පසුගිය 17 වන දා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති Business World International Organization විසින් සංවිධානය කරනු ලැබූ Business World International Awards 2023 හි Global Beauty Awards අංශයේ වසරේ රූපලාවන්‍ය ආයතනය සහ ඇකඩමිය ලෙස ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබන්නට Nilanka Beauty Salon and academy පුද්ගලික ආයතනයේ හිමිිකාරිය වන නිලුෂ්කා ජයවර්ධන වාසනාවන්ත විය. ඒ පිළිබඳව නිලුෂ්කා “නවලිය” අපට අදහස් දැක්වුවේ මෙලෙසිනි.
BWIO සම්මාන උළෙලේ “Hair and beauty salon of the year” සම්මානය දිනා ගන්නට ඔබ වාසනාවන්ත වුණා. අපි මුලින්ම ඒ ගැන කතා කරමු…
ඔව්. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද දැන් අවුරුදු විස්සකට වැඩි කාලයක් මම මේ ක්ෂේත්රයේ වැඩ කරනවා. මගේ සේවාදායකයින් වෙනුවෙන් හරියට සේවය ඉටු කරලා ඒ අයගේ විශ්වාසය දිනාගෙන යන ගමනක් මේක. මගේ අත්දැකීම් වගේම දිනෙන් දින මගේ දැනුමත් අලුත් කරගන්නවා.
මේ ක්ෂේත්රයේ හැම මොහොතෙම අලුත් වෙනවා. ඒ වගේම මගේ ළඟට එන සේවාදායකයින් එක්කත් මම බොහොම සුහදශිලීව වැඩ කරනවා. ඒ විදිහට ඉඳලා හරියටම මගේ වැඩ මම කරනවා. ඒ නිසාම අද වෙනකන් කිසිම කෙනෙක්ගෙන් මට චෝදනාවක් ඇවිල්ලා නැහැ. අන්න ඒ දේ ප්‍රතිඵලය අද සම්මානයක් විදියට ලැබුණා කියලා තමයි මම හිතන්නේ.
මෙම සම්මාන උළෙලට ඉදිරිපත් වෙන්න ඔබව දිරිගැන්වූයේ කවුද?
ඇත්තටම මට මෙතනට එන්න උදව් කළේ ආචාර්ය චමින්ද ජයවර්ධන මගේ ලොකු මල්ලි. එයා තමයි මේ තරඟයට ඉදිරිපත්වෙන්න කියලා මාව දිරිමත් කළේ.
නිලුෂ්කට මේ වෙලාවේ ස්තූති කළ යුතු විශේෂ පිරිසකුත් ඇති…
ඔව්. මේ වෙලාවේ විශේෂයෙන්ම BWIO ප්‍රධාන සංවිධායක කෞශික රණවකටත්, ආචාර්ය චමින්ද ජයවර්ධනටත් මගේ හස්බන් ඇතුළු පවුලේ සියලුදෙනාටත්, මගේ කාර්යමණ්ඩලයේ සියලුදෙනාට සහ සේවාදායකයින් හැමෝටම මම ස්තූති කරනවා. ඒ වගේම මගේ හැම වැඩකටම මූල්‍යමය සහය ලබාදෙන DFCC බැංකුවට සහ ලංකා බැංකුවටත් මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුති කරනවා.


මේ තරඟය තුළ මොන වගේ තරගකාරීත්වයක්ද තිබුණේ?
ලොකු තරඟකාරිත්වයක් තිබුණා. විශාල අයදුම් පත් ප්‍රමාණයකින් තේරීපත්වෙලා තමයි මට මේ සම්මානය ලැබුණේ. ඒ වගේම අපේ අවුරුදු ගාණක සේවක විස්තර, පලපුරුද්ද, දැනුම කොපමණ සහතික අරගෙන තියෙනවාද කියන මේ සියල්ල පිළිබඳවත් රිසර්ච් එකක් කරලා තමයි මේ තෝරාගැනීම කරලා තිබුණේ.
නිලුෂ්කාගේ වෘත්තීමය සුදුසුකම් ගැන කතා කළොත්?
ආයුර්වේද වෛද්‍ය දෑලබණ්ඩාර යටතේ අධ්‍යයනය හදාරලා “ආයුර්වේද රූපලාවණ්‍ය ශිල්පිනියක්” ලෙස සුදුසුකම් ලැබුවා. ඊට අමතරව 2015 වසරේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී නයනා කරුණාරත්න යටතේ අධ්‍යයනය හදාරලා IHB සහ OMC ජාත්‍යන්තර සුදුසුකම් දෙකමත් මම ලබා ගත්තා.
ඔබ රූපලාවන්‍ය ක්ෂේත්රයම තෝරගන්න හිතුවේ ඇයි?
පොඩි කාලේ ඉඳලම කලාත්මක හැකියාව අපේ පවුලේ හැමෝටම තියෙනවා. ඉතින් ඒ නැඹුරුව, ආසාවත් එක්ක මම කැමති වුණා.
මේ ක්ෂේත්රයට එන්නේ කොයි කාලෙද?
මම A/L කළේ 2000 වර්ෂයේ. එතන ඉඳලම මම රූපලාවන්‍ය වෘත්තියට සම්බන්ධ වුණා. මුලින්ම ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවා. එහෙම ටේ්රනින් වෙලා ඉස්සෙල්ලම සැලෝන් එකක් ආරම්භ කලේ මගේ ගෙදර. ටවුන් එකේ සැලෝන් එකක් ආරම්භ කරලා දැනට අවුරුදු 15කට වැඩී.

දඹුල්ල ප්‍රධාන රූපලාවන්‍යාගාර ශාඛාවට අමතරව තවත් ශාකා තියෙනවද?
ඔව්. අනෙක් ශාඛාව මගේ ගෙදර තියෙන්නේ. දඹුල්ල,මොරගොල්ලෑවේ. එතන අපි කරන්නේ බ්‍රයිඩ්ල් ඩ්‍රසින් විතරයි.
ඔබ යටතේ කොපමණ සේවක පිරිසක් වැඩ කරනවද?
දැනට හයදෙනෙක් ඉන්නවා.
නිලුෂ්කා ලේසි පහසු ගමනක් නෙවෙයි අද වෙනකොට මේ ඇවිත් තියෙන්නේ නේද?
ඇත්තටම ඔව්. මම මුල් කාලෙ නම් සෑහෙන දුෂ්කර ගමනක් තමයි ආවේ. දැන් වගේ තාක්ෂණය දියුණුත් නැහැ. ඒ කාලේ දැන් තියෙන පහසුකම් නැති නිසා මගේම මහන්සියෙන් තමයි අද මම මේ තැනට ඇවිත් ඉන්නේ.
ඔබට මේ සියලු වැඩ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ගෙදරින් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නෙ?
අපි මොන රස්සාව කරත් මානසික නිදහස ඇතිව කරගෙන යන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. මට මගේ පවුල ඇතුලේ මානසික නිදහස උපරිමයෙන්ම තියෙනවා. මගේ මහත්තයා, අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා, අයියා හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ වැඩ ටික කරගෙන යන්න මට ඒක ලොකු ශක්තියක්.
පාරමී කෞෂිකා