදේ අට වෙද්දි ටීම් එකේ මෙම්බර් කෙනෙක් ඇවිත් මල්ලිව ඉස්කෝලෙට එක්කගෙන ගියා. එයා ගියාට පස්සෙ තමයි අම්මගෙ බොඩි එක මල් ශාලාවෙ තැන්පත් කරල ඉදිරි කටයුතු සංවිධානය කළේ. ලකුණු 28 ට 18 ක් ලෙස පරාජයකින් තොරව මල්ලිලාගෙ ටීම් එක ජයග්‍රහණය හිමිකර ගත්තා.
ඉසිපතනය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළෙත් මල්ලි වීම ඒ තරගයේ විශේෂත්වයක්. ඇත්තටම ඔහු ගැන අපි හැමෝගෙම හිත්වල තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්. උහුලන්න බැරි දුකක් හිතේ තදකරගෙන මේ විදියට දක්ශතා දක්වන්න තරම් එයාගෙ හිත ශක්තිමත් වීම ගැන.අම්ම හිටියනම් ගොඩක් සතුටු වෙයි මල්ලිගෙ දක්ශතා දැකලා.
මල්ලි හිතට ධෛර්යය අරගෙන පිට්ටනියට ගියේ අම්ම වෙනුවෙන්. කොහේ හරි ඉඳගෙන අම්ම මල්ලි දිහා බලාගෙන ඇති කියල තමයි හැමෝම කියන්නෙ. මැච් එක ඉවරවුණු ගමන් මල්ලි ටීම් එකත් එක්ක මල් ශාලාවට ආවා. එයා තාමත් ඉන්නෙ ලොකු කම්පනයකින්. මොකද පවුලෙ බාලයා නිසා අම්ම මල්ලිගෙ පස්සෙන්ම තමයි හිටියෙ. ඒ නිසා එයාට අම්මගෙ වෙන්වීම දරාගන්න අමාරුයි. ආදරණීය පුතුගේ දක්ෂතා දකින්නට ඇය දැන් මෙලොව නැතත් ගිය ලොවකට යන්නට ඇත්තේ මගේ පුතා හැමදාමත් දිනන්නට ඕන යන ආශිර්වාදාත්මක ප්‍රාර්ථනාව අවසන් හුස්ම පොද සමඟ වාතලයට මුසුකරමින් විය යුතුය.
ආදරණීය පුතණුවනි,
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ අම්මා දුන් කිරට සාධාරණය ඉටුකළ යහපත් පුත්‍රරත්නයකි. ඔබ ආදරණීය අම්මා දකින්නට ආසා කළ ධෛර්යවන්ත අතිදක්ෂ සුපිරි ක්‍රීඩා තරුව වී ඇයට ගෞරව දක්වන්නට සමත් වූයේ හිමි නොවන ප්‍රේමය නිසා ගෙල වැළලාගෙන, වස පානය කොට සියදිවි නසාගන්නා බොළඳ සිත් ඇති, විභාගයක් අවසන ඉගෙනගත් පාසලේ දේපල විනාශ කරන උන්මත්තක, මාපියන් රවටමින් මත්වතුර දුම්වැටි වල රස සොයන, එකිනෙකා සමග නිකරුනේ ඇතිකරගන්නා අඬදබර වලට මැදිවී පාතාල කල්ලි සාමාජිකයින් වීමට පෙරුම් පුරන සමහර තරුණ ශිෂ්‍යයන්ට මහත් ආදර්ශයක් වෙමිනි.
■ ධම්මික හේවාවසම්