නව යොවුන් වයසේ දරුවන් සමාජ මාධ්‍යයට ඇබ්බැහි වෙලා කියන චෝදනාව නිරන්තරව නැගෙන යුගයකදී හලාවත රශ්මික මතීෂ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ගවේෂණය සැබැවින්ම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්කරගෙන තිබෙනවා. ඒ විතරක් නොවෙයි අපේ රටට ඩොලර් ගෙනන ව්‍යවසායකයන් අතරට රශ්මිකගේ නමත් දැන් එකතු වෙලා…
හලාවත ප්‍රදේශයේ හැදුණ වැඩුණ ඔහු හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව උසස් පෙළ වෙනුවෙන් නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයට ඇතුළත් වුණා.
2024 ජනවාරි මාසයේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් මම උසස් පෙළ විභාගයට පෙනී සිටියා. පුංචි කාලයේ පටන්ම ඔහුගේම කියන සන්නාමයක් ගොඩනගා ගැනීමේ පිපාසයක් ඔහුට තිබුණා.
ඒ නිසා නිතරම වගේ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාරයක් වෙනුවෙන් තිබෙන මාර්ග මොනවාද කියලා හොයන්න පටන්ගත්තා. ඔය අතර එක් දැන්වීමක් තිබුණා තේ කොළ බිස්නස් එකක් කරන්න කැමැති අයට සම්බන්ධ වෙන්න කියලා. එහි දුරකථන අංකයකුත් තිබුණා. ඔහු ඒ අංකයට කතා කළා. ඒ තමයි පටන්ගැනීම.
Hand made tea සංකල්පයේ ආරම්භය…
මම කතා කළ අංකය හිමිව තිබුණේ තේ කොළ බිස්නස් කරන මහත්මියකටයි. මම ඇගෙන් තේ කොළ පාර්සලයක් ගෙන්වා ගත්තා. ග්‍රෑම් 100 පැකට් එකකින් ග්‍රෑම් 20 බැගින් කුඩා පැකට් පහකට සකස් කළා.
මම බයිසිකලයෙන් ගිහින් ඒ තේ කොළ අලෙවි කළත් කවුරුත්ම ගත්තේ නැහැ. මගේ යාළුවෝ වුණත් මගේ අනාගතය ගැන හිතලා මට නිතරම අවවාද කළත් මගේ හිතේ තිබුණ ව්‍යාපාරික සිහිනය ඔවුන් දැක්කේ නැහැ.
සැතපුම් ගනණාවක දුර ගමන් මඟක ආරම්භය එක පියවරකින් කියන කියමනක් අපේ ජනවහරේ තිබෙනවා. මමත් ඒ වගේ මුල් පියවර තැබුවේ බයිසිකලයෙන්. එක කඩයකින් විතරක් එක තේ කොළ පැකට් එකක් ගත්තා. මම අදටත් ඒ කඩයට තේ කොළ සැපයුම් කරනවා. මුල්ම තේ කොළ සාම්පලය ගත්තාම මට හරිම සතුටක් ඇති වුණා.
ප්‍රතික්ෂේපවීම් ඉදිරියේ ධෛර්යවීම…
ප්රතික්ශේපවීම්, අධෛර්මත් කිරීම් ඉදිරියේ මම නොසැලී සිටියා.පාරිභෝගිකයන් අතරත් විවිධ චරිත ඉන්නවා. ඒ ගැන හිතලා පසුබැස්සේ නැහැ. ඊටත් මගේ මව්පියන්, අසල්වැසියන් සහ මිතුරන්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබුණා.
ඒ නිසාම කඩාවැටීමක් නැතුව ඉදිරියට යෑමේ ශක්තිය ගොඩනැඟුණා. මේ වනවිට උසස් පෙළ විභාගයත් ආසන්නයි. උදේ ඔන්ලයින් පංති අවසාන වුණාම මම බයිසිකලයෙන් තේ කොළ විකුණන්න යනවා.
මගේ යාළුවෝ මට නිතරම කිව්වේ පිස්සු නටන්නේ නැතුව විභාගය කරගන්න කියලා. අපේ රටේ අධ්‍යාපනයේ සම්ප්‍රදායික ගමන් මාර්ගයක් තියෙනවානේ. ඒ මාර්ගයෙන් පොඩ්ඩක් හෝ එහා මෙහා වීම බොහෝ දෙනා දකින්නේ මහ විනාශයක් විදිහටයි. කොහොම වුණත් Dust 1 එකෙන් පටන්ගත්ත තේ කොළ ව්‍යාපාරයෙන් මාසයකට කිලෝ 10- 15 ක් වගේ අලෙවි වුණා.

තේ කොළවලට අලුත් මුහුණුවරක්…
මේ වනතෙක් මම අලෙවි කලේ Dust tea නමුත් ඒවාට වඩා තේ කොළ වෙනුවෙන් අගයක් එකතු කළොත් හොඳ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය වන බව මම දැනගත්තා. තේවලට අගයක් එකතු කිරීමෙන් විවිධ ප්‍රභේද විදිහට අලෙවි කරන්න පුළුවන්.
- හර්බල් (ඖෂධීය තේ )
- කෘතිම තේ
- Hand made tea
තේ නිෂ්පාදන අතරින් 65% ක්ම වෙළෙඳපොළ අතින් හැදූ තේ වෙනුවෙන් බව මම දන්නවා. නමුත් එය දිගු කාලයක් ගත වෙන ලොකු ක්‍රියාවලියක්. හැබැයි අසීරුවෙන් වුණත් ඒ වෙනුවෙන් යොමු වුණොත් ව්‍යවසායකයෙක් විදිහට සන්නාමයක් ගොඩනගා ගතහැකි බවත් මම දැනගෙන හිටියා.

