“ඒ ළමයට පුළුවන්නම් ඇයි ඔයාට බැරි?”“තමුන්ට තමයි මෙලෝ දෙයක් කරගන්න බැරි. ඒකට අර ළමයා. අඩුගාණෙ ඒ ළමයා දිහා බැලලවත් හැදෙනවා.” මේ වගේ වාක්‍ය අපේ රටේ දරුවන්ගෙන් 90% ක්ම විතර තමන්ගෙ දෙමාපියන්ගෙන් අහලා ඇති. එහෙමත් නැත්නම් ගුරුවරයෙක්ගෙන් හරි අඩුකරමින් අහලා ඇති. නමුත් මේ ප්රශ්නය කිසිසේත්ම සාධාරණ නෑ. තමන්ගෙ ළමයව වෙන ළමයෙක් එක්ක සංසන්දනය කරනකොට ඒ සංසන්දනයට භාජනය වෙන ළමයා අනිවාර්යයෙන්ම හීනමානයට පත්වෙනවා. ඒ හීනමානය දරුවාගෙ වීරත්වය සම්පූර්ණයෙන්ම වහල දානවා.නමුත් සංසන්දනය වෙන අනිත් ළමයට ඔය කතාව ඇහුණොත් ඒ ළමයගෙ වීරත්වය වැඩි වෙනවා. ඒ දරුවට වාසියි.සංසන්දනයට භාජනය වෙන දරුවය අවාසියි.
ඒ නිසා දෙමව්පියන් කවදාවත් තමන්ගෙ දරුවෙක්ව හෝ අනුන්ගේ දරුවෙක්ව තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරන්න හොඳ නෑ. තමුන්ගේ ළමයට පුළුවන් දේ තව කෙනෙකුට බෑ. තව කෙනෙකුට පුළුවන් දේ තමුන්ගේ ළමයට බෑ. ඒක තේරුම්ගන්න. නමුත් තමන්ට හිතුණොත් අනේ අරයට පුළුවන් දේ මට බෑනේ කියලා තමන් හීනමානයට පත්වීම වළක්වන්න බෑ. තමන් සංසන්දනය වෙන්න ඕනෙ තමන් සමගමයි. ඊයේ දරුවා සහ අද දරුවා. ඊයේ මම සහ අද මම. එච්චරයි.
දරුවන් කාලෙන් කාලෙට වෙනස් වෙමින් යන ගමන්මගේදි දෙමාපියන් දැනගන්න ඕනෙ දරුවගේ පෞරුෂය වර්ධනය කරන්න. පෞරුෂ වර්ධනය කරන ක්‍රම 400 ක් විතර තියෙනවා. ඒ වගේම මනෝවිද්යාවේත් විවිධ පෞරුෂයන් තියෙනවා. ඒවා තමයි විශිෂ්ඨ, සුබල, සාමාන්‍ය සහ පසුගාමී.විශිෂ්ඨ ගණයේ දරුවන් ගොඩක් කියල දෙන්න ඕනෙ නෑ. ගොඩක් උගන්නන්න ඕනෙ නෑ.
ටිකක් ඉගැන්නුවම ගොඩක් ඉගෙනගන්නවා. ඒ වගේම තමන් විසින් හොයමින් අදාළ දේට යනවා. දෙවන ගණයේ කට්ටියට පොඩි ප්රයත්නයක් දරලා ඉගෙනගන්නවා. සාමාන්‍ය ගණයේ අයට ටිකක් වැඩිපුර සපෝට් එකක්, පස්සෙන් ඉඳීමක් ඕනෙ වෙනවා වගේම එයාලා වටේ ඉන්න අයගෙ උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඒ බැකින් එකත් එක්ක එයාලට ඉස්සරහට යන්න පුළුවන්.
පසුගාමී ගණයට වැටෙන දරුවෙක් ගත්තොත් තමන් සමග එකට ඉගෙනගන්න දරුවෙක්ට වඩා ගොඩක් පහළින් ඉන්නෙ. එහෙම ළමයි ගාණක් හදන්න ගියත්, මොනවහරි ලියන්න ගියත් හරිම මන්දගාමියි. නමුත් මේ වර්ගයේ දරුවො සමහර වෙලාවට එක් විෂයකට ගොඩක් දක්ෂ වෙන්නත් පුළුවන්. නමුත් තවත් විෂයකට අදක්ෂයි. මේක තමයි ස්වභාවය. ඒ නිසා කිසිම දරුවෙක්ව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා.
මැණික් කැට අහුරක් ගත්තොත් ඒවා මැණික් වුණත් වටිනාකම් විවිධාකාරයි.දරුවොත් ඒ වගේ තමයි. එක දරුවෙක්වත් අහක දාන්න බෑ. දරුවන්ගේ හැකියාවන් එළියට ගන්න වෙන්නෙ දෙමාපියන් ඒවා තේරුම්ගත්තොත් විතරයි. ඒ නිසා කිසිම වෙලාවක දරුවව අනවශ්‍ය විදිහට
විවේචනය කරන්න එපා. අනිත් අය එක්ක සංසන්දනය කරන්න එපා. දෙමාපියන් ආසයි තමන්ගෙ සිහින දරුවො හරහා ඉෂ්ට කරගන්න. නමුත් ඒ ගමනෙදි දරුවන්ව හැසිරීම සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මකව තේරුම් ගැනීම අවශ්‍යයි.
දරුවව මුලින් තේරුම්ගන්න. දරුවා තුළ තියෙන පොඩි හරි හොඳක් තව තවත් වැඩිදියුණු කරගන්න. හැමවෙලේම පොඩි හොඳක් හෝ අගය කරන්න. අඩුපාඩුවක් දැක්කොත් ඕනවට වඩා ඒ ගැන කතා කරන්න යන්න එපා. අර පොඩි හොඳ දේ ගැන අගය කරන්න කරන්න දරුවා තමන්ගේ උත්සාහයෙන් ඉලක්කයට යයි.
පෞර්ෂත්ව හා නායකත්ව
පුහුණු විශේෂඥ
වෛද්‍ය කුමා ඉද්දමල්ලෙන
එරංදි කෞශල්‍යා ✍️