සමහරුන්ගේ ජීවිත පටන්ගන්නේ අභියෝගත් එක්ක. විවාහක කෙනෙක්ට දරුවන් එක්ක තනි වෙනවා කියන්නේ මහා අභියෝගයක් තමයි.ඒ අභියෝගය කළමනාකරණය කළ හැකි මනසක් සහ හැකියාවක් ඇය තිබුණොත් ජීවිතය ගොඩයෑම කියන තරම් අපහසුවක් නැහැ. ඇය එහෙම කෙනෙක්. සම්ප්‍රදායික ව්‍යාපාරවලින් මිදිලා ඇය කරන්නේ කඩදාසි හදන එක.
ඔබේ විස්තරෙන් කතාව පටන් ගනිමූ
මගේ නම නිලූකා ප්‍රියදර්ශනී. මේ වෙනකොට මගේ වයස 45 ක්. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට වයස අවුරුදු 20 යි. පොඩි දුවට වයස 17 යි. මගේ මහත්තයා මේ වෙනකොට ජිවතුන් අතර නැහැ. අපි ජීවත්වෙන්නෙ ගම්පහ ප්‍රදේශයේ.
පරිසර හිතකාමී නිෂ්පාදන කරන්න අදහසක් ආවේ ඇයි ?
ඇත්තටම මේ වගේ නිෂ්පාදනයක් කරන්න ඕනෙ කියන අදහස ආවේ මගේ මහත්තයා. එයා තමයි මේ හැමදෙයක්ම පටන් ගත්තෙ. එයා දක්ෂ ව්‍යවසායකයෙක්. එයා පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්.
ඒ නිසා එයාට ඕන වෙලා තිබුණේ පරිසර හිතකාමී ව්‍යාපරයක් පටන් ගන්න. ඒහින්ද තමයි එයා ප්‍රතිචක්‍රිකරණය කරන්න පුළුවන් පරිසර හිතකාමී කඩදාසි නිර්මාණය කළේ. 2021 දී මගේ මහත්තයා නැති වුණාට පස්සෙ එයා කරගෙන ගිය ව්‍යාපරය මම ඉදිරියට කරගෙන යන්න තීරණය කළා.
ඔබේ නිෂ්පාදන ගැන හැදින්වීමක් කළොත්…
මෙතනදි වෙන්නෙ ප්‍රෙස්වලින් ඉවත් කරන කඩදාසි සහ කඩ්බෝඩ් අපි ගෙනල්ලා ඒවා අඹරලා ඊටපස්සෙ එකෙන් පල්ප් එකක් හදලා නැවත අලුත් කඩදාසි හදන එක. ඒවගේම කෙසෙල් වතුවල ඉවත් කරන කෙසෙල් කඳන් පවා මම ගෙනල්ල අපි හදන කඩදාසි මිශ්‍රණයට එකතු කරනවා.
එකෙන් පරිසරය පිරිසිදු වෙනවා වගේම කඩදාසිවලට වෙනස්ම ලස්සනක් එකතුවෙනවා. ගොයම් කපලා ඉතුරුවෙන පිදුරු වලිනුත් මම කඩදාසි හදනවා. ඒ නිසා අපතේ යන ගොඩක් දේවල් පාවිචිචි කරලා කඩදාසි හදන්න මට පුළුවන් වෙලා තියෙනවා.

ඔබ හදන සමහර කඩදාසිවලට බීජ වර්ගත් එකතු කරනවා නේ ?
ඔව්. මම කඩදාසි හදනකොට එක එක බීජ වර්ග එකතු කරනවා. මට එහෙම දෙයක් කරන්න හිතුණේ දැන් සිදුවන පරිසර විනාශය දැකලා. මිනිස්සු ගස් කපනවා විතරයි නැවත ගස් සිටුවීමක් නැහැ.
මං හදපු කඩදාසි පාවිච්චියට අරන් ඉවර වෙලා ඉවත් කරපුවාම නිකන්ම පොළොවට පස් වෙන්නෙ නැතිව එකෙන් පැළයක් ලබාගන්න පුළුවන්. ඒ හින්දා තමයි වෙළෙඳපොළේ තියෙන අනෙක් නිෂ්පාදනත් එක්ක බැලුවම මගේ නිෂ්පාදනය විශේෂ වෙන්නෙ.
මහත්තයත් නැතිව තනියෙම මේ ව්‍යාපරය කරගෙන යෑම අභියෝගයක්ද ?
මගේ මහත්තයා නැතිවුණාට පස්සෙ මට දැනුණේ මගේ මුළු ජීවිතයම කඩාගෙන වැටුණා වගේ. මානසිකව මම ගොඩක් පහළට වැටුණා. ඊටපස්සෙ මගේ අම්මයි මහත්තයාගේ අම්මයි නෑදෑයොයි කිව්වා ඔය වැටෙන්න එපාදරුවො දෙන්නත් එක්ක එකතුවෙලා කොහොමහරි මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න කියලා එයාලා මට ශක්තියක් වුණා.
මාත් එයලා කිව්ව දේ ගැන හොඳට හිතලා හිත හදාගෙන ව්‍යාපරය ඉදිරියට කරගෙන යන්න තීරණයක කළා.මහත්තයා නැති වෙන්න කළින් ව්‍යාපාරය ගැන ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඉතින් මහත්තයටත් සාධාරණයක් කරන්න ඕනෙ කියලා මම හිතුවා. ඒ නිසා ව්‍යාපරය ඉස්සරහට කරගෙන ගිහින් එයාගේ හිතේ තිබුණු තැනට ගේන්න මට ඕන වුණා.


