ඈත අතීතයේ බරණැස් නුවර වාසය කරපු චූලසෙට්ඨි නම් සිටුතුමෙක් දවසක් පාර අයිනේ තිබණ මී කුණක් දැකලා කිව්වලු “මේං බලාපල්ලා මී කුණක් තියෙනවා. නුවණ තියෙන කෙනකුට සල්ලි හොයන්න මේකත් ඇති” කියලා. ඒ කතාවඅහගෙන හිටපු දුප්පත් කොලුවෙක් චූලසෙට්ඨි සිටුතුමා නුවණැත්තෙක් නිසා කෝකටත් මේ මී කුණ අරගන්න ඕනෙයි කියලා හිතුවා. මී කුණ අරගෙන පාරේ යද්දි නිවසක බළල් පැටියෙක් කෑ ගසනවා ඇහිලා මොහු මී කුණ බළලාට දෙන්න කියල නිවැසියන්ට කිව්වා. ඔවුන් ඒ වෙනුවෙන් ඉතා සුළු මුදලක් මේ කොලුවට දුන්නා. මොහු ඒ මුදලින් උක්පැණි මුලකුයි පොඩි හැළියකුයි ගත්තා. වනයට ගිහින් මල් නෙලාගෙන එන මාලාකාරයන්ට උක් පැණි ටික ටික දුන්නා. ඔන්න ඔහොම පියවරෙන් පියවර මහා ධනස්කන්දයකට හිමිකම් කියූ තරුණයාගේ කතාව ඔබ කවුරුත් අසා ඇති. මේ කියන්න යන්නෙත් ඒ වගේම අයිස්ක්‍රීම් කෝටුවකින් ගොඩගිය අපේ කාලේ තරුණයෙකුගේ කතාවක්. ඔහු නමින් ශයනක ලියනගේ. අයිස්ක්‍රීම් කෝටුවෙන් ගුවන් යානා ආකෘති හදන්න පටන්ගත්ත ශයනක මේ වෙද්දි ඊටත් එහා ගිහින් උසස් තත්ත්වයේ ගුවන් යානා ආකෘති නිර්මාණය කරමින් අපේ රටට හොඳ විදෙස් වෙළෙඳපොළක් තනා දීලා තියෙනවා…
ශයනක මුලින්ම අපි ඔබ ගැන හැඳින්වීමක් කරමු
මගේ ගම මාතර. නමුත් මේ වෙද්දි පදිංචි වෙලා ඉන්නෙ පන්නිපිටියේ.වයස 32 යි. මාතර, මලිදූව මහා විද්‍යාලයෙන් සහ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. පාසල් කාලේ ඉඳන් චිත්රවලට තිබුණ හැකියාව නිසා ග්‍රැෆික් නිර්මාණකරණය හදාරලා කොළඹ පෞද්ගලික ආයතනයක රැකියාවක් ආරම්භ කළා. මේ ගුවන් යානා ආකෘති නිර්මාණය කිරීමේ ආසාවත් ආවෙ රැකියාව කරපු කාලෙ තමයි.
ඇයි ඇත්තටම මෙහෙම දේකට පෙළඹෙන්න හිතුවෙ?
ඒක ඇත්තටම අහම්බයක්. අයිස්ක්‍රීම් කෝටුවකින් තමයි මුලින්ම මම ගුවන් යානා ආකෘති හදන්න පටන්ගත්තේ. ඒක හදලා අපේ ගෙවල් ළඟ පොඩි ළමයකුට තෑග්ගක් විදිහට දුන්නා. ඒකට ඒ ළමයා ගොඩක් ආස වුණා. මං හිතන්නෙ එයාගේ කැමතිම සෙල්ලම් බඩුව වුණෙත් ඒක. ඊටපස්සෙ තමයි මට හිතුණෙ ඒ දරුවට වගේ මේක තවත් අයට වටින්න පුළුවන් කියලා.
ඒ දරුවා වගේම ඔබත් පුංචි කාලෙ ගුවන් යානාවලට ආසවෙන්න ඇති
ඔව් ඇත්තටම. මං පුංචි කාලෙ ඉඳන්ම ගුවන් යානාවලට ආසයි. තරුණ වියට එළඹුණාම ගුවන් යානා ආකෘතියක් ගන්න ආසාවෙන් හිටියත් මං ළඟ එච්චර මුදලක් තිබුණෙ නෑ. ඉතින් මට හිතුණා මංම ආකෘතියක් හදාගන්න ඕනෙ කියලා.ඒ උනන්දුව සහ ආසාව තමයි මාව මෙච්චර දුරක් අරගෙන ආවෙ.
