ඌරු වකුගඩුවක් එක්ක ජීවත් වීමක්
මිනිස් අවයව තවත් මිනිසකුගේ අකර්මණ්‍ය වුණ අවයව වෙනුවෙන් බද්ධ කිරීමේ වෛද්‍ය තාක්ෂණය දැන් අපට ආගන්තුක නැත. නමුත් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් මිනිස් නොවන සෛල, පටක හෝ අවයව භාවිත කිරීම Xenotransplantation යනුවෙන් හැඳින්වෙනවා.රෝගී පුද්ගලයකුගේ ජීවිතයක් බේරාගැනීම සඳහා තවත් නීරෝගී පුද්ගලයකුගේ අවයවයක් ලබාගැනීම පහසු කාර්යයක් නොවේ.
අවයව බද්ධ කිරීමට අවශ්‍ය වුණත් ගැළපෙන අවයව සොයා ගැනීමට ඇති අපහසුතාව නිසා එක්සත් ජනපදයේ පමණක් දිනකට පුද්ගලයන් 17 ක් පමණ මියයන බැව් වාර්තා වෙනවා
මේ තත්ත්වයට විකල්ප වශයෙන් සත්ත්ව අවයව බද්ධ කිරීමේ තාක්ෂණය ගැන පර්යේෂකයන්ගේ අවධානය යොමුවුණා. ඒ අනුව පසුගිය මාසයේදී වයස අවුරුදු 62 ක් වූ වකුගඩු අකර්මණ්‍ය රෝගී පුද්ගලයකු වෙනුවෙන් ඌරු වකුගඩුවක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක ලෙසින් අවසාන වුණා.
රිචර්ඩ් ස්ලේමන් වයස අවුරුදු 62 ක් වූ වකුගඩු අකර්මණ්‍ය වීමේ අවසාන අදියරේ පසුවුණ රෝගීයෙක්. 2018 වසරේදී ස්ලේමන් වෙනුවෙන් මිනිස් වකුගඩුවක් බද්ධ කර තිබුණා. එය ශල්‍ය වෛද්‍ය Tatsuo Kawai විසින් සිදුකරන ලද අතර එම වකුගඩුවත් අකර්මණ්‍ය වීමට පත්වීමත් සමග නැවතත් ඔහුට ඩයිලිසිස් ප්‍රතිකාර ලබාදීමට සිදුවුණා.
ඔහු වෙනුවෙන් ඌරකුගෙන් ලබාගත් වකුගඩුවක් බද්ධ කිරීම මාර්තු මස 16 වැනි දින සිදුවුණා. මෙම වකුගඩුව ලබාගෙන තිබුණේ කුඩා ඌරු පැටියකුගෙන්. එය ස්ලේමන්ට බද්ධ කිරීමට පෙරාතුව ජාන වෙනස්කම් 69 ක් සිදුකරනු ලැබුවා. මේ තරම් දීර්ඝ ක්‍රියාවලියක් නිසා රෝගියාගේ සිරුරෙන් ඌරු වකුගඩුව ප්‍රතික්ෂේප වුණේ නැහැ. ඒ වගේම ආගන්තුක වකුගඩුවෙන් රෝගියාගේ සිරුරට වෛරස ඇතුළුවීමේ අවදානමත් නැතිවුණා.
මෙම සායනික අත්හදා බැලීම ඉතාම සාර්ථක වූ නිසා අනාගතයේදී මිනිස් අවයව වෙනුවෙන් සත්ත්ව අවයව බද්ධ කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාප්ත කළ හැකි බැව් චීනයෙහි Qihan Biotech ආයතනයේ ප්‍රධාන විධායක සහ Genesis ජෛව තාක්ෂණ ආයතනයේ අණුක ජීව විද්‍යාඥ Luhan Yang සඳහන් කරනවා. ඒ වගේම එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය සමග දැන් සාකච්ඡා වන අන්දමට අනාගතයේදි ළමා හදවත් බද්ධ කිරීමේ සහ ඌරු අක්මා බද්ධ කිරීම වෙනුවෙන් වූ සායනික අත්හදා බැලීම් දැන් සිදුවමින් පවතිනවා.
ඌරු වකුගඩුව පිළිගත්තොත්
මෙම ඌරු වකුගඩුව මිනිස් සිරුර විසින් පිළිගතහොත් අනාගතයේදී මිනිස් අවයව හිඟයට විසඳුමක් වනවා. එක්සත් ජනපදයේ පමණක් වකුගඩු බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් 90,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර හැම වසරකම පුද්ගලයින් 3,000 කට වැඩි පිරිසක් බලා සිටියදී මිය යනවා.
