සමහර අවස්ථාවලදි අපට ඇසෙන දේවල් ගලේ කෙටු සටහනක් විදිහට සිතේ ඉතා තදින්ම පැලපදියම් වෙනවා. ඒ විතරක් නොවෙයි ජීවිතයේ ජයග්රහණයන්ට වගේම පරාජයන් වෙනුවෙන් සමහර පුද්ගලයන්ගේ වචන බලපානවා. අනුරාධපුරයේ ගල්කුලම පදිංචි බුද්ධික සුදර්ශන කුමාරසේනගේ හිතේ ඒ විදිහට තදින්ම සටහන් වුණ සිතුවිල්ලක් තිබුණා. අපි ඒ ගැන බුද්ධික මහතාගෙන්ම විමසා දැනගනිමු. “මම උසස් පෙළ කරද්දී ගනිද්දි ව්‍යාපාර අධ්‍යනය ඉගැන්වූ නන්දන එස්. පතිරගේ ගුරුතුමා නිතරම කියපු දෙයක් තිබුණා.ඔබ රැකියා සොයන්නෙකු නොවන රැකියා මවන්නෙකු වෙන්න. අද මම ඒ තැනට ඇවිත්.”
එක රැයකින් නොවේ
කොවිඩ් වසංගත කාලයේ අපි හැම දෙනෙක්ම ආර්ථික ගැටලුවලට මුහුන දුන්නා. මේ කාලයේ මම යුටියුබ් නාලිකා ඔස්සේ ගොවිතැන් ක්‍රම ගැන සොයන්න පටන් ගත්තා. ඔය විදිහට සොයන විට මට ‘සුහුරු තාක්ෂණය’ ගැන දැන ගන්න ලැබුණා. මම මුලින්ම සුහුරු තාක්ෂණයට අනුව මිරිස් පැළ 900 ක් හැදුවා. දෙසැම්බර් මාසය වන විට මට අස්වැන්න ලැබුණා.
ඒ දවස්වල මගේ පුතා කොළඹ අධ්‍යාපනය ලැබු නිසා ඔහු බලන්න යන එන අතරවාරයේ මම කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගියා. ‘සුහුරු තාක්ෂණය’ ගැන වැඩි විස්තර ඉල්ලා සිටියා. ඒ කාලයේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවියන් 25 දෙනෙක් සම්බන්ධ කර ගෙන ASMP තාක්ෂණය ගැන දැනුම ලබා දුන්නා. මම මේ තාක්ෂණය යොදාගෙන මිරිස් පැළ වගාව ආරම්භ කළා.
ඔබ සාර්ථක වුණාද?
නැහැ. අනිත් ගොවියන් සියලු දෙනාම මේ තාක්ෂණය යොදාගෙන හොඳ අස්වැන්නක් ලැබුවා. වතුර ප්‍රශ්නයක් නිසා මගේ අස්වැන්නට හානිවුණා. නමුත් මම අසාර්ථක ගොවියෙක් කියලා හිතුවේ නැහැ. මම උත්සාහය අතහැරියේ නැහැ.
අනිත් අයගේ අස්වැන්න දැක සතුටු වුණා
ඔව්. සාමාන්‍ය මිනිස් ස්වභාවය අනුව නම් අනිත් අයගේ දියුණුවක් ඉදිරියේ සතුටු වීමක් නැහැ. ඊටත් මගේ වගාවෙන් මට පාඩුවක් වෙද්දී අනිත් අයගේ ජයග්‍රහණය දරා ගැනීම සමහර අයට නම් අපහසුයි. නමුත් මම එහෙම හිතුවේ නැහැ.
ASMP තාක්ෂණය යොදාගෙන සාර්ථකව වගාකළ ගොවි මහත්වරුන්ගේ වගාව අළලා ඡායාරූපත් අරගෙන නැවත කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගියා. ඒ වෙද්දී හිටපු අමාත්‍යවරයා වෙනුවට මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍ය තනතුරට පත්ව සිටියා. මම එතුමාට මේ තාක්ෂණය යොදාගෙන කළ වගාවේ ඡායාරූප පෙන්නුවා. එතුමා අනුරාධපුරයේ තිරප්පනේට ඇවිත් ගොවි මහත්වරුන් සිය දෙනෙකුට ගොවි උපකරණ ලබා දුන්නා.
