කුඩා කාලයේ පටන්ම පිරිමි දරුවන් වාහන ගැන හරිම උනන්දුයි. වාහනයක රියදුරු අසුන සමීපයේ සිට ගෙන එහි ක්‍රියාකාරීත්වය බැලීම ඔවුන්ගේ විනෝදාංශයක්. නමුත් චමිඳු යසස් ශ්‍රී ට තිබුණේ ඊට වෙනස් යොමුවීමක්. ඔහු පුංචි කාලයේ පටන්ම වාහන අලුත්වැඩියාව ගැන උනන්දු වුණා. ඔහු මොරගහහේන පදිංචි චමිඳු යසස් ශ්‍රී. මේ පුංචි පුතා දැනට මොරගහහේන මහ විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබනවා පුතාගේ දක්ෂකම් ගැන අපි ඔහුගේ පියා වන චමින්ද ප්‍රියශාන්ත මහතාගෙන් අහමු.
පුංචි පුතා වාහන හදන්න යොමුවුණේ…
වාහන අලුත්වැඩියා කිරීම අපි පරම්පරාවෙන්ම කරගෙන යනවා. මගේ තාත්තාටත් ගරාජයක් තිබුණා. තාත්තාගේ ආභාෂය මට ලැබුණා. හැබැයි මම වාහන ගැන දැනුම ලබාගන්නකොට වයස අවුරුදු පහළොවක් වගේ. නමුත් අපේ පුතා වයස අවුරුදු හතරක් වගේ පුංචි කාලයේ පටන්ම වාහන හදන්න උනන්දුවක් තිබුණා. අපි බල කළෙත් නැහැ.
ඒ බව දැන ගත්තේ…
අපි වාහන හදනකොට එයත් පුංචි බයිසිකලය හදනවා. අපි වගේම වාහන යට නිදාගෙන ඉන්න ඉරියව්වෙන්ම එයත් බයිසිකලය හදනවා. මේ විදිහට අනුකරණයෙන් පටන් ගත්තා වුණත් එයාට හොඳ දැනීමක් තිබෙනවා.
එපා කිව්වේ නැද්ද?
නැහැ. එයා ආසාවෙන් කරගෙන ගිය නිසා මම නම් මොකුත් කිව්වේ නැහැ. හැබැයි මගේ බිරිඳ නම් ටිකක් විරුද්ධ වුණා.
චමිදුගේ මව නයනා චන්ද්‍රිකා මහත්මිය…
පුතාගේ හැකියාව ගැන මටත් තේරුණා. ඒත් වාහන හදන්න යොමුවුණොත් පාසල් අධ්‍යාපනය පසුබහී කියන බය මට තිබුණා. මුලින් මගේ හිතේ ඒ බිය තිබුණත් 2 වසර පංතියට වගේ යද්දී එයාගේ පාසල් වැඩ කටයුතුත් හොඳට කර ගෙනයන බව මට තේරුණා.
ඔබ විරුද්ධ වුණත් පුතා අතහැරියේ නැහැ…
ඔව්. ඒක එයාගේ විනෝදාංශයක් වගේ. එයා හරිම කැමැත්තෙන් ඒක කරන්නේ. එපා කිව්වොත් අඬනවා. එත් අපි මෙයා ශිෂ්‍යත්වය ලියන කාලයේ වැඩ කරන්න දුන්නේ නැහැ. මොකද ඒක අධ්‍යාපනයට බාධාවක් නිසා. අපි පුංචි කාලයකට ගරාජයේ වැඩ පවා නතර කළා.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/06/lorry-1-768x1024.jpg)
ඒත් ඔහු නැවතුනේ නැහැ…
ඔව්. එයා දැන් එදාටත් වඩා දියුණුයි. ඕනෑම වාහනයක් හදන්න එයාට දැන් පුළුවන්.
අපි පුංචි චමිඳුගෙන් මේ ගැන අහමු…
මට පුංචි බයිසිකලයක් තිබුණා. දවසක් මම ඒ බයිසිකලය සම්පූර්ණයෙන්ම ගලවලා ආයේම තිබුන විදිහට සවිකළා. මටත් වාහන හදන්න පුළුවන් කියලා එදා හිතුණා. ඊට පස්සේ මම තාත්තාගේ ගැරේජ් එකේ වැඩවලට උදව් වුණා.
අවුරුදු හතක දරුවකුගෙන් තාත්තාට ලැබුණ උදව්…
තාත්තා රෝද ගලවලා දුන්නාම බ්රේක් ලයිනර් ගහන්න, ඇන්ජිමක් ගැලෙව්වාම ඒකේ කොටස් සෝදන්න, ඔය වගේ වැඩ කළා. අත්දැකීමෙන් හැම කෙනක්ම පොහොසත් වුණාම යම් දවසක තමන්ගේ හැකියාව ගැන තමන්ටම තේරුම් යනවා. ඉතින් චමිඳුගේ හැකියාව ගැන ඔහුට තේරුම් ගිය දිනයක් ඇති. අපි ඒ ගැනත් ඔහුගෙන් අහමු.
එක දවසක් ඩිමෝ ලොරියක් ගෙනාවා. ඒ ලොරිය අයිති මාමා කිව්වේ මේ වාහනය රත්වෙලා නවතිනවා ඒක බලන්න කිව්වා. තාත්තාට තමයි කිව්වේ. ඒ වුණත් මම ටිකක් බැලුවා. මේ ලොරියේ ගෑස්කට් එක ගිහින් කියලා මට තේරුණා. එදා තමයි මම වාහනයක වැරැද්දක් හොයා ගත්තු මුල්ම දවස.
