ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙකුට Full drum set එකක් රුපියල් 50, 000 කට ලබා දෙන්න. මේ වෙනුවෙන් වූ ඔහුගේ සිහිනය පටන් ගත්තේ පුංචි කාලයේ ඉඳන් කිව්වොත් නිවරැදියි’ මහනුවර අලදෙනියේ පදිංචි රූකාන්ත රාජපක්ෂ මුරුතලාව මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. බාල කාලයේ පටන්ම ඔහු සංගීතයට විශේෂ ඇල්මක් දැක්වූ දරුවෙක්’ ලංකාවේ නිපදවන ඔක්ටපෑඩ් එක පිටුපසින් දිවෙන ඒ කතාවට අපි පිවිසෙමු…
සංගීතය පැත්තට කොහොමද යොමු වුණේ…?
මම සංගීතයට හරිම කැමැතියි. 6 වසරේදී මුරුතලාවේ පැවැති සංගීත සංදර්ශනයක් වෙනුවෙන් Band එක වාදනය කරන්න මට අවස්ථාව ලැබුණා. මගේ හැකියාව නිසාම තව දුරටත් පුහුණුව වෙන්න අවස්ථාවක් මට “ලාල් සරසවි ” කියන සවුන්ඩ් ආයතනය කරන මහත්මයෙක් උදව් වුණා. මම Drum course එකක් හදාරා තවත් මේ හැකියාව වැඩි දියුණු කර ගන්න උත්සහ කළා. සාමාන්‍ය පෙළ විභාගයේදී සංගීතය විෂයක් ලෙසින් කළත් උසස් පෙළ පංතියට පැමිණෙත්ම බෑන්ඩ් සෙල්ලම් කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැම්මා.
පාසල් අධ්‍යාපනයෙන් පසු මම විවිධ රැකියාවන්හි නිරතව වුණා. මම 2010 වසරේ ගුවන් හමුදාවේ ඡායාරූප සහ වීඩියෝ ඒකකයේ රැකියාවට සම්බන්ධ වුණා. 2012 වසරේ විවාහයෙන් පසු මම කන්තලේ ප්‍රදේශයේ පදිංචියට ආවා.මහනුවර ඉපදී හැදී වැඩුණ මට කන්තලේ පරිසරය තුළ ලොකු හිස්බවක් දැනුණා. මේ හිස්කමට විකල්පයක් විදිහට මම නැවතත් සංගීතය වෙතට යොමු වෙන්න හිතුවා.
නමුත් ඒ ගායනයෙන් හෝ වාදනයෙන් නොවේ. සංගීත භාණ්ඩයක් නිපදවන සිතුවිල්ල මගේ සිතට ආවා. මුලින්ම ඩ්‍රම් එකක් හැදුවත් එතැනින් නවතින්න මම හිතුවේ නැහැ. මේ ඩ්‍රම් එක තව දුරටත් වැඩිදියුණු කර ගෙන ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් එකක් හදන්න මම කල්පනා කළා. යූටියුබ් ඔස්සේ දැනුම ගවේෂණය කරමින් මාස හයක් පුරා අත්හදා බැලුවා. ප්‍රෝග්‍රෑමින් සෙට්, ටොම්, ස්ටෑන්ඩ් වගේ කොටස් එකතු කරමින් ඩ්‍රම් එක හැදුවත් ශබ්දය එළියට ආවේ නැහැ. එතැනින් පසුව ලී යොදා ගත්තා. ප්ලාස්ටික් යොදා ගත්තා. නමුත් ශබ්දය පිටට ආවේ නැහැ.
එක දවසක් මගේ ඩ්‍රම් එකෙන් ශබ්දය පිටතට ඇහුණා. මේ විදිහට ශබ්දය පිටට එනවා නම් Electronic Drum එක පිට තැනක වාදනය කරන්න පුළුවන් බැව් මම දැනගත්තා. එදා මට සතුටටත් වඩා ලොකු ජවයක් දැනුනා කිව්වොත් නිවරැදියි. ඒ නිසා දැන් පිටතට ශබ්දය එන ඩ්‍රම් එකට ටොම්, සෙන්සර් වගේ එකතු කරමින් තව තවත් වැඩිදියුණු කරන්න පටන් ගත්තා.
ඔක්ටපෑඩ් වෙනුවෙන් යොමු වෙන්න හිතුවේ…
ඔක්ටපෑඩ් සංගීත භාණ්ඩයට කොටස් අඩුයි. ඉලෙක්ට්‍රොනික් පැත්ත නම් ඩ්‍රම් එකට සමානයි. ඒ හින්දා මට හිතුණා ඔක්ටපෑඩ් එකක් නිර්මාණය කරන්න. මම අවුරුදු පහක් තිස්සේ අත්හදා බැලීම් කළා. ලී, මෙට්ල් වගේ විවිධ දේ යොදා ගෙන බැලුවා.
උත්සාහය සාර්ථක වුණාද?
ඔව් මුල්ම වෘත්තිමය ඔක්ටපෑඩ් එක මම අලෙවි කළා. මගේ සන්නාමය “ Ru Brand ” යනුවෙන් නම් කළා. එතැනින් පසුව මට ඇනවුම් ලැබෙන්න ගත්තා. ජපානයෙන් ආනයනය කරන ඔක්ටපෑඩ් එකක් රුපියල් ලක්ෂ දෙකක් පමණ වෙනවා. මම රුපියල් 21, 000 ක මුදලකට අලෙවි කරනවා.


