අපි හැමෝටම ජීවිතේ හීන තියෙනවා. ඉලක්ක තියෙනවා. මේ හීන, ඉලක්ක එක්ක ඉදිරියට යද්දි යම් කෙනෙක් කරන ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නිසා ඔබ ඔබේ හීන අමතක කරන්න, ඉලක්ක අත්හැරලා දාන්න ඉඩ තියෙනවා. ඔබට මේ මාතෘකාව ගැන කතා කරන්න කලින් මං මට ලැබුණු අත්දැකීමක් ඔබ එක්ක බෙදා ගන්න කැමතියි.
පහුගිය දවසක මම වැඩසටහනක් කරන්න එක්තරා ආයතනයකට ගියා. මම මගේ වැඩසටහන කරලා ඉවර වුණාම එතනට ඇවිත් හිටපු විධායක නිලධාරියෙක් නවලෝක අධිපති එච්. කේ. ධර්මදාස මහත්මයා ගැන ලස්සන කතාවක් කිව්වා’ මම හිතනවා ඒ කතාව අපි හැමෝටම ගොඩක් වැදගත් කියලා. ඇමරිකානු අභිප්‍රේරණ කථිකයෙක් වන ලාස් බ්‍රවුන් කියලා තියෙනවා තව කෙනෙක් තමන් ගැන දරන මතය තමන්ගේ යථාර්ථය කරගන්න එපා කියලා. මේ කියමනට ගැළපෙනම චරිතයක් තමයි එච්. කේ. ධර්මදාස කියන්නේ.
ධර්මදාස මහත්මයට දිනක් හදිසි අසනීප තත්ත්වයක් ඇති වෙලා වෙනත් රටක රෝහලකට ඇතුළත් කරන්න වෙලා තියෙනවා. ඒ රටින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව ඇමෙරිකාවේ රෝහලකට මාරු කරලා යවනවා. මේ රටවල් දෙකේම තිබුණ රෝහල්වල පහසුකම් දැකපු එතුමා හිතනවා ලංකාවෙත් එවැනි රෝහලක් හදන්න ඕනෙ කියලා. ප්‍රතිකාර අරගෙන ලංකාවට ආපු ඔහු ඔහුගේ ගණකාධිකාරිවරයාව කැඳවලා පිටරට රෝහල්වල දැකපු පහසුකම් ගැන කියලා එවැනිම රෝහලක් ලංකාවෙත් හදන්න ඕනේ කියලා කියනවා.
රෝහලේ සැලැස්ම ගැන, වියහියදම් ගැන ගණකාධිකාරීවරයාගෙන් අදහස් විමසනවා. මේ ගැන අධ්‍යයනය කරලා වාර්තාවක් දෙන්න ගණකාධිකාරිවරයා මාසයක් ඉල්ලනවා. මාසයක් ගියාම තවත් මාසයක් කල් ඉල්ලනවා. මාස දෙකකට පස්සේ ගණකාධිකාරිවරයා ඇවිත් ධර්මදාස මහත්මයගෙන් අහනවා. “ ඔබතුමාට හෝටල් තියෙනවා. ලී බඩු සාප්පු තියෙනවා. වෙනත් ව්‍යාපාර තියෙනවා.
නමුත් ඔබතුමා වෛද්‍යවරයෙක් නෙවෙයි. ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. රෝහල් ක්ෂේත්රය ගැන කිසිම අත්දැකීමකුත් නෑ. ඔබ වගේ ව්‍යාපාරිකයෙක්ට රෝහලක් ගැලපෙන්නෙ නෑ නේද?” කියලා. ඒ නිසා මේක බරපතළ වැඩක් නිසා මේකට අතගහන්නේ නැතුව හිටියොත් තමයි හොඳ කියලා ගණකාධිකාරීවරයා කිව්වලු.
ටික වෙලාවක් නිහඬව හිටපු එච්. කේ. ධර්මදාස මහත්මයා “ඔයා මගෙන් මාස දෙකක් කල් ඉල්ලුවෙ ඕක කියන්නද? මම ඔයාගෙන් ඇහුවේ මේක කරන්න පුළුවන් විදිහක් මිසක් කරන්න පුළුවන්ද බැරිද කියලා නෙවෙයි. ඔයාට බැරිනම් මං පුළුවන් කෙනෙක් එක්ක මේක කරගන්නම්” කියලා කිව්වලු. එහෙම කියපු එච්. කේ. ධර්මදාස මහත්මයා වෙනත් ගණකාධිකාරිවරයෙක් එක්ක අදාළ ව්‍යාපෘතිය පටන් ගත්තා. එතුමගෙ අප්‍රතිහත ධෛර්යයේ සහ අධිෂ්ඨානයේ අවසාන ප්‍රතිඵලය ‘නවලෝක රෝහල‘ විදිහට ඔබ අප කවුරුත් අද දකිනවා.
එතුමගේ මේ කතාව ඔබ එක්ක බෙදාගන්න හිතුවේ ධර්මදාස මහත්මයා අර ගණකාධිකාරිවරයා කිව්ව විදිහට ඇත්තටම වෛද්‍යවරයෙක් නෙවෙයි. උපාධිධාරියෙකුත් නෙවෙයි. හැබැයි ඔහුගේ සමූහ ව්‍යාපාරය තුළ උපාධිධාරීන්, වෛද්‍යවරුන්, නීතීඥවරුන් බොහෝමයක් සේවය කරනවා. එදා ඒ ගණකාධිකාරීවරයා දුන්න අදහස එතුමා විශ්වාස කරානම් මේ වෙද්දි නවලෝක රෝහල අපට දකින්න ලැබෙන්නෙ නෑ.
ඉතින් ඔබ ඔබේ ඉලක්ක කරා යනකොට ඒ ගැන කිසිදු අදහසක් නැති අය ඔබට එයාලගේ අදහස් ඉදිරිපත් කරයි. ‘ඕක හරියන්නෙ නෑ, ඕක ඔයාට ගැලපෙන ක්ෂේත්රයක් නෙවේ‘ වගේ කතා කියයි. නමුත් ඔබේ හැකියාව වෙනස්ම දෙයක් වෙන්න පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ අනිත් අයගේ යෝජනා, උපදෙස් සියල්ල බැහැර කරන්න කියලා නෙවෙයි.
නමුත් අනිත් අය හිතනවට වඩා ඔබ ගොඩක් දක්ෂ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔබට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අයට ඔබේ හීන මරල දාන්න ඉඩ දෙන්න එපා. අනිත් අයගේ සිතුවිලිවල සීමාව ඔබේ සිතුවිලිවල සීමාව කරගන්නත් එපා.
එරංදි කෞශල්‍යා ✍️