බහුං වේ සරණං යන්ති-පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි-මනුස්සා භය තජ්ජිතා
පුහුදුන් මිනිසුන් විදිහට අපි හැම දෙනෙක්ම එදිනෙදා ජීවිතයේදී විවිධ ආතතිමය තත්ත්වයන්ට මුහුණ දෙනවා. දියට වැටුණ මිනිසා තණකොළ ගහෙත් එල්ලෙනවා වගේ එවැනි අවස්ථාවන්හිදී අපි කුමන හෝ මාර්ගයකින් අස්වැසිල්ලක් ලබාගැනීමට යොමු වෙනවා. එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක්. ඒ වුණත් අපි හොඳින් ජීවත්වනතාක් කිසිම දිනක වෙනත් පිහිටක් පතන්නේ නම් ඒ ඉතාම අඩුවෙන්. බාරහාර, යන්ත්‍ර, මන්ත්‍ර මේ සියල්ලටම අපි යොමුවන්නේ ජීවිතයේ අඩුවුණ හිස් තැනක් පුරවාගන්න. ඒ විදිහට නොහැකි වුණ තැන දොස් නගන්න පටන් ගන්නවා.තුණුරුවන්ගෙන්වත් අපට ආශිර්වාදයක් නැතැයි පසුතැවෙනවා. නමුත් මේ අන්දමින් කඩාවැටීමට වඩා ඔබේ විශ්වාසය ගොඩනගා ගන්න. ජීවිතයේ ඉදිරිය එතැනින් පටන් ගන්න.
ඉතා සරු පොල් බීජයක් පැළවන බවට හොඳම තහවුරුවක් තිබුණත් එය පැළ කිරීමෙන් පසුව අවශ්‍ය වතුර, පොහොර වැනි ප්‍රත්‍ය සාධක නැත්නම් එය සරුවට වැඩෙන්නේ නැහැ. ඔබ මොන තරම් පහන් පත්තු කළත්, රනින්, රිදියෙන්, බාරහාර වුණත් ඔබේ පාර්ශ්වයෙන් ඊට අදාළ අභිප්‍රේරණයන් නොමැති නම් ඔබේ ඉලක්ක සපුරා ගැනීම අපහසු වනවා.
විශ්වාසා පරමා ඥාතී…
විශ්වාසය පරම ඥාතියා බව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. තමන්ට තමන් විශ්වාස නැත්නම් ඉදිරියට යෑම අපහසුයි. ගුප්ත බලවේගයන්ට නොහැකි දේ ඔබේ විශ්වාසයෙන් ජයගත හැකියි. ඔබ අහසට ගලක් විසි කරන්න උත්සාහ කරන්න. එය අහසට නොවැදුණත් උස ගසක මුදුනට හෝ වැදෙනු ඇති.
ඒ උත්සාහය ඔබව තව දුරටත් ධෛර්ය කරනු ඇති. කතෝලික ධර්මයේ මේ වගේ කියමනක් තිබෙනවා.ඔබ ගමනක් යන්න. එවිට කන්දක් හමුවුණොත් එතැනින් නවතින්න එපා. කන්ද තල්ලු කරගෙන ඉදිරියට යන්න. කන්ද නිසා අතරමඟ නැවතුණොත් ඔබට ඉදිරියට යන්න ලැබෙන්නේ නැහැ. ඔබ එතැන නවතිනවා.
මියගිය පුද්ගලයන් ආවේශ වීම…
අද වනවිට බොහෝ දෙනෙක් තමන්ගේ සමීපතමයකු මියගිය පසුව ඒ පුද්ගලයා මියගිය පසුව උපත ලබා ඇති තැන් හොයන්න යොමුවනවා. ඒ වෙනුවෙන්ම දැන් ගුප්ත විද්‍යාවත් සූදානම්ව සිටිනවා. මළවුන්ට ආමන්ත්‍රණය කිරීම, ඔවුන් ගෙන්වා ගෙන කටහඬින්ම කතාකිරීම, අනාවැකි ඇසීම වැනි අවස්ථාවන් සොය සොයා යනවා.
ඒ වගේම තමන්ට ආදරයෙන් බැඳුණ මව, පියා, එහෙම නැත්නම් සැමියා, සහෝදරයා හෝ ඕනෑම හදවතට සමීප පුද්ගලයකු මිය යෑමෙන් පසුව පවුලේ අයෙකුට ආවේශ වීම වැනි දේ ගැනත් විශ්වාසයන් සමාජයේ ගොඩනැගී තිබෙනවා. එය සාධාරණ කර ගැනීමට ඔවුන් මේ විදිහට කියනවා. අපේ මියගිය අම්මා වගේම කතාකරනවා. ඒ කටහඬමයි… කිසිම වෙනසක් නැහැ…
ඇත්තටම මියගිය පුද්ගලයන් ආවේශ වීමට පුළුවන්ද… ?
මෙය මානසික රෝග තත්ත්වයක් මිසක මියගිය පුද්ගලයකුගේ ආවේශ වීමක් නම් නොවෙයි. ඒ කටහඬින් කතාකළ පමණට මියගිය පුද්ගලයාගේ ආවේශ වීමක් යැයි සාධාරණ කරන්න බැහැ.
එහෙම නම් අද ජීවත්ව සිටින වගේම මියගිය ගායක ගායිකාවන්ගේම කටහඬට සමානව ගීත ගායනා කරන ශිල්පීන් සිටිනවා. එහෙම නම් ඔවුන්ටත් මේ මුල් ගායකයා හෝ ගායිකාව ආවේශ විය යුතුයි නේද…?
