ලිවින් ටුගෙදර් කියන මාතෘකාව ලංකාවේ ගොඩක් දෙනෙක් වැරදි ආකල්පයක් හිතේ තියාගෙන කතාබහ කළාට අතීත ජන සමාජයේ එක්ව වාසය කිරීම එහෙමත් නැත්නම් ලිවින් ටුගෙදර් තිබුණා. ඒ සංකල්පය ඇතුලේ අතීත ජනයා ආදරය, විශ්වාසය ගොඩක් අත්වින්දා. නමුත් පසුකාලීනව මේ ආදරය, විශ්වාසය කියන දේ නීතිමය කොළයකට සීමා වෙන තැන ආදරය මියැදෙන්න පටන්ගත්තා.
අපිට ආතතියෙන් තොරව සතුටින් ජීවත් වෙන්න පුළුවන් සරල ජීවන ශෛලියක් ඉතිහාසයේ තිබුණා. ඒක ඇතුලෙ තිබුණෙ ගෞරවය, විශ්වාසය කැටි කරගත්ත ආදරයක්. ඒ ආදරයට නීතිමය රාමුවක් අවශ්‍ය වුණේ නෑ. දෙන්නට දෙන්නා ඕන නිසා, ජීවිතේ බෙදාගන්න ඕන නිසා සහ ඒ බෙදාගන්න ජීවිතය තවත් සමාජ කුලකයක කොටසක් නිසා එයාලා පැවතුණා. නමුත් අතීතයේ තිබුණ ලිවින් ටුගෙදර් සංකල්පය ඇතුලේ තිබුණේ සමාජයේ පිළිගත්ත සාමූහික පවුලක්. එක්ව වාසය කිරීම ඉස්සර සමාජය අනුමත කළා.
නමුත් වර්තමානයේදී ලිවින් ටුගෙදර් සංකල්පය සමාජය අනුමත කරන්නේ නෑ. සමාජයේ තියෙන සමහර උප සංස්කෘතීන් ඇතුලේ අපිට කියන්න පුළුවන් අපි එකට ජීවත් වෙනවා කියලා. හැබැයි මහ සංස්කෘතිය ඇතුලේ ඒක පිළිගන්න දෙයක් නෙවෙයි.
මේ ප්රශ්නය බොහෝදුරට තියෙන්නේ ආසියාතික රටවල. ලෝකෙ වෙනත් රටවල අය අවුරුදු ගානක් ලිවින් ටුගෙදර් ඉඳලා තමයි විවාහ වෙන්නේ. වසර කිහිපයක් යද්දි දෙන්නා ගැළපෙන්නෙ නෑ කියලා හිතුණොත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙනවා. මම කියන්නේ මේ සංකල්පය අපේ රටට ගොඩක් වැදගත්. මොකද ලංකාවේ දවසකට දික්කසාද බොහෝ ප්‍රමාණයක් සිද්ධ වෙනවා.
ලංකාවේ අය වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ විවාහ උත්සවයට. සමස්ත විවාහයම ලඝු කරලා තියෙන්නේ විවාහ උත්සවයට. නමුත් විවාහ උත්සවය තියෙන්නෙ දවසයි දෙකයි. ඊටපස්සේ ඉඳන් ඇත්ත ජීවිතයට අපිට යන්න වෙනවා. නමුත් ඒකට සූදානමක් නෑ. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න මනුස්සයෙක් ගාව තියෙන්න ඕනේ පරිණතභාවයක්. පවුල ඇතුලෙ ගැටුම් ඇතිවෙනවා.
මේ ගැටලු විසඳගන්නේ කොහොමද කියලා තීරණය කරන්න ලයිෆ් ස්කිල්ස් වැදගත්. එහෙම හැකියාවක් තියෙන කෙනෙක් තමයි කසාද බඳින්න ඕනේ. නමුත් අවාසනාවකට ඒක ඉගෙනගන්න අවස්ථාවක් ලංකාවෙ නෑ. ඊළඟට තියෙන්න ඕන දේ ලිංගික පරිණතභාවය. ගොඩක් අය කසාද බැන්දට පස්සේ තමයි දැනගන්නේ තමන් අනිත් කෙනා එක්ක ලිංගිකව ගැළපෙන්නෙ නෑ කියලා.
