නිවසක් යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන අතර අප සියලු දෙනාගේම බලාපොරොත්තුව වන්නේද තමාටම කියා ආලෝකමත් නිවසක් හිමිකර ගැනීමය. එනම් තමාටම කියා නිවසක් ඉදිකර එම නිවසේ සුවසේ ජීවත්වීමය.
නමුත් නිවසක් සෑදීමට යන මුදල මත මෙම අපේක්ෂාව යම් යම් ස්ථාවරත්වයන් මත තාවකාලිකව අවසන් කර ගැනීමට බොහෝ දෙනා කටයුතු කරයි. මෙයට උදාහරණ ලෙස මහල් කීපයක නිවසක නම් බිම් මහල සාදා අවසන් කර එම නිවසේ පදිංචි වීම, තවත් විටක නිවසක කොටසක් සාදා එම කොටසේ පදිංචි වීම දැක්විය හැකිය.
එමෙන්ම මේ අතරම වැඩි මුදලක් නොමැතිව තම අතැති මුදලට ගැළපෙන ලෙස කුඩා කොටසක් පමණක් සාදා නිමකර ගන්නවා යැයි සිතා වැඩ පටන් ගන්නා නිවාස ඉතා ඉක්මනින් විශ්මිත ලෙස සාදා නිමකර ගැනීමට හැකිවන අවස්ථාවන් ද ඇත.මෙම කාරණාවේදී බලපානු ලබන වාස්තු ශාස්ත්‍රානුකූල දෝෂයන් එනම් ගැටලු ඇතිවන ආකාර 05 ක් ඇත. ඒවා,
1. ආරම්භක දෝෂ
2. නිර්මාණ දෝෂ
3. පරිසර දෝෂ
4. හැසිරීම් දෝෂ
5. අනියම් දෝෂ
මෙම දෝෂ 05 අතරින් නිවසක් ඉදිකිරීම වෙනුවෙන් මූලිකවම බලපාන සාධක අතරෙන් ආරම්භක දෝෂය හා නිර්මාණ දෝෂය ප්‍රධාන වශයෙන් පෙන්වා දිය හැක.මෙහිදී ආරම්භක දෝෂ යනු නිවසක් ඉදිකිරීම ආරම්භ කරන අවස්ථාවේදී ඇතිවන දෝෂයන්ය.
මුල්ගල තැබීමේ සුබ වේලාව ආදිය මෙහිදී දැක්විය හැකි අතරම පරිසර දෝෂය යනු නිවස අවට පරිසරය මගින් ඇතිවන ගැටලුය. එමෙන් ම හැසිරීම් දෝෂයන්ට නිවසේ ජීවත්වන පුද්ගලයන්ගේගැටලුකාරී හැසිරීම් පෙන්වාදිය හැකි අතර අනියම් දෝෂ වශයෙන් නිවසට බාහිර පුද්ගලයන්ගෙන් ඇතිවන බලපෑම් පෙන්වා දිය හැකිය. එමෙන්ම නිර්මාණ දෝෂ යනු නිවාස සැලසුම ආශ්‍රිතව ඇතිවන දෝෂයන් වේ.
ආරම්භක දෝෂය
මෙම ආරම්භක දෝෂය නොමැතිනම් ඉතා ඉක්මනින් නිවසක් සාදාගත හැකිය. මෙහිදී සුබ වේලාවකට ගසනු ලබන පළමු මංගල කුඤ්ඤයේ සිට පළමු පස් පිඩැල්ල කැපීම සහ මුල්ගල තබන සුබ වේලාව දක්වා ඇති සියලුම සිදු කිරීම්වල වැරදි ආරම්භක දෝෂ වශයෙන් හඳුන්වයි. විශේෂයෙන් නියමිත පරිදි සකස් කරගත් මුල්ගල ගෘහ මූලිකයා හෝ ඒ සඳහා සුභ වේලාව ලබාගත් පුද්ගලයා විසින් එම මුල්ගල තැම්පත් කළ යුතුය.