එතැනදී ඔබ…
මේ වතාවේදීත් මම මිරිස් වගා කළා. මේ කාලයේ සුළං සැරට නෙට් එක කැඩුණා. ඒ නිසා කෘමින් ඇතුළු වෙලා කොළ කොඩවීමේ රෝගය නිසා අස්වැන්න හානි වුණා. අනිත් ගොවි මහත්වරුන් හොඳ අස්වැන්නක් ලබාගත්තා. මගේ හිතේ කිසිම ඉරිසියාවක් ඇතිවුණේ නැහැ. මේ වනවිට මම හොඳටම ආර්ථික ගැටලුවකට පත්ව සිටියා.
මිරිස් වගාවෙන් කොමඩු වගාවට…
මම මිරිස් වෙනුවට කොමඩු වගා කරන්න හිතුවා. මට වටිනාකමක් විදිහට මුදල් කරන්න තිබුනේ මෝටර් බයිසිකලයක් විතරයි. මම ඒක උගසට තියලා එක්ලක්ෂ පනස් දහසක මුදලක් අර ගත්තා. කොමඩු ඇට ගෙනත් පැළ කළා. මේ වගාව හොඳටම සාර්ථක වුණා. මගේ අස්වැන්න හොඳ මිලකට අලෙවි වුණ නිසා මට මුල්ම කොමඩු වගාවෙන් ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා.

සුහුරු තාක්ෂණය නිසාද?
සාමාන්‍යයෙන් අපි ගොවිතැන් කරද්දී මහ පොළොව සමග විශාල අරගලයක යෙදෙන්න වෙනවා. පොළොව උදළු ගාන්න, වතුර, පොහොර දාන්න, වල්පැළ ඉවත් කරන්න. මේ වගේ දිගු ක්‍රියාවලියක්. ඒ නිසාම ගොවිතැනේදී අපි අතේ තියෙන කරගැටවලට වැඩි වටිනාකමක් ලබා දෙනවා.
එයින් අදහස් වෙන්නේ අතේ කරගැට මතුවන තෙක් කැත්ත, උදැල්ල සමග ගැටෙන්න වෙන බවයි.දැන් මම එක වගා මුරයකින් ලක්ෂ ගණනින් ආදායම් ලබන ගොවියෙක්. ඇත්තටම ගොවිතැන කියන්නේ පහසුවෙන් ආදායම් ලබන්න පුළුවන් මාර්ගයක්. අවධානය සහ නඩත්තුව තිබුණොත් කිසිම අපහසුවක් නැතුව ගොවිතැනෙන් ජයගන්න පුළුවන්.
සුහුරු තාක්ෂණ ක්‍රමවේදය ගැන
මේ ක්‍රමයේදී මුලින්ම ට්‍රැක්ටර් භාවිත කරගෙන පොළොවේ පස පෙරළනවා. එතැනින් පසුව පෙරළා ගත් පසේ කැට පොඩි කරලා කොම්පෝස්ට් සමග හොඳින් මිශ්‍ර කරනවා. ඒ වගේම රසායනික පොහොර ප්‍රමාණයකුත් එකතු කරන්න අවශ්‍යයි.එතැනින් පසුව වගා බිමට වතුර යොදා ගැනීම අවශ්‍යයි. අගල් දෙකක විෂ්කම්භය ඇති ඇල්කයින් බටයක අඩියෙන් අඩියට කරාම සදනවා.
පැළවලට වතුර ලබා දීමේදී හැම පැළයකටම එක සමානව වතුර ලැබීමක් සිදුවනවා. අපි වගා බිමට වතුර දාන විට එක එක පැළයට ලැබෙන වතුර ප්‍රමාණය වෙනස්. අපි හිතේ මිනුමක් අනුව වතුර දාන විට සමහර පැළවලට වැඩියෙනුත් සමහර පැළවලට අඩුවෙනුත් වතුර ලැබෙනවා. ඒත් මේ ක්‍රමයේදී හැම පැළයකටම සමානව වතුර ලැබෙනවා. මේ අදියර “Drip tape ” යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම ඉටි රෙද්දකින් වගා බිම වහනවා. මේ ඉටි රෙද්ද Poly mulch නමින් හැඳින්වෙනවා.
බයිසිකලය නැති නිසා…
මේ වනවිටත් මගේ මෝටර් බයිසිකලය උගස් කරලා. මගේ නිවසේ සිට වගා බිම්වලට කිලෝ මීටර් තුනක් පමණ දුරක් තියෙනවා. ඒ නිසා මම දුර ඉඳන් වගාවේ තොරතුරු දැනගන්න සූර්යබල ශක්තියෙන් ක්‍රියාකරන කැමරාවක් මිලට ගත්තා. වගාබිමේ තත්ත්වය ඒ ඔස්සේ දැක බලාගන්න හැකියාව මට ලැබුණා.