පොප්සිකල් කෝටුවෙන් පටන්ගත්ත ඔබ දැන් ඉන්නෙ වෙනම ලෙවල් එකක. මොනවද මේ සඳහා යොදාගන්න දැව?
මේ වෙනකොට ආකෘති නිර්මාණය කරන්න බල්සා, මැහෝගනී සහ පයින්වුඩ් තමයි යොදාගන්නේ.
මේ වෙද්දි විදේශ වෙළෙඳපොළත් නිර්මාණය වී අවසන්?
ඔව්. මම ගොඩක්ම ආකෘති කරන්නේ පිට රටින් ලැබෙන ඇණවුම්වලට. පිට රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ඇණවුම් බාර දෙනවා. ඒ අතරිනුත් ගොඩක් වෙලාවට ඇණවුම් ලැබෙන්නේ ගුවන් නියමුවන්ගෙන්. එයාලා මුලින්ම පදවපු ගුවන් යානය, පළවෙනි ගුවන් ගමන ගිය ප්ලේන් එක වගේ ආකෘති මට කියලා හදවගන්නවා.
මගේ පළවෙනි ආකෘතිය විකුණුවේ මට මතක විදිහට චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඉගෙනගනිමින් හිටිය ශිෂ්‍යයෙකුට.මේක අනිවාර්යයෙන්ම රටට ඩොලර් ගේන මාර්ගයක්. ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට මම දැනටත් ආකෘති දෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවටත් දෙනවා. අනික් ගුවන් සමාගම්වලටත් දෙනවා.
මේ වෙද්දි වෙනත් රටවලට ඇනවුම් කීයක් විතර කරලා දීලා ඇතිද?
මේ වෙනකොට ගුවන් යානා ආකෘති 500ක ට වැඩි ප්‍රමාණයක් අලෙවි කරලා තියෙනවා.
පොප්සිකල් ස්ටික් එකෙන් ශයනක ඉස්සරහට අඩිය තියපු විදිහ ගැනත් කියමු
පොප්සිකල් ස්ටික්ස්වලින් ආකෘති හදනකොට මට තේරුණා මීට වඩා දෙයක් මේකට කරන්න පුළුවන් කියලා. ඊටපස්සෙ තමයි මම ලීවලින් හදන්න පටන්ගත්තේ. මේක නිකං කරන්නන්වාලෙ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල මට තේරුණා. හොඳට අධ්‍යයනය කරල කරන්න ඕන දෙයක්. මම හරියට ආකෘතියක් හදන්න නම් ඒ ආකෘතිය ගැන ඉගෙනගන්න ඕනේ.
මේ ව්‍යාපාරයෙන් ඉස්සරහට තියෙන අලුත් බලාපොරොත්තු මොනවද?
මගේ හීනයක් තිබුණා ජාතික ගුවන් සේවා සමාගමට ආකෘතියක් දෙන්න. මේ වෙද්දි මගේ ඒ හීනේ ඉෂ්ට කරගෙන ඉවරයි. ඊළඟට මගේ ඉලක්කය වුණේ ලෝකෙ තියෙන ගුවන් සමාගම්වල වැඩ කරන අයට මගේ ආකෘතියක් දෙන එක. ඒකත් මම ඉටු කරගත්තා. එමිරේට්ස් එකට තමයි ඒ ආකෘති දුන්නේ. මගේ දැනට තියෙන හීනේ ඩයි කාස්ට් ආකෘතියක් විදිහට මේක රටේ නිෂ්පාදනය කරලා ඩොලර් ගේන එක. ඒකත් මේ වෙද්දි හෙමිහිට කරගෙන යනවා.
ශයනක වගේ දක්ෂයො තව අපේ රටේ ඇති. ඒ අයට ශයනකට කියන්න දෙයක් ඇති…
මිනිස්සු ගොඩක් වෙලාවට අදහස් හිතේ හිර කරගෙන ඉන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්නෙ නෑ. මටත් වඩා දක්ෂයෝ තව ඕනතරම් මේ රටේ ඇති. හැබැයි එයාලා ගොඩක් දෙනෙක් උත්සහා කරන්නෙ නෑ. මට කියන්න තියෙන්නේ බය නොවී හිතට එන අදහස් ක්‍රියාත්මක කරල බලන්න. අපට නොපෙනෙන මාර්ගයක් ඒ හරහා නිර්මාණය වෙන්න පුළුවන්. මේක පටන් ගනිද්දි මම හීනෙකින්වත් හිතුවෙ නෑ මෙච්චර දුරක් මට යන්න පුළුවන් වෙයි කියලා. මම දැන් ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.
එරංදි කෞශල්‍යා ✍️