මේ තත්ත්වය මානසිකයි…
අපි ආදරය කරන පුද්ගලයකු මියගියාම, ඒ අයගේ ඡායාරූපයක් තියාගෙන ඒ දෙසම බල බලා, ඒ පුද්ගලයා ගතකළ ජීවිතයේ අතීතය සිහියට නගමින්, ඔවුන් කළ කී දේම සිහිපත් කරමින් සිටියොත් මාස කීපයක් ගත වනවිට, නොදැනීම අර මියගිය පුද්ගලයාගේ ගති පැවැතුම් ඔවුන් සිහිපත් කරමින් මතක ආවර්ජනය කරමින් ජීවත් වන අයට නොදැනීම ආරෝපණය වෙනවා.
මේ තත්ත්වය ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්. මල් රටා ඇති සුදු පීරිසියක් දෙස එක එල්ලේම බලා සිටින්න. ඊට පසුව සුදු බිත්තියක් දෙස බලන්න. පීරිසියේ ඇති මල් රටාව ඔබට බිත්තියේ දකින්න පුළුවන්.
අන්න ඒ වගේම මියගිය පුද්ගලයකු ගැන ඉතා තදින්ම මනසින් බැඳුණොත් කාලයත් සමඟ මියගිය පුද්ගලයාගේ හැසිරීම් රටාව ඔවුන් ගැන මතක ආවර්ජනය කරමින් ජීවත්වන පුද්ගලයාට ප්‍රේරණය වෙන්න පුළුවන්. එහෙම නැතුව මියගිය අයෙකු ජීවත්ව සිටින පුද්ගලයකුට ආවේශ වීමට බැහැ.
කළු කුමාරයා ඉන්නේ ලංකාවේ විතරයි…
අපේ රටේ කාන්තා පක්ෂය කළු කුමාරයා ගැන තදින් විශ්වාස කරනවා. තරුණ ගැහැනු ළමයින්ගේ නිදි යහනට ඇවිත් කාන්තා සිරුරේ ළැම, පපුව සහ කලවා වැනි ප්‍රදේශ සූරන, හපන අවස්ථා ගැන කියනවා. ඒ වගේම මේ කියන ප්‍රදේශවල සීරීම් පාරවල්, දත් පාරවල් පවා දකින්නත් ලැබෙනවා.
නමුත් මම අපේ රටේ සිටින ඕනෑම කපු මහත්මයකුට විවෘතව ආරාධනා කරනවා. මට මේක කියන්න, ඔය කියන කළු කුමාරයා කාන්තා සිරුරේ ඇයට ස්පර්ශ කරන්න අපහසු තැනකට අත තියන්නේ නැහැ. සපා කන්නෙත් නැහැ.
උදාහරණයක් විදිහට බෙල්ල පිටුපසට කිසිම දිනක කළු කුමාරයා අත තියන්නේ නැහැ. මේ වගේ අමනුෂ්‍ය බලවේගයක් සිටිනවා නම් ඒ තැන්වලටත් අත තියන්න ඕන.
දියණියගේ සිත සෘණාත්මක සිතුවිලිවලින්ම පුරවනවා…
එතැන් පටන් නිවසේම වැඩිහිටියන් මනෝ විප්‍රකාරවලින් දියණියගේ සිත පුරවනවා. කසාදයක් කරගන්න ලැබෙන්නේ නැහැ. කසාද බැන්දත් දරුවන් ලැබෙන්නේ නැහැ. පිරිමියකුගේ ආකර්ශනය නැහැ.
මේ වගේ අදහස්වලින් දරුවාගේ හිත බාල කාලයේ පටන්ම බිඳ වැටෙනවා. ඇය ඒ මානසිකත්වයෙන්ම ජීවත්වීම නිසා අනාගතයේදී විවාහයට පවා බියක් දක්වනවා. මට දරුවන් ලැබෙන එකක් නැහැ කියන මානසිකත්වයෙන්ම කාලය ගෙවන නිසා දරුවන් ලබන්න පවා බිය වනවා.
ජීවිතය සුන්දර නැහැ. දුෂ්කර ගමනක්. කටු කොහොල් ගිරි දුර්ග වගේම සුන්දර ගමන් මාර්ගත් අපට ලැබෙනවා. දුෂ්කර ගමනකදී පසු බසින්න අවශ්‍ය නැහැ. අපේ ජනවහරේ මේ විදිහට කියනවා. ඔබත් එය අසා ඇති.
කන්දක් නැග්ගොත් පල්ලමක් තිබෙනවා. එසේ නම් බියට, පරාජයට පත් අවස්ථාවන්හි ගුප්ත විද්‍යාවේ පිහිට පතන්න අවශ්‍ය නැහැ. විශ්වාසය ගොඩනගා ගන්න. ආත්ම ශක්තියෙන් ජීවිතයට මුහුණ දෙන්න. ජයග්‍රහණයේ සැබෑ මාවත එයයි.
කිරිබත්ගොඩ, තැඹිලිගස්මුල්ල
ශ්රීි ධීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය,
කඩවත “සිතු රුවන” මනෝවිද්‍යා
උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක
පුජ්‍යපාද ශාස්ත්‍රපති
කොටියාගල සීවලී ස්වාමින්වහන්සේ
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️