ඇතැම් අවස්ථාවල කුඩා දරුවකු, බිරිඳ හෝ එම නිවස ඉදිකිරීමට මුදල් යොදවන කෙනෙකු විසින් මුල්ගල තැන්පත් කිරීම සිදු කරනු ලබයි. නමුත් මෙහිදී වැදගත් වනුයේ පළමු මංගල කූඤ්ඤයේ සිට මුල්ගල තැන්පත් කරන අවස්ථාව දක්වාම එම සුබ වේලාව ලබාගත් කෙනා විසින්ම එම සියළු කටයුතු නියමිත වේලාවට සිදු කිරීමයි.
එමෙන්ම මුල්ගල නොපෑගෙන තැනක තැම්පත් කිරීමද කළ යුතු අතර ඒ සඳහා පිරිසිදු හා සුදුසු ස්ථානයකද තැන්පත් කළ යුතුය. එනම් දොරක් ඇති හෝ ජනෙල් ඇති ස්ථාන නාන කාමර ඇති ස්ථානවල මුල්ගල තැන්පත් නොකළ යුතුය. එමෙන්ම අව් වැසි ආදියෙන් පීඩාවලට ලක් නොවන ස්ථානයක්ද විය යුතුය. මෙලෙස ආරම්භක දෝෂයන් ඇති නොවන ලෙස නිවසක් ඉදිකිරීමට ආරම්භ කිරීම අතරමඟ නොනැවතී වැඩ අවසන් වන නිවසක වැදගත් සංකල්පයක් වශයෙන් සැලකිය හැකිය.
නිර්මාණ දොෂය
නිර්මාණ දෝෂයන් නොමැති වීමද නිවසක වැඩ අවසන් වීමට ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. සාමාන්‍යයෙන් නිවසක් සැලසුම් කිරීමේදී එය පරිසරය හා දිශාවන්ට ගැළපෙන පරිදි සැලසුම් කිරීම ඉතාම සුදුසුය. මෙහිදි නිවසක ගෘහ අංග සැලසුම් කිරීමේදී වාස්තු පුරුෂයා නැමැති සංකල්පයට අනුව ගෘහ අංග දිශාගත කළ යුතුය. එමෙන්ම නිවසේ මධ්‍ය ලක්ෂය කෙරෙහිදි අවධානය යොමු කළ යුතුය. සාමාන්‍යයෙන් නිවසක ගිනි දැල්වීමට සුදුසුම දිශාව ලෙස ගිනිකොන හෝ වයඹ දිශාව සුදුසුය.
එමෙන්ම ඒ සඳහා ඊසාන හා නිරිත යන දිශාවන් යොදා ගැනීම නොකළ යුතුය. එමෙන්ම නිවසක වැසිකිලි හා වැසිකිළිවල සඳහා වඩාත්ම බටහිර වයඹ දිශාව සුදුසු වන අතර ඒ සඳහා ඊසාන හා නිරිත යන දිශාවන් නොගෙන නිවස නිර්මාණය කරගත යුතුය. මෙහිදි නිවසක සක්‍රියතාව මුළුතැන්ගෙයි ගිනි දැල්වීම මඟින් සිදුවේ. මෙම කාරණාව යම් නිවසක ඊසාන හෝ නිරිත දිශාවේ ගිනි දැල්වීම සිදු වන්නේ නම් එම නිවසට අන්තරික්ෂ ශක්ති ගලනයට හා නිරිත දිශාවේ ඒ ශක්තින් ගබඩාවීමට හානි පැමිණේ.
එනම් එම ශක්තිය පිච්චීමක් සිදු වේ. මෙවැනි අවස්ථාවල එම නිවසේ වැඩ අතරමඟ නවතින අවස්ථා ඇත. සාමානයෙන් නිවසක් අඩක් නිමකර එම නිවසේ පදිංචියට යන අවස්ථාවල මේ කරුණ පිළිබඳව වැඩි වශයෙන් සැලකිය යුතුය.