තොරතුරු ගවේෂණය කරන්න පටන් ගත්තා…
මට Hand made තේ වෙනුවෙන් උනන්දුවක් ඇතිවුණා. මම අන්තර්ජාලය, යූටියුබ් ඔස්සේ Hand madeගැන විස්තර හොයන්න පටන් ගත්තා. ඒත් අපේ රටේ Hand made නිෂ්පාදන ගැන තොරතුරු ලැබුනේ නැහැ.
මට මේ ගැන තොරතුරු දැනගත හැකි කෙනෙක් ඉන්නවා නම් උදව් වෙන්න කියල පෝස්ට් එකක් දැම්මා. දෙනියාය ප්‍රදේශයේ මහත්මයෙක්ගෙන් මට විස්තර ලබාගන්න පුළුවන් වුණා.
මම තේ කර්මාන්තශාලාවලට ගිහින් තොරතුරු හෙව්වා, පර්යේෂණ කළා. අවසානයේදී මගේ සන්නාමයක් ‘Rash tea නියම කහට’ නමින් ‘වෙළෙඳපොළට නිකුත් කළා. අතින් හැදූ තේ කොළ නිෂ්පාදන කිලෝ එකක් වෙනුවෙන් දලු තේ කොළ කිලෝ පහක් අවශ්‍ය වෙනවා.
ඒ වගේම 12% ක් දක්වාම ජලය ප්‍රතිශතය අඩු කරන්න ඕන. නමුත් මේ තේ වෙනුවෙන් විදේශ රටවල ඉතාම හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. අපේ රටේ ලස්සන තැන් අපි තවම දැකලා නැහැ. නමුත් සංචාරකයින් ඒවා හොයාගෙන එනවා. ඔවුන් අපි නොදන්න ලස්සන තැන් දන්නවා දකිනවා.
තේ කොළ ගැනත් ඒ කතාවම කියන්න පුළුවන්. අපේ රටේ තේ ඉතිහාසය අවුරුදු 200 ක් පමණ පරණ වුණත් අපි තවම දන්නේ සම්ප්‍රදායික කහට තේ කෝප්පය ගැන විතරයි. නමුත් තේ කොලවල රසය, ගුණය ඉස්මතු කරන්න අගය එකතු කළ නිෂ්පාදන බොහොමයක් තවමත් හඳුනාගෙන නැහැ. ඒ නිසා අතින් හැදූ තේ වෙනුවෙන් අපේ රටේ වෙළෙඳපොළක් තවම නිර්මාණය වෙලා නැහැ. තිබුණත් 5% ක් තරම් අඩු මට්ටමකින්.’

ඔබේ මුල්ම නිෂ්පාදනය…
මම මුලින්ම හැදුවේ Silver yellow tea එක. මේ තේ නිෂ්පාදනය වෙනුවෙන් ඉන්දියාව සහ ආසියාතික රටවල්වලින් හොඳ ඉල්ලුමක් තිබෙනවා. තේ කෝප්පය අපේ ඇහැට හුරු පුරුදු කහට පැහැයෙන් යුක්තයි.

අනිත් නිෂ්පාදන…
Blue tea ball
සාමාන්‍ය තේ දල්ලෙන් හදන මේ නිෂ්පාදනය අරාබි රාජ්‍යයේ ජනප්‍රියයි. මේ තේ කොළ නිෂ්පාදනය බෝලයක් වගේ. තේ කොළ කෝප්පයට දාලා උණුවතුර දාන විට මලක පෙති විහිදිලා පිපෙනවා වගේ දිග හැරෙනවා. ඒ අත්දැකීම නරඹන්න විදේශිකයන් කැමැත්තක් දක්වනවා.
- Silver කේශරී
- Black කේශරී
- Silver tea
තේ දලු රෝල් කරලා සකස් කරන Silver තේ වෙනුවෙන් ජර්මනියේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. මේ තේ කෝප්පයේ කහට පාට නැහැ. රිදී පැහැයක් තිබෙනවා.
සිනමන් තේ
කුරුඳු හා තේ කොළ එකට මිශ්‍ර කරලා සකස් කරන තේ වෙනුවෙන් ස්විස්ටර්ලන්තයේ හොඳ ඉල්ලුමක් තිබෙනවා.මේ වනවිට රටට ඩොලර් ලබාදෙන ව්‍යසායකයෙක් විදිහට සන්නාමයක් ගොඩ නගාගත් ඔහු තවම වයස අවුරුදු 19 ක තරුණයෙක්.
අනාගත ගමන…
‘Rash tea’ නියම කහට’ ව්‍යාපාරික සන්නාමයෙන්ම ගොඩනගාගන්න අදහස් කරනවා. ඊට අදාළ විදිහටම ආාහර තාක්ෂණ ක්ෂෙත්රය ඔස්සේ තවදුරටත් උසස් අධ්‍යාපනය හදාරනවා.
දැනට මගේ හැටන් ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කර තිබෙනවා. වවුනියාවේ සහ කොළඹ ඒජන්සි දෙකක් තිබෙනවා. අපේ රටේ දිස්ත්‍රික්ක 14 ක සහ විදේශ රටවල් 4 ක වෙළඳපොළ ගොඩනැගී තිබෙනවා.
පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️