කුලරත්න සිල්වා
වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගායන කුසලතා ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය වූ ‘දෙරණ 60 ප්ලස්’ වැඩසටහනේ අවසන් මහා තරගය පසුගිය 01 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මේ තරගයේ අවසන් තරගකරුවන් තිදෙනා වුණේ පියල් කුමාර, සුමිත් ප්‍රේමසිරි සහ කුලරත්න සිල්වා යන මහත්වරුන්. මෙවර මෙම තරගාවලියේ ජනප්‍රියතම ජ්‍යෙෂ්ඨ පුරවැසි තරුව විදිහට කිරුළු පැලැන්දේ කුලරත්න සිල්වායි. ඔහු මේ තරගාවලියේ ගායනා කළ ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ ගීත වයස් පරතරයකින් තොරව රසික රසිකාවියන් බොහෝ සෙයින් වැළඳගත්තා. ජයග්‍රහණයෙන් අනතුරුව අපි පුංචි කතාබහකට ඔහු වෙනුවෙන් ඉඩක් වෙන් කළා…
කුලරත්න මහත්මයා, වෙනදට වඩා දැන් ලැබෙන ප්‍රතිචාර ඉහළ ඇති…
ඔව්. මේ තරගයට සහභාගි වෙලා අවසන් වටවල ගීත ගායනා කරද්දි තමයි මට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබෙන්න පටන්ගත්තේ. අවසන් තරගයට කලින් ඉඳලා පාරතොටේදි, බස් එකේදි මිනිස්සු මාව අඳුරගෙන කතා කරපු අවස්ථා තිබුණා. දැන් ඒ ඊටත් වඩා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

සම්මානෙ ලැබුණ වෙලේ මොකද හිතුණේ?
(සතුටු කඳුළු සලමින්) ඇත්තටම මං හිතුවෙ නෑ ජනප්‍රියම සම්මානය මට ලැබෙයි කියලා. මට සම්මානය ලබාගත්ත වෙලාවේ තමයි හිතුණෙ මම කොච්චර මේ රටේ මිනිස්සු අතරට ගිහින්ද කියලා. මම මේ තරගයට අයදුම් පත් බාරදෙන්න ගිය දවසෙ සේවා ආයතනයට ඇතුළු වෙද්දිම එක දරුවෙක්ව දැක්කා වෙනත් අංශයක. ඒ දරුවා මාත් එක්ක හිනාවුණා. මට එවෙලෙ නිකමට හිතුණා අද යන්න ඉන්න ගමන සාර්ථකම වෙයි කියලා.

ඔබ මේ තරගාවලිය පුරාවටම ගැයුවේ මිල්ටන් පෙරේරා ගායන ශිල්පියාගේ ගීත.මොකද්ද විශේෂත්වය?
දැන් මගෙ වයස අවුරුදු 74 ක්. නමුත් කුඩා වයසෙ ඉඳලම මම එතුමගෙ ගීත තමයි ගැයුවේ. ඒ නිසාම මට පාසල් කාලේ විශේෂ ජනප්‍රියතාවයකුත් හිමි වෙලා තිබුණා.
මම මිල්ටන් පෙරේරාව පෞද්ගලිකවත් දැනගෙන හිටියා. ඉස්සර මම පාටිවලට එහෙම ගියාම ගොඩක් අය මට කිව්වෙත් මිල්ටන්ගේ සින්දුවක් කියපන් කියලා.අවසන් තරග වේදිකාවෙදි ඔබ පැවසුවා බිරිඳ මේ තරගයට ඇයදුම් කරද්දි කිව්වා කියලා, මේ වයසට මොන තරගද? ගෙදරට වෙලා ඉන්න කියලා.
එහෙම කියපු නෝනා සම්මානෙ ගත්තම මොකද කිව්වෙ?
එහෙම කිව්වට තරගෙට සහභාගි වුණාට පස්සෙ බිරිඳ සහ දුවලා දෙන්නා තමයි මගේ ඇඳුම් පැළඳුම් ගැන පවා හොයලා බැලුවේ. මගේ පවුල තමයි මට ලැබුණ මේ සම්මානය ගැන වැඩියෙන්ම සතුටු වෙනවා දැක්කේ.

ඔබ මේ තරගාවලියෙ පළමු සීසන් එකටත් අයදුම් කළා නේද?
ඔව්. නමුත් මට අවසන් 36 දෙනාගෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. පසුව සීසන් කිහිපයකදිම නෑදෑ හිතමිතුරන් මට කිව්වා මේකට ආයෙ අයදුම් කරන්න, අනිවාර්යයෙන්ම අවස්ථාවක් ලැබේවි කියලා.
පස්සෙ මේ සීසන් එකේදි මම ටෙලිෆෝන් නොම්බරයක් හොයාගෙන කතා කළා. කතා කළේ වැඩසටහනේ නිෂ්පාදකතුමා. එතුමා කිව්වා අද අයදුම්පත් බාරගන්න අවසන් දවස පුළුවන් නම් ඇවිත් අයදුම්පත බාරදෙන්න කියලා. අන්තිම මොහොතේ අයදුම්පත බාර දීපු මට අවසන් තරගකරුවන් තුන්දෙනා අතරට එන්න පුළුවන් වේවි කියලා හිතුනෙ නෑ.
ඔබට සේවා ස්ථානයෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?
මම සේවය කරන්නෙ උපාලි පුවත්පත් සමාගමේ. මගේ ආයතනය මට ගොඩක් උපකාර කළා මේ ගමන එන්න. මම සේවය කරන අංශය විතරක් නෙවේ අනෙකුත් අංශවල අයත් මාව නිරන්තරයෙන් දිරිමත් කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මම සේවය කරන ආයතනයේ නිෂ්පාදන අංශ ප්‍රධානී ප්‍රසන්න බ්‍රාහ්මණ මහත්මාට තමයි මම මුලින්ම කිව්වෙ මේ තරගයට අයදුම් කළ බව. ඒ වගේම උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක, සභාපතිනිය සහ සන්නාම අධ්‍යක්ෂිකාවටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.
එරංදි කෞශල්‍යා ✍️