ඉන්දීය ලේඛිකා බානු මුෂ්ටාක් විසින් රචනා කරන ලද Heart Lamp, කෙටිකතා සංග්‍රහය වෙනුවෙන් ජාත්‍යන්තර බුකර් සම්මානය හිමිවී ඇත. බානු නීතිඥවරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක ලෙසින් වැදගත් මෙහෙයක් ඉටු කරන කාන්තාවකි. මෙම කෙටි කතා සංග්‍රහයට ඇය විසින් 1990 වසරේ සිට 2023 වසර දක්වා රචිත කෙටිකතා 12 ක් ඇතුළත්ය. මෙම කෙටිකතා සියල්ලටම විෂය වී ඇත්තේ දකුණු ඉන්දියාවේ ජීවත්වන මුස්ලිම් කාන්තාවන්ගේ ජීවිතයේ ශෝකාලාපය වේ. Heart Lamp යනු පැවැත්මේ සහ ඔරොත්තු දීමේ හැකියාවේ ප්‍රතිමූර්තියක් බැව් මෙම කෙටි කතා සංග්‍රහය පිළිබඳ අදහස් දක්වමින් විනිශ්චය මණ්ඩලය සඳහන් කරති. මෙම කෙටි කතා සංග්‍රහය දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ භාවිත වන කන්නඩ භාෂාවෙන් පළ වූ අතර දීපා හස්ති සහ මුෂ්ටාක් විසින් ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කර තිබේ. ඒ වෙනුවෙන් පවුම් 50, 000 ක බූකර් සම්මානයට මෙම කෘතිය හිමිකම් ලබා ඇත.
බානු මුෂ්ටාක්…
බානු මුෂ්ටාක් දකුණු කර්ණාටක ප්‍රාන්තයේ කුඩා නගරයක මුස්ලිම් ප්‍රදේශයක හැදී වැඩුණු අතර ඇය බොහෝ දරුවන් මෙන් පාසලේදී උර්දු භාෂාවෙන් කුරානය හැදෑරුවාය. ඇගේ පියා රජයේ සේවකයෙකු වූ නිසාම තම දියණිය කන්‍යාරාමයකට ඇතුළු කරන ලදී. මේ පාසලේදී ඇය කන්කඩ භාෂාව චතුර ඉගෙන ගත්තාය.ඇය පාසල් අවධියේ පටන් ලේඛනයට ඇලුම් කළාය. කෙටි කතාවක් මුල්ම වරට දේශීය සඟරාවක ප්‍රකාශයට පත් වෙන විට ඇගේ වයස අවුරුදු 26 කි.
කටුක විවාහය
බානු ආදර සම්බන්ධතාවයකින් විවාහ වුවත් ඇගේ යුග ජීවිතය දැඩි කටුක අත්දැකීම් සහිත විය. විවාහයෙන් වසරක් ගෙවෙත්ම මේ ගැටුම් තව දුරටත් උග්‍ර විය.විවාහයෙන් පසුව මට ලියන්න වුවමනාව තිබුණත් ලියන්න වුණේ නැහැ. බුර්කාවක් ඇඳගෙන ගෙදර වැඩ කිරීම හැර මට වෙනත් දෙයක් තිබුණේ නෑ… මගේ කසාද ජීවිතය ගෙවුණේ එහෙමයි… ඇය සඳහන් කරයි.
මේ කම්පනය මොන තරම් දරුණු වීද යත් වයස අවුරුදු 29 වන විට ඇය පසු ප්‍රසව විශාදයෙන් පෙලෙන මවක් බවට පත් වූ බැව් වෝග් සඟරාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී බානු සඳහන් කලාය.තමන්ට නිවසේ බිත්ති හතරට කොටුවී ජීවිතය ගත කරන්නට සිදු වුණ බව The Week සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියා සිටියාය. එක් වතාවක් ඇය තමන්ගේ සිරුරට පෙට්රල් වත් කර ගෙන ගිනි තබා ගැනීමට සූදානම් වූවාය. වාසනාවකට මෙන් ඇගේ සැමියා ඒ බැව් දුටුවෙන් වහා එතැනට පැමිණ ගිනිපෙට්ටිය උදුරා විසි කළා පමණක් නොව, නැවත නම් හිරිහැර නොකරන බවට ඇගේ දෙපතුළ පා මුල දරුවා තබා සපථ විය.
වෛරයේ ඉලක්කය…
ඇගේ භාෂා විලාශය ඉතා තියුණුය. මෙම ශෛලීය නිසාම ඇය වෛරයේ ඉලක්කය බවට පත්ව ඇත. 2000 වසරේදී බානු විසින් නිර්දය ලෙස පහර එල්ල කළ සිදුවීමක් විය. ඒ මුස්ලිම් කාන්තාවන්ටත් පල්ලියේ යාඥා කිරීමට අවසරය ලබා දීම පිළිබඳවයි. මේ නිසා ඇයට නිර්නාමික දුරකථන ඇමතුම් ඔස්සේ මරණීය තර්ජන එල්ල විය. මුස්ලිම් නීතියේ ෆට්ටා නියෝගයක් ඇයට එරෙහිව නිකුත් කරන ලදී. නාඳුනන පුද්ගලයෙකුගේ පිහි පහර ඇගේ සැමියා විසින් වලක්වා ඇත.
නිර්මාණ හැකියාව…
ගල්, මුල් එල්ල වුණත් ඇගේ නිර්මාණ හැකියාව පැහැර ගැනීමට කිසිවෙකුට නොහැක. වසර ගණනාවක් පුරා ඇගේ නිර්මාණ වෙනුවෙන් “දාන චින්තාමනි අත්තිම බේ ” සම්මානය ඇතුළු කීර්තිමත් දේශිය සහ විදේශීය සම්මාන රාශියක් දිනා ගැනීමට සමත් විය. ඇය විසින් 1990- 2012 දක්වා රචනා කරන ලද කෙටි කතා පහක එකතුවක් වූ ‘Haseena and Other Stories’ කෘතිය වෙනුවෙන් PEN පරිවර්තන ත්‍යාගය දිනා ගත්තාය.
බී.බී.සී පුවත් ඇසුරින්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️