ශ්‍රී ලංකාව තුළ බහුතර ජනතාව බෞද්ධයන් වන අතරම ශ්‍රී ලංකාව ලෝකයේ ආගමික විවිධත්වය හොඳින් දැකිය හැකි රාජ්‍යයක් ලෙස සැලකේ. එයට දිය හැකි හොඳම නිදසුන වන්නේ සියලුම ආගම්වලට අදාළ බොහෝ ආගමික දිනයන් ශ්‍රී ලංකාවේ කැලැන්ඩරය තුළ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින ලෙසින් නම් කර තිබීමයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම ලෙසින් නිල වශයෙන් බුද්ධාගම සලකනු ලබන්නේද?
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මඟින් දක්වා ඇත්තේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙන බවයි. එමෙන්ම බුද්ධ සාසනය රජය විසින් ආරක්ෂා කරනු ලැබිය යුතු බවයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 10 වන ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියකුට හෘද සාක්ෂියේ නිදහසද සමඟින් ඕනෑම ආගමක් ලබ්ධියක් ඇදහීමේ හා ප්‍රගුණ කිරීමේ නිදහස පවතින බව සඳහන්ව ඇත.
මේ මඟින් ඕනෑම පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීම මූලික අයිතිවාසිකමක් ලෙස සඳහන්ව ඇත.මෙය තවදුරටත් තහවුරු කරනු ලබන්නේ 14(1)(e) ව්‍යවස්ථාවෙනි. ඕනෑම ආගමක් ප්‍රසිද්ධියේ හා පෞද්ගලිකව ඇදහීම පිළිපැදීම, ඉගැන්වීම මේ මඟින් සුරක්ෂිත කර ඇත.
ඕනෑම ආගමක් ඇදහීමට ඇති අයිතියට ඇති සීමාවන් මොනවාද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 15(2) 15(3) මඟින් දක්වා ඇති පරිදි මෙම ආගමික නිදහසද භුක්ති විඳිය හැක්කේ වාර්ගික හා ආගමික සහයෝගීතාවට හානි නොවන ලෙසින්ය. ඒ අනුව තමන්ට කැමති ආගමක් ඇදහීමට ඕනෑම පුද්ගලයකුට ඇති අයිතිය මඟින් අනෙක් ආගම්වලට හානිවන අයුරින් හා අනිකුත් ආගම් අතර සහයෝගය නැතිවන අයුරින් ක්‍රියාකිරීම අධෛර්යමත් කර ඇත.
අන්‍යාගමිකකරණය නැතිනම් වෙනත් ආගමිකයන් තමන්ගේ ආගමට බලහත්කාරයෙන් හරවා ගැනීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ආගමික නිදහසට අනුකූල වේද?
බලහත්කාරයෙන් හෝ ත්‍යාග වරප්‍රසාද ලබාදීමෙන් අන්‍යාගමිකයන් තමන්ගෙ ආගමට හරවා ගැනීම පිළිබඳ පුවත් දශක කීපයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ සුලභව අසන්නට දකින්නට ලැබේ. මෙයට එරෙහි නීති සැකසීමට යෝජනා අවස්ථා කීපයකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වුවද ව්‍යවස්ථාපිත නීතියක් මේ වෙනුවෙන් මෙතෙක් නිර්මාණය වී නැත
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10,14 ව්‍යවස්ථා මඟින් ආගම ඉගැන්වීම ප්‍රගුණ කිරීම පිළිබඳව සඳහන්ව ඇති බැවින් ඒ මඟින් අන් අය තම ආගමට හරවා ගැනීමට ක්‍රියා කිරීමට හැකියාවක් ආගමික නිදහස තුළට අයිති වන ලෙසින් සැලකිය හැකි බවට ඇතැම් පාර්ශ්වයන් තර්ක කරනු ලබයි. නමුත් එය සැබැවින්ම ආගමික නිදහස තුළට ඇතුළත් වේද යන්න විවාදිතය.
එමෙන්ම අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ පිළිබඳව තම මතය ප්‍රකාශ කර ඇත. ඒ අනුව මූලික අයිතිවාසිකමක් ලෙසින් ලබා දී ඇති ආගමික නිදහස යන්නට බලෙන් හෝ වෙනත් වරප්‍රසාද ලබාදීමෙන් අන් අය තම ආගමට හරවා ගැනීම අයිති නොවන බව දක්වා ඇත.
එයින් එක් අවස්ථාවක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පෞද්ගලික යෝජනාවක් ලෙසින් ගෙනෙන ලද Christian Sahanaye Doratuwa Prayer Centre (incorporation) bill පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්නගත වීමේදී අධිකරණයේ මතය ප්‍රකාශ කිරීමයි.
මෙම පනත් කෙටුම්පතේ වගන්ති මඟින් අදාළ ආගමික ආයතනය විසින් වෙනත් ආගමිකයන්ට රැකියා, මුදල් හා ආධාර ලබා දෙමින් ඔවුන් තම ආගමික නිකාය වෙත සියුම්ව ආකර්ශණය කරගැනීමටත්, උපක්රමික ලෙසින් තම ආගමට හරවා ගැනීමටත් (Convert) කටයුතු සිදු කිරීම කිසිසේත්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 වන ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති සිතීමේ හෘද සාක්ෂියේ හා ආගමික නිදහස යන්නට එකඟ නොවන බවත් ඒ මඟින් ආගමික නිදහස හා අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන බව අධිකරණයේ මතය වී ඇත.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය අධිකරණය අන්‍යාගම්කරණය (Religious conversion) පිළිබඳව ලබාදී ඇති විනිශ්චයක් ගෙන හැර දැක්වීය. *Rev’ Stainislous v’ State of Madya Pradesh මෙම නඩු තීන්දුවේදී ඉන්දීය අධිකරණය විසින් ප්‍රකාශ කර ඇත්තේ නොයෙක් වරප්‍රසාද ලබා දෙමින් තම ආගම වෙත ජනතාව හරවා ගැනීම සඳහා කිසිදු අයිතියක් හෝ හිමිකමක් ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් කිසිවකුට ලබා දී නොමැති බවත් එසේ ආගමට හැරවීමට උත්සාහ කිරීම සිතීමේ හා හෘද සාක්ෂියේ නිදහස උල්ලංඝණය කිරීමක් බවත්ය.මේ අනුව පෙනී යන්නේ යම් ත්‍යාග දීමනා ලබා දෙමින් වෙනත් ආගමකට හරවා ගැනීම (Proselytism) සඳහා ශ්‍රී ලංකාව තුළ නිත්‍යාණුකූල ධෛර්යමත් කිරීමක් හෝ එය ආගමික නිදහසට ඇති අයිතියක් ලෙසින් පිළිගැනීමක් සිදුනොවන බවයි.
නීතීඥ ප්‍රවීණ සේනාධීර
praveenavisual@gmail.com