නිලූකගේ යටතේ දැන් කීදෙනක් විතර වැඩ කරනවාද ?
අපේ වැඩපළේ නම් වැඩ කරන්නෙ හතර දෙනෙක් වගේ. මමත් එයාලා එක්ක එතන වැඩ කරනවා. ඊට අමතරව මේ හදන කඩදාසිවලින් මම නිමි භාණ්ඩත් හදනවා.එතකොට ඒව මම දෙන්නෙ ගෙවල්වල ඉන්න කාන්තාවන්ට. එතනිනුත් වක්‍රාකාරව සේවක පිරිසක් මගේ ව්‍යාපරයට එකතුවෙනවා.
ඒ වගේම කඩදාසි හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය වන මල් පෙති, මාන, පිදුරු, එක එක කොළ වර්ග වගේ දේවලුත් මම ගොඩක් වෙලාවට ගන්නෙ ගමේ කාන්තාවන් හරහා. මේ ව්‍යාපාරය නිසා ගමේ ඉන්න කාන්තාවන්ගේ අතට යම් හෝ මුදලක් දැන් ලැබෙමිනුයි තියෙන්නෙ.
කන්තාවක් විදිහට තනියෙම ව්‍යාපාරයක් කරගෙන යද්දි අභියෝග නැද්ද ?
මුලදිම මම මුහුණ දුන්න ගැටළුව තමයි අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හොයාගන්න අපහසුවීම. ඒවා ගෙන්න යන්න විදිහක් මට තිබුණේ නැහැ. ත්‍රීවිල් එකක හරි ලොරියක හරි ගියොත් ලොකු මුදලක් යනවා ඒකට.
මොකද සති දෙකකට සැරයක් වගේ අමුද්‍රව්‍ය ගේන්න යන්න ඕනෙ. අපිට ත්‍රීවිල් එකක් තිබුණා. ඊටපස්සෙ මම එක පදින්න පුරුදු වෙලා ත්‍රීවීල් එකේ මම ගියා අමුද්‍රව්‍ය හොයාගෙන එන්න.

කාන්තාවක් විදිහට ඔබට දැන් මොකක්ද හිතෙන්නෙ ?
කාන්තාවක් කියන්නෙ හරිම ශක්තිමත් කෙනෙක්. එයාට හිතුවොත් ඕනම දෙයක් කරන්න පුළුවන්. සමාජයෙන් මොන නින්දා ආවත් තමන්ගේ ගමන යන්න ඕනෙ. තමන් ළඟ තියෙන හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන උත්සහ කරලා ඉදිරියට යන්න ඕනෙ.
නිලූකට ඉන්නෙත් ගැහැනු ළමයි දෙන්නෙක්. ඒ දෙන්නාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
ඒ දෙන්නා තමයි මට ගොඩක් උදව් කරන්නෙ මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. මම නිමි භාණ්ඩ හදනකොට ඒ දෙන්න තමයි මට හුඟක් උදව් කරන්නෙ. ඒ විතරක් නෙමෙයි වැඩපොළේ කරන වැඩවලටත් එයාලා දෙන්නා මට ගොඩක් උදව් කරනවා.ඒ වගේම මේ ව්‍යාපාරයේ වැඩකටයුතුත් එක්ක මම ගොඩක් කාර්යය බහුල වෙනවා.
එතකොට ගෙදර වැඩකටයුතු ගොඩක් මගේ අතින් මග හැරෙනවා. ඒත් දුවල දෙන්නා ඒ හැමදේම හොයල බලලා කරලා දෙනවා. මට කෑම හදන්න බැරි වුණොත් එයලා දෙන්න එකතුවෙලා මටත් එක්ක කෑම හදනවා. ඒ දෙන්නා හොඳින් ඉගෙනීම් කටයුතුත් කරගෙන යන අතරවාරදී තමයි මටත් උදව් කරන්නේ.
ඔබේ නිෂ්පාදන මිලදී ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් කොහොමද ඔබේ නිෂ්පාදන මිලදී ගන්නෙ ?
මගේ නිෂ්පාදන මිලදී ගන්න කැමැත්තක් තියෙන ඕනෙම කෙනෙකුට පුළුවන් අපේ ALN Products ෆෙස්බුක් පිටුව හරහා මාව සම්බන්ධ කරගන්න.
ඉදිරිය ගැන මෙනවද තියෙන සැලසුම් ?
මගේ මේ ව්‍යාපාරය තවත් වැඩිදියුණු කරන එක තමයි මගේ මට තියෙන ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව කාන්තාවන් වැඩි පිරිසක් මගේ ව්‍යාපාරයට එකතු කරගෙන එයාලටත් හොඳ ජීවිතයක් ලබාදෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නේ. අනික් බලාපොරොත්තුව තමයි මගේ නිෂ්පාදන පිටරටට අපනයනය කරන එක.
අර්චිත ඉඳුවර ✍️