දැන් ඔබට ඕනෑම වාහනයක් හදන්න පුළුවන්…
ඔව්. ඕනෑම වාහනයක් හදන්න පුළුවන්. මුලින් මම කැමැති වුණේ ඩිමෝ බට්ටා සහ ලේලන්ඩ් වාහනවලට දැන් ඕනෑම වාහනයක් හදන්න, ඒවායේ දෝෂ හඳුනාගන්න මට පුළුවන්.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/06/lorry-9-768x1024.jpg)
දැන් පුතාගේ දියුණුව ගැන…
අපේ පුතාට කිසිම ගුරුවරයෙක් නැහැ. එයා තනියෙන්ම වාහනවල තියෙන ලෙඩ හොයා ගන්නවා. වාහන විතරක් නොවෙයි දැන් ඕනෑම වාහනයක තියෙන දෝෂ හදන්න චමිඳුට පුළුවන්. වාහනවල බ්රේක් ලයිනර් ගහන්න, ග්රීිස් ගහන්න, ඔයිල් මාරු කිරීම වගේ වැඩ සේරම පුළුවන්. එන්ජින් එකක් ගත්තොත් එහි හැම කොටසක්ම සහ ඒවායෙන් කරන කාර්යයන් සියල්ලම ඔහු දන්නවා. ෆිස්ටන්, සිලින්ඩර් වගේ දේවල් ගැන ඔහු නොදන්න දෙයක් නැහැ.
පරණ වාහන ගැනත්…
සමහර වාහන දැන් පරණයි. ඒවායේ ඩෑෂ් බෝඩ්, මීටර්, විදුළි පරිපථ, සංවේදන වගේ බොහෝ වෙනස්කම් අද වාහන එක්ක බලද්දී තිබෙනවා. පරණ වාහනයකට වඩා අලුත් වාහනයක ගියර් දැමීම පවා වෙනස්.ඉතින් චමිඳු ඒ හැම වෙනස්කමක්ම හොඳින් තේරුම් අරගෙන ඉන්නවා. දැන් පුතාවම හොයාගෙන එන පාරිභෝගිකයෝ ඉන්නවා. ඒ තරමටම වාහනය දෝෂ හඳුනාගන්න පුතාට පුළුවන්.
පුතාගේ අනාගතය ගැන ඔබේ අදහස…
අද මොන තරම් උපාධි ලැබුවත් රැකියාවල් නැතුව තරුණයෝ පසුවෙනවා. ඉතින් මේක එයාට සහජයෙන්ම ලැබුණ හැකියාවක්. ඒ හැකියාව වැඩි දියුණු කරගෙන ඉදිරියට ගියොත් කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් හැකියාවට ගැළපෙන රැකියාවක් කරන්න එයාට නිදහස තියෙනවානේ.
වාහන වයරින් කරන්නත් පුළුවන්
මුලින් වාහන අලුත්වැඩියාවට යොමුවුණ චමිඳුට දැන් වයරින් වැඩත් පුළුවන්. වෙසක් කාලයේ ගෙවල්වල වෙසක් කූඩුවලට විදුලි ආලෝකය සන්ධි කරන්න චමිඳුට ලොකු ඉල්ලුමක් තියෙනවා.
වයරින් වැඩ ඉගෙන ගත්තේ කොහොමද?
අපි බස් එකක් ගත්තා. ඒ බස් එකේ ලයිට් වැඩ කළේ නැහැ. මම හොයලා බැලුවාම වයර් ගැලවිලා තිබුණා. මම වයර් හරියට සවි කළා. ඒ නිසා මට වාහනවල වයරිං වැඩත් පුළුවන් නේද කියලා හිතුණා.
දැන් මම වයරිං වැඩත් කරනවා. ඒ වගේම LED බල්බ් අරගෙන බස්වල නාම පුවරු නිර්මාණය කරන්නත් දැන් පුළුවන්. ඒ විතරක් නොවෙයි වාහන පින්තාරු කරන්නත් දැන් ඔහුට පුළුවන්.
ඒ ගැනත් කියන්න
අපි ගත්තු බස් එක මම පේන්ට් කළා. එදා ඉඳලා මම වාහන පේන්ට් කරන්න පටන් ගත්තා. වාහනයක තියෙන පේන්ට් එක සම්පූර්ණයෙන්ම සූරලා අලුත් පේන්ට් එක ගාන්න ඕන. එයාලා ඉල්ලන වර්ණ අපි හදාගන්නවා.
ඔබේ මල්ලිත් දැන් වාහන අලුත්වැඩියාව ගැන උනන්දුයි
ඔව් එයා දැන් 3 වසරේ ඉගෙන ගන්නවා. එයත් ගැරේජ් එකට ඇවිත් අපට උදව් වෙනවා. බස්වල රිවට් ඇණ ගහන්න වගේ දේවල් එයාටත් පුළුවන්.
අනාගත බලාපොරොත්තුව?
මම ගණිතය සහ විද්‍යාවට වැඩියෙන්ම කැමැතියි. දැනටත් පරිගණක පාඨමාලාවක් හදාරනවා. මෘදුකංග ඉංජිනේරුවෙක් වෙන්න මම කැමැතියි. ඒ වගේම වාහන ගැනත් මගේ දැනුම වැඩිදියුණු කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ගැරේජ් එකත් ඉදිරියටම අරගෙන යනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️