ඉරාන ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය ව්‍යාපෘතිය අප්‍රේල් මස 24 වැනි දින ජනතා අයිතියට පත් කරනු ලැබුවා. මෙහිදී එහි ඇති ටර්බයින් දෙකක් අපේ රටේ කාන්තාවන් දෙදෙනෙකු වෙනුවෙන් නම් කිරීමට ඉරාන ජනරජය තීරණය කර තිබෙනවා. ඉරානයේ සම්ප්‍රදායට අනුව යම් ඉදිකිරීමකට හෝ යන්ත්‍රයකට නමක් යෙදීමේදී කාන්තා නම් භාවිතා කිරීම සම්ප්රදායක්.උමා ඔය ව්‍යාපෘතියේ මෙම ටර්බයින් යන්ත්‍ර දෙක දසුනි සහ සුලෝචනා යනුවෙන් නම් කර තිබෙනවා. මේ දෙදෙනා ඉරානයට විශේෂ වුණේ ඇයි?
දසුනි ලුවිස්
දසුනි ලුවිස් කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. උමා ඔය ව්‍යාපෘතිය සිදු වන කාලයේදී ඇය තමාගේ සැමියා සමග ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගියා. උමා ඔය ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයෙක් ඇගේ හෝටලයට ආහාර ඇනවුමක් ලබා දී තිබුණා.
ඔහු මගේ ඉංග්‍රීසි භාෂා කථා කිරීමේ හැකියාව ගැන පැහැදුණා. උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න කැමැතිද ඒ ඉංජිනේරුවරයා මගෙන් ඇහුවා. මුලින් මම කැමති වුණේ නැහැ. නමුත් ඔවුන්ගේ ඉල්ලීම නිසා අවසානයේදී මමත් කැමැති වුණා.
භාෂා ප්රශ්නය
උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු කිරීමේදී භාෂාව ගැන ගැටළු තිබුණා. ඒ නිසා ඔවුන්ට ඉංග්‍රීසි පිළිබඳ නිපුණතාවය ඇති කෙනෙකුගේ අවශ්‍යතාවය දැනිලා තිබුණා. භාෂා පරිවර්තනය, මුදල් කටයුතු සහ සම්බන්ධීකරණ කටයුතුවලට මම සම්බන්ධ වුණා.
මේ ව්‍යාපෘතියේ පිරිමි තුන්සියයක් විතර හිටියා. කාන්තාවන්ට හිටියේ මම සහ සුලෝචනා විතරයි. ඔවුන් ඉතාම ආචාරශීලීයි. කාන්තාවන් ගැන ගරුත්වයක් ඉරාන ජාතිකයන් තුළ තිබුණා.
දවසක් ව්‍යාපෘති කළමනාකරු මට කිව්වා මේ ව්‍යාපෘතිය විවෘත කරන දවසට ඔයාගේ නමින් ටර්බයින් එකක් නම් කරනවා කියලා. මම හිතුවේ විහිළුවක් කියලා. නමුත් අද ඔවුන් එය සැබෑවක් කළා.
අපි දුන්න කරදර ඉවසගෙන හිටියාට ලබා දෙන තෑග්ගක් බැව් ඔවුන් කිව්වා. කොහොම වුණත් ඉරාන ජාතිකයන් විදිහට ඔවුන් අපේ සේවයේ වටිනාකමක් දකින්න ඇති. උමා ඔය ව්‍යාපෘතිය තාවකාලිකව නැවතුණා. මමත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ආවා. දැන් මම කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සූපශාස්ත්‍ර ගුරුවරිය ලෙස සේවය කරනවා.
සුලෝචනා
සුලෝචනා උමා ඔය ව්‍යාපෘතියේ සංග්‍රහ කිරීමේ කටයුතුවල නිරතව සිටි කුඩා දැරියක්. ඇයගේ නම ඉරාන ජාතිකයන් උච්චාරනය කළේ ‘චුලෝචනා’ කියලා. ව්‍යාපෘතියෙන් මම ඉවත් වුණාට පසුව මට සුලෝචනා හමුවුණේ නැහැ. සමහර විට ඇය මේ සිදුවීම ගැන දන්නෙත් නැතුව ඇති. තමන්ගෙ නමින් ටර්බයිනයක් නම් කළ බව දැනගත්තාම සුලෝචනා සතුටු වේවි. මම හිතනවා ඇයට මේ පණිවිඩය ඉක්මනින්ම ලැබේවි.
(බීබීසී පුවත් ඇසුරින්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️