කෘමි සතුන්ගෙන් විනාශ වීම…
කෘමි සතුන්ගෙන් හානිවීම බොහෝ දුරට අඩුයි. නමුත් නැත්තේමත් නැහැ. එක් දවසක් මම උදය වරුවක තෙල් ගහන්න කොමඩු වගා ප්‍රදේශයට ගියා. මම යද්දී මීමැස්සෝ පිරිලා. මම තෙල් ගැහුවේ නැහැ. ඒ වගේම අස්වැන්න හොඳටම ලැබුණා. අඩියක් තියන්න බැරි තරමටම ගෙඩි පිරිලා. මීමැස්සන් නිසා කොමඩු පරාගනය වෙනවා.
ඒක ලොකු වාසියක්. එදා පටන් මම කිසිම දවසක උදය වරුවේ තෙල් ගැහුවේ නැහැ. වගාබිමේ ඉන්න මීමැස්සන්ගේ ක්‍රියාකාරී කාලය උදය වරුවේ නිසා මම හවසට තෙල් ගහන්න පටන් ගත්තා.මම මුල්ම කොමඩු වගාවෙන් හොඳ ආදායමක් ලබා ගත්තා. ඒ අක්කරයක ඉඩම් කොටසක්. එතැනින් පසුව මම අක්කර අටක හැදුවා. ඊට අමතරව සම්ප්‍රදායික ක්‍රමයට වගාකළ අක්කර 8 ක බිම් ප්‍රදේශයක් තිබෙනවා.
ඔබ සම්ප්‍රදායික ක්‍රමයට යොමුවුණේ?
සුහුරු තාක්ෂණය යොදාගෙන කරන වගාවේදී කාලගුණ සාධක පාලනය වෙනවා. ඒ තාක්ෂණයට අමතරව සම්ප්‍රදායික ක්‍රමයට අනුව වැහි නැති කාලවලදී කොමඩු වගාව සිදුකරනවා.මම නිතරම වෙළෙඳපොළ මිල අධ්‍යනය කරනවා. කොමඩුවලට වුණත් මිල බහින කාලයක් එනවා. ඒ වගේම මිල නගින කාලයකුත් තිබෙනවා. අපි හැමදාම එකම බෝගයක් මත රැඳෙන්න හොඳ නැහැ. බෝග විවිධාංගිකරණයක් අවශ්‍යයි. මම කොමඩු මත රැඳිලා නැහැ.
කොමඩුවලට අමතරව බටානා, නයිමිරිස්, තක්කාලි, කරවිල වගේ බෝග වගා කරනවා. හැම ගොවියෙක්ම එකම බෝගයක් වගාකරන්න හොඳ නැහැ. සාමාන්‍ය ආර්ථික න්‍යායට අනුව සැපයුම වැඩි වුණෙත් මිළ බහිනවා. ඒ නිසා වෙළෙඳපොළ හැසිරෙන අන්දම ගැනත් ගවේෂණාත්මක දැනුම අවශ්‍යයි.
ඒ විතරක් නොවෙයි අපේ රටේ මිනිසුන්ට එළවළු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීම ගැන දැනුවත්බව ලබාදීම වැදගත්. පිපාසයකට කොමඩු ගෙඩියක් කන්න හුරු කිරීම වැදගත්. වස විස නැති පලතුරක රසය ජනතාවටත් දැනෙන්න ඕන.
ඒ වගේම මම මේ සුහුරු තාක්ෂණයෙන් ලබන ලක්ෂ ගණනක ආදායම ගැන මාධ්‍ය මගින් සමාජයට හෙළි කළා. මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ජනාධිපතිතුමා හමුවීමට මට අවස්ථාව ලැබුණා.
‘ලංකාවේ වැඩිම ආදායම ලබාගත් කොමඩු ගොවියා’ වෙනුවෙන් මට සම්මාන ලැබුණා. එතුමා මේ සුහුරු තාක්ෂණය ඉදිරියේදී සමාජගත කිරීමට සූදානමින් සිටිනවා.
මම මුලින් සඳහන් කළ විදිහට මගේ වාණිජ විෂය භාර ගුරුතුමාගේ අවවාදය අනුව අද මම රැකියා මවන්නකු බවට පත්ව අවසානයි.
‘රජරට එළවළු පලතුරු ගොවි එකමුතුවක් ආරම්භ කළා. මගේ ගොවිපොළේ කීප දෙනෙක්ම රැකියාවන්හි නිතරව සිටිනවා. කවුරුන් හෝ කැමැති කෙනෙක් මේ තාක්ෂණය ගැන තොරතුරු හෝ උපදෙස් ඉල්ලා සිටියොත් ලෝබ නැතුව ඒ දැනුම ලබා දෙන්නත් මම සූදානම්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️