දැනට ඔබේ ඔක්ටපෑඩ් අලෙවිය ගැනත්…
මම ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම අලෙවි කර තිබෙනවා. මට යාපනයට බැරි වෙලා තිබුණා. දැන් ඒ දිස්ත්‍රික්කයත් ආවරණය වුණා. මුල්ම ඔක්ටපෑඩ් එක කොරියාවට අලෙවි වුණා. ඊට අමතරව මගේ වීඩියෝ එකක් දැකපු ඇමරිකානු ජාතික මහත්මයෙක් ඔක්ටපෑඩ් දෙකක් මගෙන් මිළට ගත්තා. ඊට අමතරව රුමේනියාව, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය වැනි රටවලටත් අලෙවි කළා. කතෝලික පල්ලි, ළමා නිවාසවලටත් අලෙවි වුණා. ඒවා සහන මිළකට මම ලබා දුන්නා.
ඔබේ ඔක්ටපෑඩ් විශේෂත්වයකින් යුක්තයිද…?
ඔව්… මගේ ඔක්ටපෑඩ් එකක් පාරිභෝගිකයාට අවශ්‍ය විදිහට සකස් කර දෙන්න මට පුළුවන්. අපි ආනයනය කරන ඔක්ටපෑඩ් එකක ඒ වාසිය නැහැ. ඒ වගේම අපි ආනයනය කළ ඔක්ටපෑඩ් එකක් මිලට ගන්නවා නම් එහි ඇතුළත් සංගීත ඛණ්ඩ විතරයි. ජපානයේ ආනයන කළ ඔක්ටපෑඩ් එකක ශබ්ද 999 ක් තිබුණට එහි අපට අවශ්‍ය අපේ දේශීය සංගීතයට ආවේණික ශබ්ද නැහැ.
නමුත් මගේ එකතුවේ දවුල්, තම්මැට්ටම්, ගැට බෙර වගේ අපේ රටට ආවේණික නාද රටා තිබෙනවා. යාපනයට අලෙවි කිරීමේදී ඔවුන්ගේ ආගමික කටයුතුවලට අවශ්‍ය විදිහට නාද රටා ඇතුළත් කළා. ඒක ලොකුම වාසියක්. අපේ රටේ විවිධ සංස්කෘතිකාංග තියෙනවා. ඒ හැම අවස්ථාවකටම මගේ ඔක්ටපෑඩ් එක ඔට්ටුයි. ඒ වගේම මේ මෘදුකාංගයේ නැති යම් කිසි නාද රටාවක් ඔබට අවශ්‍ය යැයි හිතුණොත් එය පිටින් බාගත කරගෙන ඔක්ටපෑඩ් එකට ඇතුළත් කරන්නත් පුළුවන්. ඒකත් සුවිශේෂී වාසියක්.
මේ වෙනුවෙන් යොදා ගන්නා අමුද්‍රව්‍ය ගැනත්…
විශේෂයෙන් ලී රාමුවක් යොදා ගන්නවා. මුලින්ම මම ඒ වෙනුවෙන් තේක්ක ලී යොදා ගත්තා. වඩාත් සුදුසු නම් ෆයිබර් . එහෙම යොදා ගත්තොත් මිළ වැඩියි. ඒ නිසා මම ලී යොදා ගන්නවා.ඩ්‍රම් එකේ වගේම ශබ්දය පිටට එන තෙක් විවිධ දේ යොදා ගෙන අත්හදා බැලුවා. රබර්, තහඩු යොදාගෙන බැලුවා.
නමුත් තවදුරටත් මේ නිෂ්පාදනය වැඩිදියුණු කරන්න ඕන. ඒ වෙනුවෙන් මුදල් අවශ්‍ය වෙනවා. ණය මුදලක් ලබාගන්න නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්න ඕන. ඉල්ලුම්පත්‍රය යොමු කරලා දැන් මාස හයකටත් ළඟයි. නිෂ්පාදනයක් හදලා ඒක අප්ඩේට් නොවුණොත් අසාර්ථකයි. නමුත් නිරන්තරව ඒ වෙනුවෙන් යොමු වෙන්න නම් මුදල් ඕන. ණය මුදලක් හෝ ලබා ගන්න ලියාපදිංචිය අවශ්‍ය නිසා එතැන ප්‍රමාදය මට තදින්ම බලපානවා.
අනාගතයේදී ඔබේ RU Brand සන්නාමය සමාජගත කරන්න අදහස් කරනවද?
ඔව්… ඒ මෙහෙවර මගේ බිරිඳගෙන් ඉෂ්ට වේවි. මම රැකියාවේ නිරත නිසා විවේකය අඩුයි. ඒ නිසා මගේ බිරිඳ වෙතින් මගෙන් අතපසු වෙන කොටස සම්පූර්ණ වේවි. දැනටත් මම බිරිඳගේ සහයෝගයෙන් මේ කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී ඇය RU Brand සන්නාමයේ සම්පූර්ණයෙන්ම වගකීම අරගනීවි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️