මෙහිදී එක් දිශාවක ඇති කාමරයක නේවාසිකව ජීවත් වන අතර නිරිත හෝ ඊසාන දිශාවේ ඇති කාමරය තාවකාලිකව මුළුතැන්ගෙයක් ලෙස නිර්මාණය කර ගනිමින් එහි ආහාර පිසීම සිදු කරනු ලබයි.
මෙවැනි අවස්ථාවක් උදාහරණ වශයෙන් උතුර හා ඊසාන දිශාවල කාමර ඇති නිවසක උතුරු දිශාවේ ඇති කාමරය නේවාසිකව නේවාසිකව පදිංචි වී නිරිත දිශාවේ ඇති කාමරය තාවකාලික මුළුතැන්ගෙය ලෙස භාවිත කිරීම උදාහරණ ලෙස පෙන්වාදිය හැකිය. නොදැනුවත්කම නිසා හෝ කාමර ඇති දිශාවන් අනුව එහි පදිංචිය පහසු කරගැනීම සඳහා කරනු ලබන මෙම ක්‍රියාව මඟින් පෙර සඳහන් කළ ශක්ති පිච්චීම සිදුවන අතර මෙමඟින් නිවසක් සාදා නිමකර ගැනීමට බාදාවක් ඇති වේ.
මෙම හේතුව මත අඩක් නිමකර එම නිවසේ පදිංචි වන අවස්ථාවන්වල එයට ගැළපෙන ලෙස නිවාසය සැලසුම් කරගත යුතුය. එමෙන්ම නිවසක අත්තිවාරම මඟින් නිර්මාණය වන කුරුස හැඩය හෙවත් එකතු කිරීමේ හැඩය ගැනීමද නිවසක වැඩ අවසන් කිරීමේ අවස්ථාවට බාධා ඇතිවන නිර්මාණ දෝෂයකි. නිවසක් සැලසුම් කිරීමේදී හා නිර්මාණය කිරීමේදී මෙම දෝෂය ඇති නොවන ලෙස සැලසුම් කිරිම සුදුසුය.
වැඩ අවසන් නොවී අතර මඟ ඉදිකිරීම් නැවතුණු නිවසකට සුදුසු වාස්තුමය විසදුම් කිහිපයක්
නිවසක් අඩක් නිම කළ පසු එම නිවසේ පදිංචි වීමෙන් පසු ඉතිරි කොටස සෑදීමට උනන්දු නොවිම එක් කරුණකි. ඉතිරි කොටස සාදා නිමකර ගැනීමට නිවැරදිව උත්සහා කළ යුතුයි. තවද අත්තිවාරම පමණක් දමා ඇති නිවසක ප්‍රථමව නිරිත දිශාව තුළ බිත්ති බැඳීම ගල් පේලි කිහිපකින් හෝ සිදු කිරීම සුදුසුය.
අඩක් ගල් බැඳ ඇති නිවසක නම් ඊසාන දිශාවට සාපේක්ෂව නිරිත දිශාවේ ඇති බිත්ති වැඩි උසකට ගල් බැදීමද ඉතාම සුදුසුය. බිත්ති බැඳ අවසන්කර වහලය සෙවිලි කිරිමට ඇති නිවසක නම් නිරිත දිශාවේ වහලය ප්‍රථමව සෙවිලි කිරීම වඩාත් සුදුසුය. මෙම හේතුන්මක නිවස තුළ ශක්තීන් තැන්පත් වීම වැඩි වශයෙන් සිදුවන බැවින් සාපේක්ෂව නිවාස ඉදිකිරිම අවසන් කරගත හැක.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
Aloka Homes Vasthu (FB Page)
අර්චිත ඉඳුවර ✍️