ඉන්ද්‍රියයන් පරිත්‍යාග කිරීමටත් දැන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වන ප්‍රවණතාවක් තිබුණත් තවත් අවයව මිලියන ගණනක අවශ්‍යතාවක් ඇති බැව් ඔස්ට්‍රේලියාවේ වෙස්ට්මීඩ් හි සිඩ්නි විශ්වවිද්‍යාලයේ බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය වෙන් හෝර්තෝන් සඳහන් කරනවා.
මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂක සහ Xenotransplantation සංගමයේ සභාපති මුහමඩ් මොහිඩින් සඳහන් කරන අන්දමට මෙය ඉතාම සුබ ආරංචියක්. 2022 වසරේ ප්‍රථම වරට ඌරු හදවතක් ජීවමාන පුද්ගලයකුට බද්ධ කිරීම සිදු වුණා. දැන් අපි මෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව ගැන දත්ත එක්රැස් කිරීමේ අදියරට පැමිණ ඇතැයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියා.
ඌරන්ගේ අවයව ලබාගැනීම ප්‍රමාද වුණේ ඇයි?
අවයව බද්ධ කිරීමේ කාර්යය වෙනුවෙන් ඌරන්ගේ අවයව ලබාගැනීම මෙතක් ප්‍රමාද වීමටත් හේතුවක් තිබුණා. ඌරන් තුළ ඇති Porcine cytomegalovirus රෝග කාරක විෂබීජ නිසා අවයව බද්ධ කිරීමේදී අසාර්ථක වීමට තිබෙන ඉඩප්‍රස්ථාව ගැනත් සලකා බැලීමක් සිදුවුණා. ඒ වගේම සත්ත්ව අවයවයක් බද්ධ කිරීමට බලපාන ආචාර ධර්ම පද්ධතියක්ද තිබෙනවා. සත්ත්ව අවයවයක් භාවිත කිරීමට අවසරය ඇත්තේ පුද්ගලයකුගේ ජීවිතය අවදානමට පත්වන දුර්ලභ අවස්ථාවක පමණයි.
ඒ වගේම බද්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙරාතුව ස්ලේමන්ගේ පවුලේ අයගේ සහ මෙම ශල්‍යකර්මයට සම්බන්ධ වන වෛද්‍ය සහ අදාළ කාර්ය මණ්ඩලයන්හි රුධිර සාම්පල ලබාගෙන ඒවා ශිතකරණය කරමින් වාර්තා තබාගත්තා. යම් ලෙසකින් රෝගියාට වෛරසයක් ඇතුළු වුවහොත් මෙම වෛරසය ඇතුළු වුණ ආකාරය හඳුනා ගැනීමේ පියවරක් ලෙසින් ඔවුන් මේ ක්‍රියාවලියට යොමු වුණා.
මිනිස් වකුගඩු මගින් ශරීරයේ විෂ ද්‍රව්‍ය පෙරීම, මුත්‍රා නිපදවීම සහ රුධිර පීඩනය පාලනය කරනවා. ශල්‍ය වෛද්‍යවරුන් විසින් බද්ධකරන ලද ඌරු අවයවය මගින් රුධිර ගමනාගමනය යථා තත්ත්වයට පත් වූ පසුව එය රෝස පැහැයට හැරුණා.
එයින් අපට මෙම වකුගඩුව මගින් මුත්‍රා නිපදවීම ආරම්භ කළ බැව් අපට පෙනී ගියා.රුධිරයේ අන්තර්ගත ක්‍රියේටිනින් (Creatinine) නම් සංයෝගය මගින් වකුගඩුවේ නීරෝගිතාව පෙන්නුම් කරනවා. මෙම අගය ඉහළ මටට්මක තිබීමෙන් වකුගඩුව නිසි පරිදි අපද්‍රව්‍ය පෙරීම සිදු නොකරන බැව් පැහැදිලි වෙනවා.
නමුත් ඌරු වකුගඩුව බද්ධ කිරීමට පෙරාතුව ඩෙසිලීටරයකට මිලි ග්‍රෑම් 10 ක් ව පැවැති ක්‍රියේටිනින් මට්ටම වකුගඩුව බද්ධ කිරීමෙන් පසුව 2.4 දක්වා අඩු වී තිබුණා. ඉදිරියේදී මෙම අගය පැවැතිය යුතු නීරෝගී මට්ටම දක්වාම අඩුවනු ඇතැයි පර්යේෂකයන්ගේ බලාපොරොත්තුව වී තිබෙනවා. මේ වනවිට, ස්ලේමන් රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වූ නිරීක්ෂණ සහ අධීක්ෂණ තවමත් අවසාන නැත.
(https://doi.org/10.1038/d41586-024-00879-y) ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️