මේකෙදි මට ලොකු චෝදනාවක් එයි කසාදයකට කලින් ලිංගිකව එකතුවීම සාධාරණීකරණය කරනවා කියලා. නමුත් ජීවිතය කියන්නේ මොකක්ද කියලා මුලින්ම තේරුම් ගන්න ඕනේ. ජීවිතය කියන්නේ ජීවිත කාලෙ පුරාම මරාගෙන ජීවත් වෙන එකද එහෙමත් නැත්නම් හැඟීම් බෙදාගෙන සතුටින් ජීවත් වන එකද කියල තේරුම් ගන්න ඕනෙ.
ලිංගික පරිණතභාවය නැතුව විවාහයකට ගියාට පස්සේ දෙන්නා අතරේ ගැටුම් ඇති වෙනවා. ආහාර පාන වගේම තමයි ජීවිතේට ලිංගිකත්වයත් ඉතාම අවශ්‍යයි. නමුත් ලිංගිකත්වය කියන කාරණාව ප්‍රසිද්ධියේ කතා නොකර හොරෙන් හොරෙන් කරන්න යන නිසා තමයි මේ දේ වැරැද්දක් විදිහට සමාජගත වෙලා තියෙන්නේ.
විවාහ වෙලා දරුවෙක් හදන තැනට දෙන්නෙක් එන්න කලින් එයාලට තියෙන්න ඕනේ යම්කිසි ලිංගික අධ්‍යාපනයක්. බොහෝ අයට ලිංගික අධ්‍යාපනයත් නෑ, ලිංගික අත්දැකීමක් ගන්න අවස්ථාවකුත් නෑ. මේ මුකුත් නැති වුණොත් වෙන්නේ ‘L’ බෝඩ් එක ගහගෙන පවුල ගෙනියන්න. ‘L’ බෝඩ් එක ගහගෙන ගොඩක් කල් වාහනේ දුවලනේ අපි ලයිසන් එක ගන්නේ. ‘L’ බෝඩ් ගහන් එලවන්න කලින් ලයිසන් එක අරන් එලවන්න ගියොත් මොකද වෙන්නේ… හප්ප ගන්නවා.
ලිවින් ටුගෙදර් ගැන සමාජය තුළ අලුත් සාකච්ඡාවක් ඇතිවෙන්න ඕනේ. ඒ සාකච්ඡාව පටු විදිහට අරගෙන අපේ සංස්කෘතිය වෙනස් කරන්න හදනවා වගේ එකක්. සංස්කෘතිය පවා යම් කාලයකදී යුගයේ අවශ්‍යතාවයන් එක්ක වෙනස් වෙන්න ඕනේ.
අපි ජීවත් වෙන්නේ සංකීර්ණ ලෝකෙක. අපි කැමති වුණත් අකමැති වුණත් අපි බාහිර ලෝකයට නිරාවරණය වෙනවා. එතකොට ඒ රටවල වෙන දේවල් අපි දකිනවා. තවදුරටත් පොල් කට්ටෙන් වහගෙන ළමයින්ව හදන්න බෑ කියලා එතකොටවත් තේරුම්ගන්න ඕනෙ. ඒ නිසා විධිමත් විදිහට දරුවන්ට මේ සියලුම දැනුම ලබාදිය යුතුයි.
ලංකාවේ ලිවින් ටුගෙදර් සංකල්පය සංස්කෘතිකව බාරගන්නේ නැති නිසා ගෑනු ළමයට සිද්ධ වෙනවා තමන්ගෙ අයිතිය තහවුරු කරගන්න. ලිවින්ටුගෙදර් ඉන්නකල්ම පාට්නර්ගෙන් අහනවා කවදද මාව බඳින්නේ කියලා. ඒ මොකද බැරිවෙලාවත් පාට්නර් දාලා ගියොත් සමාජයට මූණ දෙන්න බෑ. මේ නිසයි ලිවින්ටුගෙදර් ඉන්න බය වෙන්නේ. අහවලා එක්ක සම්බන්ධයක් තිබ්බා කියලා සමාජය දන්නවා,
මෙයා මාව දාලා ගියොත් වෙන කෙනෙක් මාව භාර ගන්නේ නෑ කියලා හිතෙනවා. මේකට හේතුව අපි හෙළ සංස්කෘතිය ගැන කොච්චර කියෙව්වත් සංස්කෘතිකව අපි තවමත් විවෘත වෙලා නෑ. අමාරුම ජීවන රටාවක් හදාගෙන අමාරුවෙන් ජීවත් වෙලා ඔහේ මැරිලා යනවා.
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
එරංදි කෞශල්‍යා ✍️