තනිකම සහ ඒකචාරී වීම කියන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඕනම දෙයක් අපි දකින විදිහ වෙනස් කිරීම තුළින් තමන්ට ලැබෙන ප්‍රතිඵලත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපිට ලෝකය හදන්න බෑ. හැබැයි තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන යථාර්ථය වෙනස් කිරීම තුළින් තමන්ට ලෝකයෙන් ලැබෙන ප්‍රතිලාභ වෙනස් වෙනවා…
ඔබ අහලා ඇති ඒකචාරී සිංහයා ඉතා බලවත් බව. සැබෑවටම ඒකචාරී වීම තුළින් ඔබට බලවත් චරිතයක් වෙන්න පුළුවන්. තමන් කරන දේ තුළින් විශිෂ්ටයෙක් බවට පත්වෙන්න පුළුවන්. ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෝ, යෝගීවරු, මහා ග්‍රන්ථ කතුවරු, සංගීතඥයෝ, ව්‍යවසායකයෝ බිහිවුණේ ඒකචාරී හැසිරීමක ප්‍රතිඵලයක් විදිහට. නමුත් මේ ලෝකෙ ගොඩක් අයට ඒකචාරී වෙන්න අපහසුයි. නැත්නම් වැඩි කාලයක් ඒකචාරී බව තුළ රැඳෙන්න අපහසුයි. මොකද තනියම ඉන්න බොහෝ දෙනා බයයි. තව කෙනෙක් නොහිටියොත් තමන්ට රඳා පැවැත්මක් නෑ කියලා හිතෙනවා. නමුත් දැන් තියෙන්නේ ගෝත්‍රික සමාජයක් නෙවේ. ගැහැනු පිරිමි භේදයකින් තොරව තනිව ගොඩනැගිනේන පුළුවන් දියුණු සමාජයක්.
ඒකචාරී වීම යනු අමුතු මිනිසකු වීම නොවෙයි
ඒකචාරී වීම කියන්නෙ අනිත් මිනිස්සු එක්ක කතා නොකර අමුතු විදිහට හැසිරෙන එකට නෙවෙයි. තමන්ට ඕනම වෙලාවක තමන්ගේ සුවපහසු කලාපය තුළ කවුරුත් නැතිව තනියම දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා නම්, තනිවම ගමනක් යන්න හැකියාවක් තියෙනවා නම් ඔබ ඒකචාරී හැසිරීමක් පෙන්නුම් කරන කෙනෙක්. තමන් සමාජයට පිවිසෙද්දි, පවුලේ අය එක්ක හෝ මිතුරන් එක්ක සම්බන්ධ වෙද්දි, ඒ ගත කරන වෙලාවෙදි සම්පූර්ණ අවධානය ඔවුන්ට ලබාදෙන්න. එතනින් පස්සෙ 100%ක් අවධානය තමන් තමන්ටම ලබාදෙන්න වගබලාගන්න.
ඒකචාරී වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි ‘Focus’ එහෙමත් නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ. නමුත් තනිවම හිටියා කියලා වැඩක් නෑ දවස තිස්සෙම ෆෝන් එක ඔබ ඔබ, ලැප්ටොප් එකෙන් වැඩකට නැති වීඩියෝ බල බල ඉන්නවා නම්. තමන් ඒකාචාරීව ඉන්නෙ කුමක් වෙනුවෙන්ද කියලා මුලින්ම හිතන්න.
තමන්ගෙ අධ්‍යාත්මය දියුණු කරගන්නද? ශිල්පයක් දියුණු කරගන්නද කියලා හිතන්න. මුලින්ම ඒ දේ තීරණය කරලයි ඔබ ඒකචාරී විය යුත්තේ. මේ චිත්ත ඒකාග්‍රතාවය පැයක්වත් පවත්වගෙන යන්න බැරි නම් ඔබ කල්පනා කරන්න ඔබ වැඩිම වෙලාවක් වැය කරන්නේ මොකක් වෙනුවෙන්ද කියලා. ඒ වෙනුවෙන් වැය කරන වෙලාව ටිකින් ටික අඩු කරන්න. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයට වැයකරන වෙලාව.
තමන් කරන දේ ගැන පිටස්තරයන්ගෙන් විමසන්න එපා
ඒ වගේම ඒකාචාරීව ඉද්දි තමන් කරන්න යන දේ හරිද වැරදිද? තමන් අඳින ඇඳුම ලස්සනද කැතද කියලා පිටස්තර පුද්ගලයන්ගෙන් අහන්න යන්න එපා. තමන් දන්නවා තමන් කරන්න යන්නෙ යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියලා. තමන් අඳින්නෙ ලස්සන ඇඳුමක්ද කැත ඇඳුමක්ද කියලා.
ඔබට තමන් කරන දේවල් ගැන තව කෙනෙකුගේ අදහසක් අවශ්‍යම නම් ඒ ගැන අවබෝධයක්, දැනුමක් තියෙන කෙනෙකුගෙන් මිස වෙන අයගෙන් විමසන්න එපා. මොකක් හරි දෙයක් වෙනුවෙන් ගත, සිත එක්තැන් කරගෙන ඒකචාරී වීම ආරම්භ කළොත් තමන් ටිකින් ටික සම්බන්ධ වෙන්නෙ තමන්ගේ ඇත්තම ස්වභාවයත් එක්ක. ඔබටත් නොදැනීම ඔබ තුළ සිටින බලවත් චරිතය ඔබ තුළින් ඉස්මතු වේවි. එවිට ඔබට වැටහේවි ඒකචාරීව සිටීම කෙතරම් බලවත්ද කියලා.
අභිප්‍රේරක කථික
රමිඳු රන්දෙණි
එරංදි කෞශල්‍යා ✍️